ඔස්කාර් සම්මාන රැසක් දිනා දුන් “The whale” චිත්‍රපටිය පිළිබඳ මාක්ස්වාදී හා මනෝවිශ්ලේෂණාත්මක කියවීමක්

| සුදේශ් අබේනායක |

“The whale” චිත්‍රපටය ඇමරිකානු අධ්‍යක්ෂවරයකු වන  ඩැරන් ඇරොනොෆ්ස්කි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකි. එය රචනා කර ඇත්තේ සැමුවෙල් ඩී. හන්ටර්  විසිනි. මෙම චිත්‍රපටය මනෝවිද්‍යාත්මක නාට්‍යමය චිත්‍රපට ශානරයට අයත් වන අතර ප්‍රධාන වශයෙන් බ්‍රැන්ඩන් ෆ්‍රේස, සෙයිඩ්, සින්ක්, හොන්ග් ෂාවු, ටායි සිට්ම්ස්කන්ස්, සමන්තා ටොටන් යන අයගේ රංගන දායකත්වයෙන් හැඩ ගන්නා ලද 2022 දී ප්‍රදර්ශනයට එක් වූ චිත්‍රපටයකි. ඒ 2022 දී 79වැනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ය.

සම්මාන පිට සම්මාන

මෙම චිත්‍රපටය සම්මාන රාශියකට උරුමකම් කියන අතර හොඳ ම නළුවාට හිමි සම්මානය බ්‍රැන්ඩන් විසින් AACTA අන්තර්ජාතික සම්මාන උළෙලේදීත් AAPR Movies for Grownups Awards යන සම්මාන උළෙලේදීත් දිනා ගන්නා ලදි. ප්‍රධාන වශයෙන් ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය ද ඔහු විසින් මෙම චිත්‍රපටය සඳහා දිනා ගන්නා ලදී.

ඔස්කාර්හහි හොඳ ම සහය නිළියට හොන්ග් ෂාවු නිර්දේශ වී සිටි අතර හොඳ ම වේශ නිරූපණය හා කොණ්ඩා සැකසීමේ සම්මානය ද මෙම චිත්‍රපටයට හිමි වීම විශේෂත්වයකි. මීට අමතරව තවත් බොහෝ සම්මාන උළෙලවල් හි දී සම්මානයට පාත්‍ර වූ The whale චිත්‍රපටය 2022 වර්ෂයේ දී පළ වූ සුවිශේෂී චිත්‍රපටයකි. මෙය  7.7/10 ක IMDB අගයක් වාර්තා කරන අතර පැය 1 විනාඩි 57ක  කාලයකින් යුක්ත වේ.

චිත්‍රපටයේ දෘෂ්ටිය

චිත්‍රපටය සඳහා වස්තු බීජ වන්නේ හුදකලා වූ, රෝගාතුර වූ, රාත්තල් හයසීයක් පමණ බරැති තරබාරු ඉංග්‍රීසි ගුරුවරයෙකු වටා වන අතර ඔහු තම යොවුන් දියණිය සමග අහිමිව ගිය සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීමට දරන උත්සාහය පිළිබඳ චිත්‍රපටය ගෙනහැර දක්වයි. මෙම චිත්‍රපටය මාක්ස්වාදී සහ මනෝවිශ්ලේෂණාත්මක මුහුණුවරකින් විශ්ලේෂණය කරමින් විචාරයට බඳුන් කළ හැකි අතර චිත්‍රපටය තුළ මතු කරන යථාර්ථවාදී ස්වභාවයන් එයින් කියවා ගත හැකි වනු ඇත. චාලි යනු යම් ආකාරයකින් ඔහුගේ ම දෘෂ්ටිවාදයක  සිටින අයෙක් ලෙස කියවා ගත හැකි ය. සාමාන්‍යයෙන් පොදු විඥානය  තුළින් බැහැර වන්නට ඔහු ගන්නා උත්සාහය චිත්‍රපටය පුරා ම දක්නට ලැබේ. සිත තුළ අවිඥානයේ ඇති ආශයන් තමාට ම අහිමි වූ අතීත වැරදි නිවැරදි කිරීමට ඇති මිනිසෙකුගේ ආශාව හා බැඳි මෙම සිනමාපටය 2022 වසරේදි පොදු රසඥතාව වෙනතක යොමු කිරීමට සමත් විය.

මාක්ස්වාදීන්ට අනුව ආගම යනු නිෂ්පාදනය කරන ලද්දකි. එනම් අධෝ ව්‍යූහය ශක්තිමත් කරන උපරි ව්‍යුහයේ එක් කොටසකි. චිත්‍රපටය තුළ එන නිව් ලයිෆ් පල්ලිය මගින් ගෙන එන දෘෂ්ටිවාද ඉගැන්වීම් ඔස්සේ මේ බව චිත්‍රපටය තුළ යටිපෙළ මගින් හෙළිදරව් කරගත හැකි වේ. පල්ලියේ ඉගැන්වීම් අනුව සමරිසි බව යනු වරදකි. ඇත්තෙන් ම එය නිෂ්පාදිත ඉගැන්වීමක් ලෙස සැලකිය හැකි ය. පල්ලියේ ඇති බොහෝ සංස්කෘතික ප්‍රවණතාවයන්ගෙන් ගැලවී සිටින්නට ලීස්ට හැකි වුව ද ඇලන්ට එනම් චාලිගේ සමරිසි පෙම්වතාට නොහැකි විය. ඇලන් යනු ලීස්ගේ සොහොයුරා ය. ඇලන්ගේ සමරිසි බව හා චාලි සමග ඇති සම්බන්ධය හමුවේ පවුලේ අය සහ පල්ලිය විසින් ඔහුව ප්‍රතික්ෂේප කිරීම මත ඔහු තම සිවි දිවි හානි කර ගනී. එම ජීවිතය නැති වීම සඳහා බලපෑවේ දෘෂ්ටිවාදී ඉගැන්වීමයි. එනම් සමාජයීය වශයෙන් මුල් බැසගෙන ඇති සාවද්‍ය විඥානයේ ගොදුරක් වන්නට ඇලන්ට සිදු විය.

මේ කාරණා හමුවේ චාලි තුළ ඇතිවන මානසික අවපීඩන තත්ත්වය තුළ චාලි තම ආහාර ගැනීමේ තත්ත්වය උග්‍ර කළ අතර එය ඔහුගේ ශරීරය තරබාරු වීමට හේතු විය. ඔහුගේ සබඳතාවයන් ලීස් දක්වා සීමා වූයේ ද එබැවිනි. මේ සිදුවීම් පෙළ සමග චාලිගේ සිත තුළ දැඩි පසුතැවීමක් සේ ම තම දියණිය සමග නැවත සම්බන්ධතාවයක් ගොඩනැගීමේ ආශාවක් ඇති වේ. මේ සියලු දේ සිදු වනුයේ බිත්ති කිහිපයකින් වටවූ, එහි සිර වී සිටින තල් මසෙකු වැනි මිනිසකු වටා ය. චාලි සෑම විට ම තම අහිමි වී ගිය ආශාව පිළිබඳව සිතයි. එනම් තම අවිඥානයේ තැන්පත් වී ඇති මතකයන් නැවත නැවත සිහි ගන්වමිනි. මුහුඳු වෙරළක ඔහු ඇවිද යන දර්ශනය අපට ඒ බව පසක් කරවයි. ජීවිතයේ අවසාන මොහොතේ පවා ඔහුගේ ඒ මහා ආශාව ඔහු ප්‍රතිනිර්මාණය කරගනි. මේ ආශාවන් ඉටු නොවන තැන චාලි දැඩි ආතතියෙන් පෙළෙයි. එය ඔහුගේ ආහාර ගැනීමේ පුරුද්ද හා දිවේ. එක් අවස්ථාවක ඔහු විසින් ආවේගයෙන් පීසා කැබලි ද්විත්වයක් ම කටේ ඔබා ගනී. ඒ ඔහුගේ ආවේගය පිට කරගැනීම උදෙසා ය. එය තුළ ප්‍රේක්ෂකයාව චිත්තවේගි වශයෙන් තරබාරුකම ගැන සිතීමට පොළඹවයි.

The whale චිත්‍රපටයේ විශේෂ කරුණක් වනුයේ චාලිගේ අවපීඩන තත්ත්වය හා චාලිගේ මහල් නිවාස තුළ ම ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනිමයි. එනම් චාලිගේ  නිවසේ ඉදිරිපස දොරෙන් ඇතුළුවන සහ පිටවන අය සමග චාලි ගේ ජීවිතය පමණක් ප්‍රේක්ෂකයා ඉදිරියේ පෙන්වන්නට අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත. චාලිගේ අවිඥානය තුළ ඇති අවසාන ආශාව තම දික්කසාද වූ බිරිඳ වන මේරිගේ නික්ම යාම මතුවේ. ඒ මෙලෙසය.

චාලී- I need to know that I have done one thing right with my life?”

චාලි තමාගේ ජීවිතයේ ඇසීමට කැමති දේ තමාගේ සිතේ ඇති ආශාව එලෙස ප්‍රකාශ කරයි. නමුත් ඔහු ඉන් තෘප්ත වන්නේ නැත.

අවශ්‍ය නම් චාලිට තමාගේ රෝගවලට ප්‍රතිකාර ගැනීමට හැකියාවක් තිබිණි. තම රෝහල් ගාස්තු ද ගෙවීමට ඔහුට හැකිවිය. නමුත් ඔහු එය නොකරයි. එක් අතකින් නිෂ්පාදන මාදිලිය තුළ ඔහු මධ්‍යම පන්තිය නියෝජනය කරන නිසා විය හැකි ය. චාලි තම සියලු වත්කම් සැලසුම් සහගතව එළි වෙනුවෙන් ඉතිරි කරයි. තමාගේ අහිමි වූ ආශාව සංතෘප්ත කිරීමේ තරඟයක් වෙනුවෙන් තම සෞඛ්‍ය කැප කිරීමට ඔහු ඉදිරිපත් වෙයි. එක් අතකින් චාලි තම රෝගවලට ප්‍රතිකාර නොගන්නේ අධික පිරිවැයක් ඒ සඳහා තමාට ගෙවීමට සිදුවන බැවිනි. චිත්‍රපටය තුළ ව්‍යාජ විඥානය පිළිබඳව හෙවත් දෘෂ්ටිවාදීමය බලපෑම පිළිබඳව නැවත නැවත සාකච්ඡා කරයි. චිත්‍රපටිය තුළ එය ඉස්මතුවන ප්‍රබල ස්ථානයක් නම් තොමස් අවසාන වතාවට චාලි දැකීමට පැමිණෙන අවස්ථාවයි එහිදී චාලිට තම පෙම්වතාගේ බයිබලය අතට දී තෝමස් විසින් ඔහුට සිදු වූ දේ විස්තර කිරීමට යාමේ දී තොමස් තුළ ඇති ඉගැන්වීම් සහ චින්තනයට චාලි විසින් දෝෂාරෝපණය කරයි. මන්දයත් ආගම තුළින් මනුෂ්‍යයන්ගේ නිදහස සීමා කර ඇත. ඇලන්ගේ මරණයට හේතුව එයම ය. චාලිට එය ම පරාරෝපණය වී තොමස් හරහා පැමිණෙනවිට චාලි දැඩිව දෙවියන් විවේචනයට භාජනය කරයි. දෙවියන් ප්‍රශ්න කරයි. එක්තරා ලෙසක මනුෂ්‍යයාගේ ව්‍යාජ විඥානය අවදි කිරීමට චිත්‍රපටය ගන්නා උත්සාහය මෙහිදී අවබෝධ කරගත හැකි ය.

චාලි සෑමවිට ම “අවංක රචනය” යන්න බලාපොරොත්තු වේ. ඔහුගේ ජීවිතය අවංකව ලියා අවසන් කිරීමට නොහැකි වූ තැන ඔහු එලෙස අවංක වූ රචනයක පහස විඳීමට සිතුවා විය හැකි ය. ඒ බව අධ්‍යක්ෂවරයා චිත්‍රපටයේ ගලායාම තුළ දැඩිව ඉස්මතු කර දක්වා ඇත. චාලි සිසුන්ගෙන් බලාපොරොත්තුවන “අවංක රචනය” චාලිගේ කැඩපතේ අනෙකා විය හැකි ය. චාලිගේ අවංක කියවීම ඔහුගේ අවිඥානය කොටසක් විය හැකි ය. මන්ද යත් අවසානයේ දී ඔහු දන්නා අවංකවම ලියවිල්ල වනුයේ තම දියණියගේ මොබිඩික් පිළිබඳව ලියැවුණු රචනයයි. මේ නිසා ම චාලිගේ “අවංක රචනයේ” සංකේතය ඇතැම්විට චාලිගේ අනිකා විය හැකි බව කියවා ගත හැකි ය.

ඇත්තෙන් ම චාලිගේ දැඩි ආහාර ගැනීමේ පුරුද්ද ඇති වන්නේ ඇලන්ගේ මරණින් පසුවයි. එහිදී චාලි විසින් තම ඊගෝව ආරක්ෂා කර කරගැනීමේ උත්සාහ දරා ඇති බව පෙනේ. ඔහුගේ ආහාර පුරුද්ද ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයට සෘජුව බලපාන තරමට ම ඔහුට එය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත. ඇත්තෙන් ම ඔහුගේ මේ ආහාර පුරුද්දට ක්ෂණික ආහාරවල නැගී සිටීම ද හේතු වන්නට විය.

ධනවාදි පරිභෝජනවාදය

ධනවාදී ආර්ථික ක්‍රමය තුළ මිනිසුන් බොහෝ විට ක්ෂණික ආහාරවලට හුරු විය. බහුජාතික සමාගම් ආශ්‍රිතව ගොඩනැගී ඇති ආහාර සමාගම් නිතර ක්ෂණික ආහාරවලට මිනිසුන් හුරු කරවන ලදී. චාලි ද සැමදාම පාහේ පීසා කෑමේ පුරුද්දක් ඇතිකරගෙන තිබිණි. ධනවාදී ආර්ථිකය ශක්තිමත් කරමින් චාලි පීසා කෑම තුළ අධික තරබාරු වීමට පටන් ගන්නා ලදි. චිත්‍රපටයේ දී මානව සබඳතා පවා යම් ලෙසක පරිභෝජනවාදි දෘෂ්ටියකට තල්ලු වී ඇත් දැයි ප්‍රශ්න කිරීමට සිදුවේ. පිසා ගෙන එන ඩැන්ගේ හැසිරීම මෙන්ම එළි ගේ චරිතය ඒ පිළිබඳව පසක් කරවයි. එළි තම පියා සමග සම්බන්ධයක් පටන් ගන්නට උත්සාහ දරන්නේ ඇයට ආර්ථික ලාභයක් ලබා දෙන බව පැවසීමෙන් පසුව ය. මේ ආකාරයට මානව හැඟීම් පවා ආර්ථිකය මත තීරණය වන තැනට සමාජ ක්‍රමය සැකසී ඇත. ඇත්තෙන් ම ලුසී චාලිට උදව් කරන්නේ තම නැති වූ ඇලන් වෙනුවෙන් බව අපි අමතක නොකළ යුතු ය. ඇයගේ ද  අවිඥානයේ සැකසුනු ඇලන් හා බැදි මතකයට සාධාරණය ඉටු කරන්නට ඈ තෝරා ගන්නේ චාලීව රැකබලා ගැනීමයි.

ලිංගික ආශයන් මැඩගැනීම

චාලි කෙතරම් රෝගාතුරව සිටිය ද ඔහුගේ ආශාවන් නිතර ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. ඔහුගේ ලිංගික ආශාවන් ද එලෙස ම ය. චිත්‍රපටය මුලදි ම චාලී විසින් සමරිසි වීඩියෝ පඨයක් නරඹමින් ස්වයංවින්දනයේ නියැළෙමින් පසුවේ. එහිදී ඔහුට හෘදයාබාධයක් පැමිණ වේගයෙන් අපහසුවෙන් හුස්ම ගනී. නමුත් තෝමස්ගේ පැමිණීමත් සමග ඔහු එය සමතයකට පත් කර ගනියි. එහිදී අපට කතිකා කළ හැකි කරුණ වන්නේ මනුෂයාගේ ප්‍රබල වූ ලිංගික ආශයන් පිළිබදවයි. චාලි ද තම ඉඩ් ගේ ක්‍රියාකාරීත්වය හමුවේ තම ආශයන් ඉෂ්ට කර ගැනීමට උත්සහ ගනි. එයට තම ශරීරයේ සෞඛ්‍ය පවා අමතක කර දැමීමට චාලි උත්සුක වී ඇති බව වැටහේ.

මෙහිදී එළි ගේ චරිතය විග්‍රහ කර ගැනීම ද වැදගත් වේ. ඇය සෑමවිට ම තම පියා සමග කටයුතු කරන්නේ දැඩි ආවේගයෙනි. අවුරුදු අටක පමණ කලක් පියා තමාව නොසලකා හැරීම මත ඇගේ ආවේගශීලී බව සර්ව සාධාරණ ය. ඇයට ඉතා තදින් තම පියා වැළඳ ගැනීමට අවශ්‍ය වුව ද ඇය එසේ නොකරයි. ඒ වෙනුවට ඇය තම ඊගෝ පාලනය කර ගැනීම උදෙසා විවිධ සංරක්ෂණ ප්‍රයෝග යොදමින් සිටී. විටෙක චාලි හට  තදින් බැණ වදි, විටක පාසලට බැන වදී, විටෙක තම සමීපතයන්ට දෝෂාරෝපණය කරයි. ඇයගේ ජීවිත කාලය තුළ ඇයගේ හැසිරීම තුළ තම පියාගේ අහිමි වීම ඇයට වඩාත් තදින් බලපා ඇත. එය මේරී පවසන  කතාවෙන් අපට වැටහේ. ඉලෙක්ට්‍රා සංකීර්ණය නිසි අවදියේ දි අසම්පුර්ණ වීම මත එළි තම පියාගේ අවධානය බලාපොරොත්තු වේ. නමුත් පවතින යථාර්ථවාදී කාල රාමුව ඒ සඳහා ඉඩක් වෙන් කර නොදේ. මන්දයත් තම සමරිසි පියා හුදකලාව, ඉතා තරබාරුව, පුටුවකට සීමා වී රෝගාතුරව සිටින බැවිනි.

අවසානයේ දී ඇයගේ  හදවත ද වෙනස් වේ. ඇය තම පියා ඉදිරියේ හඬා වැටේ. නමුත් වැළඳ ගැනීමකින් තොරව චාලි ඇය අතහැර යයි. අවසානයේ දී ඇය විසින් ඔහුට ඇසෙන පරිදි ඇයගේ රචනාව කියවයි. එය ඉතා සංවේදනාත්මක දර්ශනයකි. ඒ මත ප්‍රේක්ෂකයා තුළ ද චාලි පිළිබද මෙන් ම එළි කෙරෙහි ද දැඩි සංජානනයක් ඇති කරවයි. එළිගේ ජීවිත කාලය තුළ  බොහෝ විට ඍණාත්මක ආකල්ප, සෘණාත්මක වදන් වලින් ඇයගේ මනස පිරී ගොස් ඇති බව චිත්‍රපටය සංඥා කරයි. අවසාන මොහොතේ දී චාලි විසින් ඇය විශිෂ්ටයි, ඇයගේ රචනාව ඉතා අවංක යැයි පැවසිම පවා ඈ විසින් බාරනොගන්නේ  එබැවිනි.

චාලී – you are amazing

එළි – stop

චාලී – you’re amazing, this essay is amazing ,this essay is you.

එලී – stop saying that

චාලි – you are the best thing i have ever done.

අවසානයේ දී චාලිගේ  සිතෙහි ඇති ඔහු ඇසීමට කැමති වදන් ඔහු ම පවසන අයුරු එලෙස චිත්‍රපටය තුළ දී ම අපට දැකගත හැකි ය. එලෙස යම්කිසි ආකාරයක ආත්ම තෘප්තියක් චාලි ලබයි.

අධ්‍යක්ෂවරයා සිනමා තිරය මත ඉතා විශාල වූ දැවැන්ත චරිතයක් මවා ඇත. චාලිගේ සිහිකල්පනාව තුළ ප්‍රේක්ෂකයාගේ බැල් ම ගොඩ නැංවීමට අධ්‍යක්ෂවරයා යම් උත්සාහයක් දරා ඇත. චාලිට සිදුවන අමිහිරිම සිදුවීම මත, චාලිගේ අශෝභන ආහාර ගැනීමේ චර්යාව මත සිනමා තිරය මගින් මහා අනෙකාගේ පැවැත්ම ප්‍රේක්ෂකයා වෙත ජනිත කරවීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇත. නිතැතින්ම චාලි පිළිබඳවත්, තරබාරුකම පිළිබඳවත් අපට සහවේදනය වන්නේ එබැවිනි. චාලිගේ ආශාවේ වස්තුව ප්‍රේක්ෂකයාට තදබල ලෙස සංජානනය වන්නේ එබැවිනි. ප්‍රේක්ෂකයාගේ පරිකල්පනීය ලෝකය තුළ චාලි ජීවත් වන තෙක් යථාර්ථවාදී ලෝකය තුළ දී ප්‍රේක්ෂකයාට විවිධ සංකේතාත්මක අර්ථකතනයන් තුළ මෙම චිත්‍රපටිය  සිහිවනවා නොඅනුමාන ය.

සමස්තයක් ලෙස ගත් විට ලෝකය තුළ චාලි වැනි චරිත නොසිටිනවා නොවේ. චාලි ඇතැම් විට අපගේ අනෙකා විය හැකිය. චාලි ආහාර ගන්නා සේ අප තුළ විවිධ ඇබ්බැහිකම් තිබිය හැකි ය. ඇතැම් විට අප සිටිනුයේ එළි ගේ චරිතයයේ විය හැකි ය. තම හැඟීම අවරෝධනය කොටගෙන ඊගෝගේ ආරක්ෂාව තකා සමාජ හැසිරීම් පෙන්නුම් කරන එළි විය හැකි ය. ඇතැම් විට තෝමස් ලෙස ද අපට සිටිය හැකි ය. ව්‍යාජ විඥානයක් තුළ සිටිමින් එම විඥානගත සමාජ පද්ධතිය ආරක්ෂා කරන තෝමස් ද  විය හැකිය. නැතිනම් ලීස් වැනි චරිතයක් ද විය හැකි ය. කුමන චරිතයක අප සිටිය ද චිත්‍රපටය තුළ ගෙන එන යටිපෙළ නිවැරදිව කියවා ගත යුතු වේ.  චරිතවල මතුපිටින් පෙනෙන දේට වඩා චරිත විශ්ලේෂණයේ දී අපට බොහෝ දේ මතුකර දක්වා ගත හැකි ය.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වනුයේ තාරුණ්‍යයේ අධික තරබාරුවයි. මෙලෙස  තරබාරු වීමට ප්‍රධාන හේතුව ලෙස සලකනුයේ ක්ෂණික ආහාර පුරුද්දය. චාලි යනු එම ක්‍රමයේ නිෂ්පාදිතයකි. බලය හිමි  පන්තියේ ආර්ථිකය ශක්තිමත් කරනු වස් අතුරු ප්‍රතිඵලයක් ලෙස චාලිට එම ඉරණම අත්විණි. චාලිගේ මානසික තත්ත්වය හා ඔහුගේ ව්‍යාධීන් නිසා ඔහු ආහාර ගත්ත ද ඔහු පළතුරු වැනි පෝෂදායි ආහාර නොගෙන චොක්ලට්, පීසා වැනි ආහාරවලට පුරුදු වූයේ ඇයි දැයි අප විමසිය යුතු ය. පැණි රස නැමැති ලෝකය තුළ මෙවන් ආකාරයේ චාලිලා කෙතරම් සිරවී ඇත් ද? තම මනෝරාජික ලෝකයේ ජයගනු වස් ඔහුනොවුන් නිතර උත්සාහ ගනී. ඒ තුළ මිනිසුන් තුළ ඇති තරම් දෘෂ්ටිවාදී බලපෑමක් මානසික පෙළඹවීමක් තුළ මිනිසුන්ට ඉතා අභාග්‍යසම්පන්න ඉරණම්වලට මුහුණ දීමට සිදුවේ. චිත්‍රපටය ගලායාම යම්කිසි ආකාරයකින් ප්‍රේක්ෂකයා එක් රාමුවකට එක්රැස් කරන අතර චාලිගේ ලෝකය තුළ ම ප්‍රේක්ෂකයන් රඳවා ගනියි. චාලිගේ කතාව තුළ ප්‍රේක්ෂකයා තබා ගැනීමට ඉතා සුපරික්ෂාකාරී ලෙස චරිත සහ සිදුවීම් පවා හසුරුව ඇත්තේ ය. චාලිගේ නිවස ඉදිරියේ දොර සේ ම චාලිගේ ලැප්ටොප් එකෙහි සබැඳියෙන් චාලි ලෝකය දකි. ප්‍රේක්ෂකයා ද චාලිගේ කුඩා ලෝකය තුළ නතර වන්නේ එහි වූ සීමා මායිම් මත ය.

චිත්‍රපටය තුළින් ප්‍රබල මාක්ස්වාදී කියවීමක් සේ ම මනෝවිශ්ලේෂණවාදී කියවීමක් එලෙස ඉස්මතු කරගත හැකි ය. The whale යනු මුහුදක අතරමංව සිටින තල්මසකු නොව, චාලි නම් මිනිසා තුළ පරාරෝපනය වන අපි බව චිත්‍රපටය නැරඹීම තුළ අපට පසක් කර දෙයි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *