ආන්තීකරණයට ලක් කාන්තාව නිදහස් ද!

| සකුශ්ක ජයවර්ධන

සමකාලීන සමාජය තුළ පවතින, ප්‍රබල නමුත් දුබලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් ලෙස ආන්තිකරණයට ලක් වූ කාන්තාවන් පිළිබඳ මාතෘකාව හැඳින්විය හැකි ය. විවාහ නොවීම, වැන්දඹු බවට පත්වීම, විවිධ ආබාධවලින් පෙළීම (කායික, මානසික) ලිංගික ශ්‍රමිකත්වයේ නියැලීම, වැනි හේතු කරණකොට ගෙන අසරණ වූ සහ කොන් කිරීමට ලක් වූ කාන්තාවන් ප්‍රධාන වශයෙන් ආන්තිකරණයට ලක් වූ කාන්තාවන් ගණයට ලා ගැනිය හැකි ය. මෙම කාන්තාවන් පොදු සමාජය මගින් කොන්වීමට, නොසලකා හැරීමට ලක් වූවද ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය නිලධාරීන්, සමාජ ක්‍රියාකාරකයින්, පර්යේෂකයින් වැනි කණ්ඩායම්වල අවධානයට සහ සැලකිල්ලට ලක් විය යුතු ය. ඒ තුළින් ආන්තිකරණයට ලක් වූ ස්ත්‍රිය ආර්ථික, දේශපාලනික හා සමාජීය වශයෙන් බලමුළු ගැන්වීම, ලිංගික හා ප්‍රජනන අයිතීන් (SRHR) පිළිබඳ දැනුම්වත් කිරීම ආදිය ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු ය. මෙහි දී විශේෂ අවධානයට ලක්විය යුතු කොට්ඨාසයක් ලෙස (Deserted Women) සහ (Single Women) හැඳින්විය හැකි ය. ස්වාමිපුරුෂයා විසින් හැරගිය, හෝ ස්වාමිපුරුෂයා මියගිය කාන්තාවන්ට අමතරව පවුල් බර, සුදුසු සහකරුවෙකු සොයාගැනීමට නොහැකි වීම, ආබාධිත බව, දෑවැද්ද නොමැතිකම මත විවාහ නොවීම, ස්ත්‍රීවාදී පෞරුෂ වැනි විවිධ හේතුන් ද මේ අතර වේ.

ශ්‍රී ලාංකික සන්දර්භය තුළ 2012 ජන හා නිවාස සංගණනයේ පුද්ගලයන්ගේ විවාහ තත්ත්වය යටතේ (Deserted) ලෙස නම් කරන ලද කණ්ඩයක් නොපෙනේ. නමුත් නිත්‍යානුකුලව වෙන් වූ සහ, වෙන් වූ (නිත්‍යානුකුල නොවන) ලෙස වර්ග දෙකක් ඇත. 2012 සංගණනයට අනුව, සෑම පිරිමි 10,000කට ම පිරිමි 58ක් සහ, සෑම කාන්තාවන් 10,000කට ම කාන්තාවන් 88ක් තම සහකරුවන්ගෙන් වෙන්ව වාසය කරයි. (Department of Census and Statistics, 2012, 79-87) තම සහකරුගෙන් හෝ සහකාරියගෙන් නිත්‍යානුකුල වෙන්වීම, මොවුන්ගේ අපේක්ෂාව නොවුනත් වෙන්ව වාසය කිරීම සිදු වේ. එබැවින් දික්කසාදය යන සිද්ධාන්තය සමග අදාළ සන්දර්භය නොසැසඳෙන නමුත් බොහෝ  දුරට මෙම කාන්තාව සඳහා නැවත විවාහ වීමට ආර්ථික හා සංස්කෘතික බාධා ඇති බව කිව මනා ය.

2016 වසරේ ගෘහ හා අදායම් වියදම් සමීක්‍ෂණයට අනුව ශ්‍රී ලංකාවේ මුළු පවුල් මිලියන 5.4න් මිලියන 1.4ක් හෙවත් 25.8% ක්, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන Female Headed Households (FHH) බව ඇස්තමේන්තු කර ඇත. (Household income and expenditure survey; 2016: Final Report 2018).  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), මගින් කාන්තා මූලික ගෘහයන් (FHHs) කණ්ඩායම් 05කට මූලික ලෙස වර්ගීකරණයට ලක් කර ඇත. ඒ වැන්දඹුවන්, විවාහ කාන්තා – වෙන්වූ/දික්කසාද වූ, කිසිදිනෙක විවාහ නොවූ, කාන්තා සටන්කාමීන් ලෙසිණි.

පරිශීලක නියමයන් විසින් (deserted women) අර්ථ දක්වා ඇත්තේ ස්වාමිපුරුෂයන් හැර ගිය අය ලෙස ය. අත්හැරීම, කලත්‍රයා අතහැර දැමීම ලෙස ද හැඳින්වේ, නැවත පැමිණීමේ චේතනාවෙන් තොරව විවිධ හේතූන් මත සහකරු හෝ සහකාරිය හිතාමතාම අත්හැර දැමීම මෙහිදී සිදු වේ. තාවකාලික වෙන්වීමක් අත්හැරීමක් ලෙස නොසැලකේ. හැර යාමේදී කලත්‍රයා පවුල් සබඳතා බිඳ දමයි, පියාගේ වගකීම් සහ යුතුකම් නොසළකා හරී, ඔහු විවාහක නිවසින් පිටවන විට මූල්‍ය හෝ වෙනත් ආධාර සැපයීම හෝ ප්‍රතික්ෂේප කරයි. (Smith, 2020; Skarsten, 1974).

හැරයාම දෙයාකාරයකින් හඳුනාගත හැකි ය. එනම් ද්වේශසහගත හැරයාම සහ ප්‍රායෝගික හැරයාම වේ. ද්වේශසහගත හැරයාම “… the deliberate and unconscientious, definite and final repudiation of the obligations of the marriage state … “, (Sri Lanka Law Forum, 2017) ලෙස අර්ථ දක්වා ඇත. එනම් විවාහයේ වගකීම් හිතාමතාම සහ අවිඥානිකව, නිශ්චිත සහ අවසාන ප්‍රතික්ෂේප කිරීම ය. අනෙක් අතට ප්‍රායෝගික හැරයාම යනු, “ඔවුන් ජීවත් වන උග්‍ර තත්වයන් හේතුවෙන්” එක් කලත්‍රයෙකු අනෙකා හැර යාමයි. මෙම හේතු සහකරු හෝ සහකාරියගේ මත්පැන් පානය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, වධහිංසා පැමිණවීම, නොසැලකිලිමත්කම සහ හිංසනය, පවුල නඩත්තු කිරීමට ආර්ථික ආධාර නොමැතිකම සහ සැමියාගේ පවුලේ සාමාජිකයන් විසින් අයුතු ලෙස සැලකීම වැනි විවිධ හේතු නිසා සිදුවිය හැක. මේ අනුව හැරදා යාමට ලක් වූ කාන්තාවන්ට විසඳාගත නොහැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු හඳුනාගත හැකි ය. මොවුන් සහ මොවුන්ගෙන් යැපෙන දරුවන්ගේ පැවැත්ම, මූලික චිත්තවේගීය හා මානසික කම්පනය, ශාරීරික ආරක්ෂාව සහ රාජ්‍ය, සමාජ සේවා සඳහා ප්‍රවේශය යන කරුණු සම්බන්ධයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි කොට්ඨාසයක් ලෙස හඳුනාගත යුතු ය.

Deserted Women – හැරදැමූ කාන්තාවන්

සැමියා හෝ ජිවන සහකරු විසින් හැර ගිය කාන්තාවන් මෙම ගණයට අයත් වේ. ඔවුන්ට විඳීමට සිදු වූ අපකීර්තිය, වෙනස් කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් සහ ඔවුන්ට දැනුණු චිත්තවේගීය කැළඹීම් ද ඉතා වැඩි ය. බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයා/සහකරු අමතර විවාහ සබඳතා පැවැත්වීම සහ ගෘහස්ථ හිංසනය හේතුවෙන් හැරදෑමට ලක්ව ඇත. මුල් විවාහය අත්හැරීම ද තවත් හේතුවක් විය හැකි ය. අත්හැරීමෙන් පසු කාන්තාවන් බහුතරයක් තම උපන් පවුල් සමඟ ජීවත් වේ. ඇතැම් විට ආර්ථික බර වැඩි කරමින් බහුතරයක් ගෘහ මූලිකයා ද වේ. පර්යේෂන සොයාගැනීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ, හැර යන විට බොහෝ කාන්තාවන් තම මව්පියන් සහ පවුල් සමඟ ඔවුන්ගේ උපන් ගමේ ජීවත් වූ බවයි. මෙමගින් ස්වාමිපුරුෂයාට/සහකරුට හැරයාමේ තීරණය පහසු වන්නට ඇතත්, බොහෝ විට විවාහය දෙදරා යාමට කාන්තාවන්ට දොස් පැවරීම නිසා කාන්තාවන්ට හැරයෑමට අමතරව ඔවුන්ගේ ඥාතීන් සහ ගම්වැසියන් සමඟ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ. ඊට අමතරව දේපළ සහ හිමිකම් ද අහිමි වේ.

