ඔස්කාර් උළෙලට ගිය අලි පැටියාගේ කතාව

වින්ද්‍යා ගම්ලත් |

රැකවරණය අහිමි වී ගිය රඝු නම් අලි පැටවා රැකබලා ගන්නා යුවළක් වටා ගෙතුණු The Elephant Whisperers මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම කෙටි වාර්තා චිත්‍රපටය (short documentary) ලෙස ඇගයීමට ලක්විය. කාර්තිකි ගොන්සාල්වේස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කතාව රචනා කර ඇත්තේ ප්‍රිස්කිලා ගොන්සාල්‍වේස් ය.

කාර්තිකි සිය උපන් ගම වන ඌටි වෙත ගොස් ආපසු බැංගලෝරය වෙත පැමිණෙන අතර දී බොම්මන්, රඝු සමඟ ස්නානයට ගඟ‍ට ඇවිදගෙන යන අන්දම තුළින් මතුවුණු කුතුහලය The Elephant Whisperers නිර්මාණය බිහිවීමේ නිමිත්ත වෙයි.

මේ අවස්ථාව පිළිබඳ පැහැදිලි කරන කාර්තිකි පවසන්නේ, ‘’මම වාහනයෙන් බැහැලා ඇවිත් ඔවුන් සමග ගඟට යන්න එකතුවුණා. අවුරුදු තුනේ ඉඳලා මේ අභයභූමිය නරඹන්න මම එනවා නමුත්, මේ අත්දැකීම ඇත්තෙන්ම වෙනස්. ඒ වෙද්දී මාස තුනක පුංචි පැටියෙකු වුණු රඝු එක්ක එදා සවස් කාලයේ ඉඳන් තමයි මේ බැඳීම පටන්ගත්තේ. මේ සොඳුරු සබඳතාවය බෙදාහදාගන්නට හැකිවීම මට මහත් සතුටක් ගෙන දුන්නා.’’

මින් පෙර කිසිදිනක නොදුටු, රඝු හා බොම්මන් අතර පැවති මෙම විශේෂ සම්බන්ධය කාර්තිකිගේ නිරීක්ෂණයට ලක්විය. ‘’රඝු, බොම්මන්ට පුතෙක්ට වඩා එහා ගිය කෙනෙක් වුණා. සමහර වෙලාවල් වලදී රඝු බොම්මන්ගේ අතේ එල්ලී ඉන්න අතරේ ඔහුට යන්න දෙන්නට පවා අකමැති වුණු අවස්ථා තිබුණා. මම හිතන්නේ පුංචි අලි පැටියෙකු විදියට ඔහු අනාථ වූ විට ඇතිවුණු බය ඒකට හේතුවෙන්න ඇති ’’

මේ ඇසුරෙන් ‍කෙටි වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරන්න හේතු සාධක වුණු කරුණු පිළිබඳ ‘හින්දුස්ථාන් ටයිම්ස්’ ඇගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් පෙන්වා දෙන්නේ,

‘’මං හිතන්නේ ඒක ඵෙන්ද්‍රීයව සිද්ධ වුණා. මට මෙහි පිටපත ලියන්න නිශ්චිත මෙ‍ාහොතක් තිබුණේ නැහැ. ඒක වසර ගණනාවක් පුරා කතන්දර රචනා කිරීමෙන් හා ඡායාරූපකරණයේ ඇසුර ලැබීමෙන් ගොඩනගාගත් සහසම්බන්ධයක් වුණා. මං බොම්මන්, රඝු හා බෙලීව සමීපව ඇසුරු කරලා ඔවුන්ගේ විශ්වාසය දිනාගත්තා. දැන් මම ඒ ගැන ආපහු හැරී බලද්දී, ඒ කාලයන් ඒතරම්ම සුවිශේෂී බව මට වැටහුණේ ඒ ‍වගේ ‍නිශ්චිත න්‍යාය පත්‍රයක් නැතිව ඔවුන් සමග ඒ කාලය ගතකරපු නිසයි. මට එතන ඉන්න ඕන නිසා මම එතන හිටියා. මං තනිවම වනාන්තරය තුළ ඇවිද ගියා. කොටි හා දිවියන් ඇසුරින් වෙනත් නිර්මාණ කරලා තිබුණත් මේක ඇත්තටම ඊට වඩා සුවිශේෂයි. මම වල් අලි පැටවුන් දැක තිබුණත් කිසිදවසක මෙතරම් සමීපවෙන්න හෝ මෙතරම් ගැඹුරින් නිරීක්ෂණය කරන්නට හැකිවුණේ නැහැ.’’ යන්නයි.

ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සිදුවන මිනිස් – සත්ත්ව ගැටුම දැවැන්ත ගැටළුවක් වී තිබෙන අතර සංක්‍රමණය වන අලි ඇතුන් නිරන්තරව ව්‍යසනකාරී බලපෑම් වලට ලක්වේ. පසුගිය වසර අටක කාලයේදී විදුලිසැර වැදීමෙන් අලි ඇතුන් 550 කට වැඩි පිරිසක් මියගිය බව පසුගිය වසරේ ඉන්දීය රජයේ වාර්තාවකින් හෙළිදරව් කෙරුණි. ඉන්දියානු ජනප්‍රවාද තුළ දක්වන අන්දමට අලියා පූජනීය චරිතයක් මෙන්ම කොල්ලකෑම්වල නිරත වන සත්ත්වයෙකු ද වේ.

මිනිත්තු 39 ක් පුරා දිවෙන මෙම කෙටි වාර්තා චිත්‍රපටයේ යටිපෙළ අරුත් පහදමින් කාර්තිකි අවධාරණය කරන්නේ, රඝු කියන්‍නේ ආසියානු අලි ඇතුන්ගේ දේශගුණික විපර්යාස හා වාසස්ථාන අහිමිවීමේ ජීවමාන ප්‍රතිමූර්තියයි. රඝු ඇතුළු අලි රංචුව අසළ ගමකට ගිය වෙලාවකදී රඝුගේ මව විදුලි සැර වැදීමෙන් මැරුණා. මට කියන්න වුවමනා වුණු මේ කතාවේ කටුක අංගය අතිශයින්ම තීරණාත්මක වුණා. මනුස්සයින් විදියට සත්තු ගැන අනෙකාට වඩා වැඩි යමක් හිතන්න‍ට අපිට තියෙන අවස්ථාව මේ බව මම විශ්වාස කරනවා. ඒ වගේම ජීවීන් විදියට මේ ලෝකයේ අපිට හිමිව තිබෙන තැන ගැන හිතන්නටත් මේ කාලයයි’ යනුවෙන් කාර්තිකි පවසයි. එය The Elephant Whisperers තුළ මූර්තිමත් කරන ප්‍රශ්නයකි.

වින්ද්‍යා ගම්ලත්

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *