කාටූන දේශපාලනය
| නාමල් සජිත් ජයසිරි |
සාම්ප්‍රදායික මාධ්‍යයෙන් දියුණු වෙස්ගත් ජනමාධ්‍යකරණය සිය ප්‍රේක්ෂක ශ්‍රාවක හා පාඨක ග්‍රාහකත්වයේ තොරතුරු පිපාසාව සංසිඳුවීමට නිරන්තර කැප වී සන්නිවේදනයේ යෙදෙයි. එය දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යකරණය තුළද දක්නට ලැබේ. මෙරට මාධ්‍යකරණය පිළිබඳව ආසන්නතම ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පසුගිය (2024) ජනාධිපතිවරණයේ ජනමාධ්‍ය ක්‍රියා කළ ආකාරය පිළිබඳව විමසා බැලිය හැකිය. ජනමාධ්‍ය ලෙස රූපවාහිනිය, ගුවන්විදුලිය හා පුවත්පත යොදා ගනිමින් ග්‍රාහකයාට සෘජු බලපෑමක් සිදු කිරීමට අවස්ථාව ඇත. එමෙන්ම පුවත්පත් මාධ්‍යකරණයේ දී පාඨක චින්තනය අවදි කිරීමටත් ඔවුන්ගේ අත්දැකීම් පසුතලයට සමගාමීව කතුවර අපේක්ෂාවන් අවබෝධ කිරීමටත් හැකියාව ලැබේග ඒ මගින් සංදේශයේ සැබෑ පරමාර්ථය මෙන්ම එහි අන්තර්ගතය අවබෝධ කර ගැනීමට ද පාඨකයාට අවස්ථාව හිමි වේ.
එලෙස පුවත්පත තුළ නිර්මාණාත්මකව සංදේශ ග්‍රාහක ගත කිරීමක් සහ පාඨකත්වයට නිර්මාණශීලීව ආමන්ත්‍රණය කිරීමක් ලෙස පුවත්පත් කාටූනය හඳුනාගත හැකිය. දිවයින, මව්බිම, දිනමින, ලංකාදීප වැනි මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් මගින් චමෝද් පත්මශ්‍රී ගේ ශ්‍රී සමයං, එම්.ඩී වීරරත්නගේ මරිසිපාල, ශ්‍රීකාන්ගේ ශ්‍රී දුපත, දාස හපෝලානගේ සුවාරිස්, තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස, පංකජ රුවින්දගේ සරදම්, තරස්වින්ගේ බෙම්පියා වැනි නිශ්චිත නාමකරණයකින් යුක්තව දිනපතා හෝ සතිපතා පළවන පුවත්පත් කාටූන් මගින් පාඨක චින්තනයට වචනයේ ආමන්ත්‍රණයට වඩා ගැඹුරු අර්ථයක් සන්නිවේදනය කිරීමට ගන්නා උත්සාහයක් දක්නට ලැබේ. එහිදී මාධ්‍ය සදාචාරයට අනුකූලව සමාජය, දේශපාලනය ඇතැම් ජනතා මත හා අභිලාෂයන් විවේචනයටත්, ඇගැයීමටත් පුවත්පත් කාටූනය ඉතා සියුම්ව යොදා ගන්නා ආකාරයක් පුවත්පතෙහි දැකගත හැකිය. ජනතාව රටේ සුවිශේෂි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම පාලක ක්‍රියාකාරීත්වය පිළිබඳව කාටූන් ශිල්පියා මෙහිදී අවධානය යොමුකරයි.
2024 ජනාධිපතිවරණය ආශ්‍රිතව මෙරට ප්‍රධාන පුවත්පත් තුළ ජනතාවගේ අදහස් හා දේශපාලන ක්‍රියාකාරකම් කාටූනය මගින් පාඨකයාට දැනවීම සිදුකිරීම පසුගිය කාලයේදී පුවත්පත තුළ සිදු විය. මෙහිදී දේශපාලකයින් නිරූපණයේදී ඔවුන්ගේ විවිධ ආවේණික ලක්ෂණයන් භාවිතා කරමින් නාමකරණයකින් තොරව චරිතය හඳුනාගත හැකි ආකාරයට නිරූපණය කරයි. මෙහිදී කාටුන් ශිල්පියා මතු කරන අදහස පාඨකයාට අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන අතර බොහෝ විට වචනාර්ථයට වඩා ප්‍රබල සන්නිවේදනයක් සැපයීමට පුවත්පත් කාටුන් යොදා ගත හැකිය. හාස්‍ය මතු කරන ඇතැම් දෙබස් කණ්ඩ භාවිත කරන කාටුන් තුළ සැබැවින්ම එය හාස්‍යයට කරුණක් ද නොඑසේනම් එහි සැබෑ අර්ථයේ ගැඹුරත්වය හාස්‍ය මඟින් විදහා දැක්වීමක් ද යන වග පාඨකයා අවබෝධ කරගත යුතුය. ඇතැම් අවස්ථාවල විවිධ සළකුණු, වර්ණ, සංකේත යොදා ගනිමින් කාටූනයේ අර්ථය හා ප්‍රබලත්වය වැඩි කරන අතර ඇතැම් නිර්මාණ වචන සිය ගණනක සංක්ෂිප්තයකි.

මෙරට කීර්තිමත් පුවත්පත් කාටුන් ශිල්පියෙකු ලෙස එම්.ඩී. වීරරත්න මහතා හඳුනාගත හැකිය. ඔහු විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලකයින්ගේ පොරොන්දු සහ ඔවුන් විසින් මැතිවරණ සමයේදී ජනතාව සමග ගනුදෙනු කරන ආකාරය කාටූනය මගින් නිරූපණය කර ඇත. නිවසේ බිත්තියටම හාන්සි වී සිටින ජනතාවට මැතිවරණ කාලසීමාවට පමණක් හිමිවන පොරොන්දු ආහාර පාන, ආධාර බෙදාදීම්, සහන මලු වැනි දෑ කැරට් අල මගින් මෙහිදී නිරූපණය කර ඇත. එනම් මැතිවරණ කාල සීමාවට පමණක් මෙවැනි ලබාදීම් තොග පිටින්, ලොරි පිටින් හිමිවන බව දක්වන කාටුන් ශිල්පියා මැතිවරණයක් නොමැති කාලයන්වල දී ජනතාවගේ ප්‍රශ්න ගැටලු ආහාර පාන භාවිතය පිළිබඳව නිරූපණයක් පුරවැසියාගේ සිරුරේ ස්වරූපයෙන් දක්වා ඇත.


එමෙන්ම ඇතැම් අපේක්ෂකයින්ගේ ඡන්ද පොරොන්දු පිළිබඳ සමාජයේ දැඩි කතා බහකට ලක්වන්නේ ඔවුන් බලයට පැමිණීමෙන් අනතුරුවයි. මන්ද ඔවුන් ලබාදෙන පොරොන්දු සැබැවින්ම ඉටු කළ හැකිද යන්න පිළිබඳව ගැටළු මතුවන්නේ එවිටය. මෙම කාටූනයට අනුව 2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වූ සජිත් ප්‍රේමදාස මහතාිවතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරනවා’ යනුවෙන් වේදිකාවේ දැක්වූ අදහස දැඩි ලෙස සමාජය තුළ කතාබහට ලක්වුණි. එම්.ඩී වීරරත්න කාටුන් ශිල්පියා එම පොරොන්දුව දක්වා ඇත්තේ අපේක්ෂකයා විසින් මැතිවරණ සමයට ජනතාව හමුවේ ඔවුන් ඡන්දය ලබා ගැනීමට උක්‍රමශීලීව ජනතාවට සමීප වන ආකාරය දැක්වීමටයි. “කෝ මං දළු කඩන්නම්” යනුවෙන් මෙහිදී ප්‍රකාශ කිරීමක් දක්වා තිබුණද සැබවින්ම මැතිවරණයෙන් පසුව රටේ ජනතාවට සිදුවන්නේ වතුහිමියන් වීමට නොව පත් වන දේශපාලඥයන්ගේ වියදම් ද සිය ජීවන බරට වක්‍රාකාරව එකතු වීමකි.
ආහාර ගැටලු කෘෂිකාර්මික ගැටලු වලින් හෙම්බත් වී සිටින ජනතාවට රටේ ආර්ථිකය පිළිබඳව විවිධ අභියෝග මතුකොට ඒවා විසඳීමට නම් තමන්ම බලයට පැමිණිය යුතු බව රනිල් වික්‍රමසිංහගේ මතයයි. කෙසේ වෙතත් බොහෝ විට සෑම මැතිවරණයකදී ම සිදුවන්නේ ජනතාවගේ ඡන්දය භාවිතා කොට දේශපාලනඥයා ශක්තිමත් වීම මිස ජනතාවගේ සැබෑ ගැටළුවට පිළිතුරු සෙවීමට පත්වන දේශපාලඥයින් උත්සහ කිරීම නොවේ.
දේශපාලකයින් කාටුන් චරිත ලෙස දක්වා කෙටි දෙබස් භාවිතා කරමින් සරල ලෙස දක්වා තිබුණද පුවත්පත් කාටුන් යනු බුද්ධිය මෙහෙවා සැබෑ අදහස තේරුම්ගත යුතු මාධ්‍යයකි. දේශපාලනික සාක්ෂරතාවය පුරවැසියන්ට යම් ප්‍රමාණයකින් හෝ ලබාදීමට උත්සාහ ගන්නා නිර්මාණයක් ලෙස පුවත්පත් කාටූන් පෙන්වා දිය හැකිය. කෙසේ හෝ 2024 ජනාධිපතිවරණය සමය තුළ මැතිවරණ වේදිකාවේ මතු කෙරුණු අදහස් පොරොන්දු වල සැබෑ අදහස පිළිබඳව නැවත නැවත සිතා බැලීමට පුවත්පත් කාටූනය තුළින් පෙළඹවීමක් සිදු කරන්නට ඇතැයි සිතන්නට පුළුවන.