Single Women – තනිකඩ කාන්තාවන්

තනිකඩ කාන්තාවන් සම්බන්ධයෙන් රටවල් කිහිපයක සිදු කරන ලද අධ්‍යයනයන් විශ්ලේෂණය කරන කරුණුවලට අනුව, කිසිදා විවාහ නොවූ සහ වයස අවුරුදු 40ට වැඩි (සාමාන්‍ය විවාහ විය හැකි වයස පසු වූ) ලෙස අර්ථ දක්වා ඇත. කෙසේ වෙතත්, මෙම නිර්වචනයට, අවිවාහක මව්වරුන් සහ සහජීවනයෙන් සිටින තනිකඩ කාන්තාවන් ඇතුළත් නොවේ, මන්ද සහජීවන සහකරුවන් වලංගු විවාහයක එකට ජීවත් වන බව නීතියෙන් උපකල්පනය කරයි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව වැනි රටවල දත්ත පෙන්නුම් කරන්නේ, වසර ගණනාවක් පුරා, විවාහ වීමේ සාමාන්‍ය වයස වැඩිවීමත් සමඟ කිසි විටෙකත් විවාහ නොවූ කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. නිදසුනක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ, වැඩිහිටි ජනගහනයෙන් 45% වඩා වැඩි ප්‍රමාණයක් අවිවාහක කාන්තාවන් වේ. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි ඉන්දියාව, එක්සත් රාජධානිය, මැලේසියාව වැනි රටවල ද එම තත්ත්වය එසේ ම ය.

මෙම සංසිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් Giddens (2006) පවසන්නේ කාන්තාවන්ගේ අවිවාහක සිවිල් තත්ත්වය, ගෝලීයකරණය පුද්ගලික ක්ෂේත්‍රයට බලපාන ආකාරය පිළිබඳ උදාහරණයක් බවයි. පුද්ගලයන්ට ඔවුන්ගේ ජීවන මාර්ග තීරණය කිරීමට අතීතයට වඩා වැඩි අවස්ථාවක් තිබේ. ඔවුන්ට විවාහයට අදාළව තීරණ ගැනීමේ හැකියාව ඇත – ඔවුන් විවාහ වීමට කැමති අය සහ විවාහ වීමට අවශ්‍ය නම්, පුද්ගලයෙකු තෝරා ගැනීමේ නිදහස, ලිංගික සම්ප්‍රදායන් සහ පීතෘමූලික සාරධර්ම ප්‍රතික්ෂේප කිරීමට ඇති හැකියාව පිළිබඳ සංවාද පවතී. (Sunder, 2020). කෙසේ වෙතත්, Coombs ගේ අධ්‍යයනය (1991) සොයා ගනු ලැබුවේ විවාහක තත්ත්වය සහ පුද්ගලික යහපැවැත්ම අතර සමීප සම්බන්ධයක් ඇති බවයි. ඔහුගේ පර්යේෂණයට අනුව විවාහක කාන්තාවන් අවිවාහක අයට වඩා සතුටින් හා චිත්තවේගීයව හා ශාරීරිකව නිරෝගීව සිටින්නේ නිරන්තර ඇසුර සහ දෛනික ජීවිතය සඳහා චිත්තවේගීය සහයෝගයක් පවතින නිසා බවයි.

ශ්‍රී ලංකාවේ නීතිමය සන්දර්භය

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (12 වැනි වගන්තිය) ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම පුරවැසියන්ට සමානාත්මතාවයේ සහ වෙනස්කම් නොකිරීමේ අයිතිය සහතික කරයි. ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර, ජාවාරම් වැනි ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සාපරාධී ලෙස සැලකීමට සහ ප්‍රචණ්ඩත්වය ආරක්ෂා කිරීමට පනවා ඇති නීති ඔවුන්ගේ විවාහක තත්ත්වය නොසලකා සියලුම කාන්තාවන්ට අදාළ වේ. චංචල සහ නිශ්චල වත්කම් අයිති කර ගැනීමට සහ බැහැර කිරීමට ඔවුන්ට අයිතියක් ඇත. විශේෂයෙන් 2005 අංක 34 දරන ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත තුළ ‘අගතියට පත් පුද්ගලයා’, මෙම අවස්ථාවෙහිදී විවාහ නොවූ කාන්තාවක්, චිත්තවේගීය හිංසනයෙන් (කුරිරු, අමානුෂික, පහත් හැසිරීම්) සහ පවුලේ සාමාජිකයන්ගේ ශාරීරික හිංසනයන්ගෙන් ආරක්ෂා වීම වැනි කාරණා කෙරෙහි අවධානය යොමු කොට ඇත.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *