අර්බුදයට විසදුම

| කසුන් ප්‍රභාත් ජයලත්

“ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිද්ධීන් හා පෞරුෂයන් දෙවරක් ඇති වන බව කිව හැකිය,” හේගල් වරක් පැවසීය. එහෙත් ඔහුට මෙලෙස එකතු කිරීමට අමතක විය. “ඒවා ඇති වන්නේ පළමුවරට ඛේදජනක ලෙසත්, දෙවන වරට හාස්‍යජනක ලෙසත්ය” යනුවෙන් මාක්ස් පැවසීය. වර්තමානයේ දේශපාලනය දෙස බලන විටදී මෙය තහවුරු කරුණකි.

ලංකාව කොල්ලකාරී විවෘත ආර්ථිකයට ගැටගසනු ලැබුවේ 1978 කාලයේදී එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින්ය. කොල්ලකාරී විවෘත ආර්ථිකය ක්‍රියාවට නැංවීම සඳහා ජයවර්ධන එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරේ සරණ ගියේය. අතීතයේ සිටම ඔහු හඳුන්වනු ලැබුවේ ද “යැංකි ඩිකී ” යන නමිනි. විවෘත ආර්ථිකය තුළ කම්කරු අයිතීන් අහිමි කිරීමට සිදුවන විට, රටේ සම්පත් විකුණා දමන විට, රට අධිරාජ්‍යවාදී තිප්පලක් කරන විට, අනිවාර්ය ලෙසම මතුවන ජනතා විරෝධයන් මැඩපැවැත්වීමට ඔහු පියවර රැසක් ගත්තේය.

අධිබලැති ජනාධිපති ධූරයක් සහිත ඒකාබද්ධ ව්‍යවස්ථාවක් සෑදීම, 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගැනීම, වෘත්තීය සමිති මර්දනය කිරීම හා වැඩ වර්ජන  මර්දනය කිරීම, ආණ්ඩු විරෝධීන් ට පහරදීමට මැර හමුදාවක් (තග් සංස්ථාව) පවත්වාගෙන යමින් සමාජය භීතියට පත් කිරීම, ඡන්දය කල් දැමීම, දේශපාලන පක්ෂ තහනම් කිරීම, අධිකරණයට අත පෙවීම ආදී  ප්‍රජාතන්ත්‍ර විරෝධී, මානව විරෝධී ඒකාධිපති ක්‍රියාමාර්ග රැසක් ගන්නා ලදී. එම ක්‍රියාමාර්ග අවසානයේ රට රැගෙන යනු ලැබුවේ මහා ඛේදවාචකයකට ය.

ඉතිහාසයේ වරක් සිදුවූ එම සිදුවීම නැවත ඇති කිරීමට වර්තමානයේ දී උත්සාහයක් පවතී. සමකාලීන ජනමාධ්‍ය විසින් ජනප්‍රිය රැල්ලට හසුවී වාණිජවාදී මාධ්‍යකරණයක් පසුපස යනවා වෙනුවට ජනතා ප්‍රසාදයක් නොමැති ජනපති ගෙන එන ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ ජනයාගේ සවිඥානය අවදි කිරීම පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. රටක ජනමාධ්‍යය ජන මාධ්‍ය ක්‍රියා කළ යුත්තේ යුක්තිගරුක ආරක්ෂාකාරී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම සඳහා වුවද ජනමාධ්‍යයේ ක්‍රියාකාරීත්වය හා ජනතා අවබෝධය අතර ඇත්තේ ප්‍රශ්නසහගත තත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අරගල හා ජනමාධ්‍ය මෙන්ම මානව අයිතිවාසිකම් කඩ කිරීම සඳහා ත්‍රස්ත විරෝධී පනත නැවත වටයකින් ජනතා වේදිකාව මතට ගෙන එමින් තිබේ. මෙලෙස ගෙන එන ත්‍රස්ත විරෝධී පනත පරාජය කළ යුත්තේ ඇයි?  ජනමාධ්‍ය වර්තමාන වාර්තාකරණය අතර ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකි. රටේ සියලු ජනමාධ්‍ය තමා ද ගොදුරුවන  මෙම අනීතික නීති රාමුව පිළිබඳව ජනතාව  දැනුවත් කොට මෙම අනීතික නීතිය පරාජය කළ යුතුව යුත්තේ ඇයි?

1979 අංක 48 දරණ ප්‍රජාතන්ත්‍රවාදය වැළැක්වීමේ පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සන්දර්භය වූයේ දශක ගණනාවක් තිස්සේ තමිල් ජනතාවගේ  ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාදීමට දකුණේ සිංහල බෞද්ධ අධිපතිවාදය අසමත් වීම හේතුකොටගෙන වඩුක්කෝඩෙයි ප්‍රකාශනය දක්වා ක්‍රමයක් විකාශනය වූ දමිළ ජනතාවගේ අපේක්ෂා  භංගත්වය  අරගලයක් කරා විකාශනය වෙමින් පැවති කාලයකය.

එවකට අධිකරණ ඇමති වූ කේ. ඩබ්. දේවනායගම් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කොට එහි මුඛ්‍ය අරමුණ ඒ වන විට වර්ධනය වෙමින් තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියා මර්දනය කිරීම බව ප්‍රකාශ කරමින් එය තාවකාලික විධි විධාන පනතක් බවට පැහැදිලිව පනත් කෙටුම්පතෙහිම සඳහන් කරන ලදී.

එලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවැති ව්‍යවස්ථා  විරෝධී සහ මිනිස් අයිතිවාසිකම් තිරස්චීන ලෙස යටපත් කරනු ලබන ස්වභාවය හේතු කොටගෙන මහජන ඡන්දයෙන් පත්වූ රජයක් ලෙස ඒ මොහොතේ කෙතරම්  ජන පීඩක පාලකයෙකු වූවත් ජේ.ආර්.ජයවර්ධන සිංහල සමාජය ඉදිරියේ එය තමිල් ජනතාවට විරුද්ධව ගෙන එන පනතක් බවට ඇඟවීමට සිදුවන ලදී. කෙසේ නමුත් ජේ.ආර්. ජයවර්ධනගේ සත්‍ය අරමුණ ඊට වඩා ගැඹුරු ස්ථානයක පිහිටා තිබුණු අතර ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ විසින් මහජන සුබසාධනය කප්පාදු කොට විරැකියාව, උද්ධමනය වැනි සමාජ ආර්ථික ගැටලු තීව්‍ර කිරීමටත් සමාජ අසමානතාවය වඩාත් සංකීර්ණ ලෙස ස්ථාපිත වීමත් විසින් පොදු මහජනතාව ආණ්ඩුවට විරුද්ධව එක්ව සටන් කරනු ඇතැයි නිවැරදිව පුරෝකථනය කළ ජේ. ආර්. ජයවර්ධන එබඳු ජනතාව මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම සිදු කිරීමට පැහැදිලි සැලැස්මක් ඔහු සතුව විය.

  • 80 වැඩ වර්ජන සාහසික ලෙස මර්දනය කිරීම.
  • 1983 දී වාමාංශික දේශපාලන පක්ෂ තුනක් තහනම් කිරීම.
  • උතුරේ තමිල් ජනතාව පමණක් නොව දකුණේ නැගීසිටීම් පවා ම්ලේච්ඡ  ලෙස මර්දනය කිරීම.
  • මාධ්‍යවේදීන් නීතිඥයන් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඝාතනය කිරීම.

වැනි එක පෙළට දිගහැරුණු රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන න්‍යාය බවට පත්වෙමිනි. අනෙක් අතට ඉන්දියානු මැදිහත්වීම සඳහා ආණ්ඩුව විසින්  ‌නෛතික පොරොන්දු නෝට්ටුවක් ලෙස ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම වැනි යටත්වීම් සඳහා එකී සෑම ක්‍රියාවලියක දීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ආණ්ඩු විරෝධී නැගී සිටීම්වලට නායකත්වය දෙන පක්ෂ ව්‍යාපාර සහ නැගීසිටීම්වලට උරදුන් සාමාන්‍ය ජනතාව මර්දනය කිරීම සඳහා යොදාගනු ලැබුවේ අනීතික ත්‍රස්තවාදී පනතයි.

වර්තමානයේ එම ම්ලේච්ඡ අතීතයක පෙරමං දක්නට ලැබෙයි. නමුත් ප්‍රශ්න සහගත තත්ත්වය වන්නේ මෙම අනීතික පනත පිළිබඳව ජනයාගේ අවබෝධය ගොඩනැගීමට ජනමාධ්‍ය සමත්වී නොමැති වීමයි. එය රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ලා හා මුර සෙබලෙකුගේ කාර්ය හිමි ජනමාධ්‍ය දේශපාලන රූකඩ තත්ත්වයට පත්ව ඇත. ඇත්තේ එක් විසඳුමක් පමණි ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත ව්‍යවස්ථා සැරසිල්ලක් ලෙස කරලියට අවුත් ඇති අනීතික පනත පිළිබඳ මුලු මහත් ශ්‍රි ලාංකිකයා අවධිකළ යුත්තේ ජනමාධ්‍ය වේ. සවිඥානිකව බැලූ කල ජනමාධ්‍යයේ අද ක්‍රියාව හෙට ඔවුන්ට ද බලපානු ඇත.

“අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමාගේ නිදහස ද වළදාගනු ලබයි “

1983 ත්‍රස්තවාදී පනතෙන් අත්අඩංගුවට ගෙන වැලිකඩ සංහාරයේ දී මියගිය කුට්ඨිමණී නම් සිරකරුවා.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *