අනුහස් මහවලගේ “කෙටියෙන් පවසමි” කෘතිය

| විජයානන්ද රූපසිංහ |

දශක හතරක පමණ මාධ්‍ය හා කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ අනුහස් මහවලගේ සිය චරිතාපදානමය සටහන් එකතුව “කෙටියෙන් පවසමි” ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. සැබැවින් ම මෙය සරලව එක දිගට කියවිය හැකි මතකයන් එකතුවකි. සාම්ප්‍රදායික චරිතාපදාන රටාව මෙහි දක්නට නොමැත. පරිච්ඡේද 16ක අනුපිළිවෙල වෙනස් රටාවකි. උදාහරණ ලෙස තම පුද්ගලික ජීවිතයේ පරිසරය, ගෙදර, පවුල යනාදී විස්තර කරනුයේ 14 වන පරිච්ඡේදයෙ දී ය. 15 වැනි පරිච්ඡේදය මරණය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ලියා ඇති අන්තිම කැමැත්තට වෙන්කර ඇත. අනාගත මරණය චරිතාපදානයේ අවසානයට ඇත්තේ ඒ පිළිබඳ වන සංකල්පීය අදහස් ද එකතු කරමිනි.

කෘතිය ආරම්භ වන්නේ ම තම වෘත්තීය භාවිතය තුළ හමුවන චරිත විග්‍රහ කරමිනි. එවකට තරුණ විදේශීය උපාධිධාරියෙක් ලෙස ව්‍යාපාරික ලෝකයට එක් වූ උදය ගම්මන්පිලගෙ හමුව හා සබඳතා විස්තර කරයි. ප්‍රේම් දිසානායක, ආචාර්ය සරත් අමුණුගම, සිරිලාල් කොඩිකාර, වසන්ත ප්‍රිය රාමනායක, කුසල් පෙරේරා, රනිල් ඇල්විටිගල, සුදත් මහදිවුල්වැව, ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේව, මංගල සමරවීර, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ලක්ෂ්මන් හුළුගල්ල, සනත් ගුණතිලක වැනි චරිත එක් එක් පරිච්ඡේදවල දී හමුවේ.

13 පරිච්චේදය ගීත සාහිත්‍යය පිළිබඳ අනුහස්ගේ දැක්ම පැහැදිලි කරයි. එය ශාස්ත්‍රීය ලිපියක් සේ සැළකිය හැකි ය. චරිතයක දැකිය හැකි පුළුල් බව අත්දැකීම් පරාසය අනුහස්ගේ චරිතාපදානයෙන් මතු කෙරේ. වරෙක ඔහු පාසලේ කැපී පෙනෙන කලා උලෙළේ සංවිධායකයා ය. උපකාරක පන්ති ආරම්භක යුගයේ ටියුෂන් පන්ති භාරකරුවෙක්. මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයට නිර්මාණාත්මක දායකත්වය සැපයූවෙක්. ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමනාකරුවකු, පුවත්පත් පිටු සැලසුම් ශිල්පීයෙක්, කවර නිර්මාණකරුවෙක්. මේ සියලු චරිත “කෙටියෙන් පවසමි” තුළ සැරිසරනු පෙනේ.

ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීමත් විවේචනය කළ යුතු පුද්ගලයන් විවේචනයටත් අනුහස් පසුබට නොවේ. කෘතිය තුළ දේශපාලන වංචාකරුවන් මහජන මුදල් වංචා කළ චරිත ද හෙළිදරව් කර තිබේ. ඒ ඇතැම් චරිත ජීවතුන් අතර සිටින බලවත් චරිත වෙයි. ඒ කිසිවක් අනුහස්ට ගැටලුවක් වී නොමැත. දීර්ඝ හැඳින්වීමේ දී දක්වා ඇති පරිදි සියලු සිදුවීම් තමන් හා සම්බන්ධ චරිතවල මූලාශ්‍ර සහිතව දක්වා ඇත. ඕනෑ ම කෙනෙකු නැවත පරීක්ෂා කර බැලිය යුතු තුන්වෙනි පාර්ශවයන්ගේ තොරතුරු ඇත්නම් එවන් මූලාශ දක්වා ඇත. එබැවින් “තහවුරු කළ නොහැකි දේ මෙහි සටහන් නොවන බව ඉතා පැහැදිලිව පැවැසිය යුතු ය”. (පිටුව 12)

අනුහස්ගේ කෘතිය තුළ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විවේචනාත්මක බැල්මක් යොමු කරයි. පුවත්පත්, ගුවන්විදුලි  හා රූපවාහිනී අන්තර්ගතය සහ ගීත සාහිත්‍යය ගැන එවැනි මත දැක්වීම් ඉදිරිපත් කර ඇත. මෙරට රාජ්‍ය සේවය තුළ පවත්නා දුර්වලතා මෙන් ම නිර්මාණාත්මක කාර්යයන්හි දී මතුවන බාධක සිය අත්දැකීම් ඇසුරින් පැහැදිලි කර ඇත. දේශපාලන ප්‍රචාරක කටයුතු මෙන් ම දේශපාලන රසකථා හා යටි පෙළ මෙමඟින් ඉදිරිපත් කෙරේ. භාෂාව ඔහුට ම‍ අනන්‍ය වූවකි. නිර්මාණ ශිල්පියෙක් බැවින් අක්ෂර වර්ගය, කවරය, පිටු සැකැස්ම, වෙනස් මුහුණුවරක් ගනී.

74 වන පිටුවේ 1986 යන්න 1996 ලෙස නිවැරදි විය යුතු ය. අනුහස් 129 වන පිටුවේ අමරදේවයන්ගේ දෙබස කපා දැමුවා මෙන් මම ද 85 වන පිටුව උපුටා නොදක්වමි.

(කර්තෘ ප්‍රකාශනයකි/ පිටු 232 කි)

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *