ගෝලීය තාක්ෂණික දැවැන්තයින් සහ ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති ආයතන අතර සිදු වන මුදල් ගනුදෙනු වෙනත් රාජ්‍යයන්හි නව නීති පැනවීමට බලපාන්නේ කෙසේද?

පරිවර්තනය – අයේශ් විජයසිංහ |

2022 සැප්තැම්බර් 01 දින DIGITAL NEWSMEDIA ECONOMICSRECENTහි ආන්යා ෂිෆ්රින් විසින් පළ කළ වාර්තාව

“බල අසමතුලිතතාවය”‍ පිළිබඳ සැලකිලිමත් වූ ඕස්ට්‍රේලියාව, Google සහ Meta සමාගම්  මගින් බෙදා හරින තම රටේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති සඳහා එම මාධ්‍ය ආයතන වෙත ගෙවීමට බලපෑම් කරනු ලබන නීතියක් සම්මත කළේය.

2021 වසරේ ඕස්ට්‍රේලියාව සම්මත කළ පෙරළිකාර ප්‍රවෘත්ති මාධ්‍ය කේවල් කිරීමේ නීතියෙන් (News Media Bargaining Code)  ලොව පුරා ජීවත්වන විවිධ ජාතීන් යම් ආස්වාදයක් ලබමින් සිටී. ඒ පසුගිය වසරේ එම නීතිය මගින් Google සහ  facebook සමාගම් වෙත ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 200ක් ගෙවීමට සිදු වීමත් සමගය.

මෙම ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඕස්ට්‍රේලියානු වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලන ධාරාවන් එක්ව පෙරමුණ ගෙන කටයුතු කළේය. එමගින් Google සහ Meta සමාගම් මගින් බෙදාහරින ප්‍රවෘත්ති සඳහා එකී මාධ්‍ය ආයතන වෙත මුදල් ගෙවීමට නැඹුරු කළ නීතියක් සම්මත කර ගැනීමට ඔවුන්ට හැකි විය.

තාක්ෂණික දැවැන්තයින් සහ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන අතර පවතින “බල අසමතුලිතතාවය” පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයන් ගොඩනැගී තිබුණි. මේ පිළිබඳව කනස්සල්ලට පත් ඕස්ට්‍රේලියානු තරග සහ පාරිභෝගික කොමිසමේ (Australian Competition and Consumer Commission) හිටපු සභාපති රොඩ් සිම්ස් ඩිජිටල් වේදිකාවන් සහ මාධ්‍ය ආයතනයන් අතර සාකච්ඡාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ප්‍රවෘත්ති මාධ්‍ය කේවල් කිරීමේ නීතිය යෝජනා කළේය. ඔවුන් අදාළ ගනුදෙනු ඉදිරිපත් නොකළේ නම් රජයට ඇතැම් ඩිජිටල් වේදිකා නම් කළ හැකිය. එහිදී අවසන් දීමනා බේරුම්කරණයට බැඳීමට අනිවාර්යයෙන් ඔවුන්ට අවශ්‍ය වේ. ඕස්ට්‍රේලියානු රජයේ මෙම තර්ජනාත්මක මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ගූගල් සමාගම සාකච්ජාවන් සඳහා එකඟ විය. ඒ අනුව මේ වනවිට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන බහුතරයක් ගූගල් සමාගම වෙතින් තම ආයතනයට අදාළ ගෙවීම් ලබා ගන්නා අතර මාධ්‍ය ආයතන කිහිපයක් ෆේස්බුක් වෙතින් ද තමන්ට අදාළ ගෙවීම් ලබා ගනී.

ප්‍රවණතා සැකසුම් නීතිය (Trendsetting code)

ජූලි මාසයේදී ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ සහ ඉලෙක්ට්‍රොනික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රජීව් චන්ද්‍රසේකර් මහතාව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත උපුටා දක්වා කියා සිටියේ ඉන්දියාව ද එවැනිම නීතියක් සම්මත කරනු ඇති බවයි. කැනඩාව ද ඔක්තෝම්බර් මාසයේ ඔවුන්ටම ආවේණික නීතියක් සම්මත කරගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ඇත. මෙම නීතියෙහි ඇමරිකානු එක්සත් ජනපද අනුවාදය වන්නේ පුවත්පත් කලාවේ තරග සහ සංරක්ෂණ පනතයි (Journalism Competition and Preservation Act). මෙයට අදාළ පනත් කෙටුම්පත සෙනෙට් සභාවේ බහුතරය නියෝජනය කරන නායක චාල්ස් ෂුමර් විසින් මෙම වසර අවසන් වන විට ඡන්ද ප්‍රකාශන දින දර්ශනයට (voting calendar) ඇතුළත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

එක්සත් ජනපදය සහ කැනඩාව යන රාජ්‍යයන් ද්විත්වයම ගනුදෙනු වඩාත් විනිවිදභාවයට පත් කිරීම ඇතුළුව තවත් කාරණා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීතියට වෙනස්කම් කිහිපයක් හඳුන්වා දී ඇත. එක්සත් ජනපදයේ පුවත් සංසදය(News Guild) විසින් Meta සහ Google සමාගම් වෙතින් ලැබෙන අරමුදල් වැඩි වශයෙන් මාධ්‍යවේදීන් බඳවා ගැනීම සඳහා වියදම් කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරයි.

ඕස්ට්‍රේලියානු නීතිය තුළ පවතින විනිවිදභාවය නොමැතිකම විවේචනයට ලක්ව ඇත. ඒ, ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන ගෝලීය තාක්ෂණික දැවැන්තයින් වන Google සහ Meta සමාගම් අතර සිදුකරන ගනුදෙනු ආවෘත ගිවිසුම් මගින් ආවරණය වී ඇති බැවිනි. එමගින් මාධ්‍ය ආයතන වෙත කොපමණ මුදලක් හිමි වූවාද සහ ඒවා වියදම් කළේ කුමක් සඳහා දැයි දැන ගැනීමට නොහැකි වී ඇත.

විනිවිදභාවය වැඩි දියුණු කිරීම

කැනඩාවේදී මාධ්‍ය ආයතන සහ ඩිජිටල් වේදිකාවන් අතර ගනුදෙනුවේ සඳහන් නියමයන් පිළිබඳව දැනුවත් වන්නේ, පත් කරන ලද නියාමකයින් පමණකි. “දැනට මෙම පනත සකසා ඇති පරිදි මාධ්‍ය ආයතන සහ ඩිජිටල් වේදිකාවන් අතර ගිවිසුම් පිළිබඳ නිශ්චිත තොරතුරු වෙත ප්‍රවේශ වීමට මහජනතාවට නොහැකි වනු ඇත. මෙහිදී නියාමකයා එනම් (කැනේඩියානු ගුවන්විදුලි-රූපවාහිනී සහ විදුලි සංදේශ කොමිෂන් සභාව) විසින් කැනඩාවේ ජනමාධ්‍ය වෙළඳපොළට සමූහගත ගනුදෙනු සහ ඒවායේ බලපෑම පිළිබඳ වාර්ෂික විගණනයක් නිකුත් කරනු ඇත. එබැවින් එහි යම් තරමක විනිවිදභාවයක් පවතින අතර එය ඕස්ට්‍රේලියානු නීතියට ඉදිරි පියවරක් ලෙස ද පෙනෙන්නට ඇත. නමුත් නියත වශයෙන්ම පාරදෘශ්‍යභාවය වඩාත් ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා තවමත් ඉඩක් වෙන් වී ඇත” යනුවෙන් කැනඩාවේ නීතිය ඕස්ට්‍රේලියාවේ නීතියට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව ටේලර් ඕවන් සමඟ මෑත කාලීන කෘතියක සම-කර්තෘ වූ සුප්‍රියා ද්විවේදි පැවසුවාය.

ඕස්ට්‍රේලියාවේ, රාජ්‍ය නීතිය යටතේ මෙම නීතිය පිළිබඳව රජයේ සමාලෝචනයක් සිදු වෙමින් පවතින අතර එම වාර්තාව ඔක්තෝම්බර් මාසයේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ මෙම නීතිය අවලංගු කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති බවයි.

“මෙම නීතියෙන් මිදෙන ලෝකයක් මම දකින්නේ නැහැ. එය පසුගිය රජය කළ හොඳම කාර්යයයි” යනුවෙන් කම්කරු පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවසීය.

ඉදිරි නීති සමාලෝචනයේදී කුමන ආකාරයේ නිර්දේශයන් සිදුවිය හැකිද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නියුතු මාධ්‍යවේදීන් 5000කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන මාධ්‍ය විනෝදාස්වාදය සහ කලා සන්ධානයේ (Media Entertainment and Arts Alliance) අධ්‍යක්ෂ ඇඩම් පෝටෙලි පවසන පරිදි “පත්වන ෆෙඩරල් රජය මෙම නීති සංග්‍රහය වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතු බවත් එහිදී ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුවත්පත් කලාව ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ගැන සැලකිලිමත් වන සෑම දෙනාටම මෙය දැන් භාර බවයි”.

ආන්යා ෂිෆ්රින් යනු කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන කටයුතු පිළිබඳ පාසලේ තාක්‍ෂණ මාධ්‍ය සහ සන්නිවේදන විශේෂීකරණයේ අධ්‍යක්ෂවරිය වේ. ඕස්ට්‍රේලියානු ආයතනයේ බුද්ධි මණ්ඩල විශේෂ ආරාධිතයෙකු ලෙස ඇය ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සති තුනකට ආසන්න කාලයක් ගත කළාය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *