ගුවන් විදුලි සංස්ථාවට අපි වැය බරක් වෙන්නේ නෑ – ඌව ගුවන්විදුලිය

| අජිත් වසන්ත ඈපා |

මෙරට ප්‍රාදේශීය ගුවන්විදුලි පාඩු ලබන ආයතන බවට පත්ව ඇති නිසා ඒවා වසා දැමීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වුවත් ඌව ගුවන්විදුලිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වූයේ එය පාඩු නොලබා පවත්වාගෙන යාමට එහි පරිපාලන හා සන්නිවේදන කණ්ඩායම සමත්ව ඇති බැවිනි. එනිසා මෙවර සන්නිවේදකයා කලාපයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඌව ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදක අජිත් වසන්ත ඈප මහතා සමඟ සිදු කළේ ය.

ඇත්තටම ඌව පූජා ගුවන්විදුලිය ආරම්භ වෙන්නේ රාජ්‍ය මෙන් ම පෞද්ගලික ගුවන්විදුලි, ජාතික ගුවන්විදුලි නාලිකා තිබුණු කාලයක. ඒ විතරක් නෙමෙයි ප්‍රාදේශිය නාලිකා කිහිපයක් ම තිබුණා ඒ කාලයේ. ඒ වෙද්දී ඌව පූජා ගුවන්විදුලිය ආරම්භ කිරීමට තිබුණු අරමුණු මොනව ද?

ඌව ප්‍රජා ගුවන්විදුලිය නිල වශයෙන් කටයුතු ආරම්භ කරන්නේ 2003 මාර්තු මස 02දා. ඊට කලින් ඌව පළාතට ගුවන්විදුලියක් අවශ්‍යය ද? ඒ මොකට ද? ජාතික මට්ටමේ නාලිකා වගේ ම ප්‍රාදේශිය මට්ටමේ නාලිකා ක්‍රියාත්මක වන අවස්ථාවක වෙන ම ගුවන්විදුලියක් අවශ්‍යය ද යන ප්‍රශ්නය තිබුණා. ඌව පළාතට 1950න් පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රාජ්‍ය අරමුදල් විදිහට සම්පාදනය කරලා තිබුණා. ඒ වගේ ම රාජ්‍ය නොවන සංවිධානත් දුප්පත්කමේ ප්‍රමුඛ පළාතක් නිසා ඒ තත්ත්වය නැති කරන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා තිබුණා. දිගින් දිගට ම අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරත් ඒ හා සමාන සංවර්ධනයක් අවුරුදු ගණනාවකට පස්සෙවත් අත්පත් කර නොගන්නේ ඇයි? මේ ප්‍රශ්නය ම ඌව පළාත්වාසී සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන හැමදෙනා ඉදිරියේ ම තිබිච්ච ප්‍රශ්නයක්. ඒ වන විට ඌව පළාත් සභාවත් විශාල වශයෙන් අරමුදල් සම්පාදනය කරමින් තිබුණේ සංවර්ධන කටයුතු වෙනුවෙන්. යුනෙස්කෝ ආයතනය, එක්සත් ජාතීනගේ සංවර්ධන වැඩසටහන යටතේ ඌව පළාත ඉලක්ක කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබුණා “ප්‍රදේශ පාදක සම සංවර්ධන වැඩසටහන” නමින්. ඔවුන් ඒ අරමුදල් සපයන්න මත්තෙන් විමසා තිබුණා ඇයි ඌව පළාත අපේක්ෂිත අරමුණු කරා සංවර්ධනය කරන්න නොලැබුණේ කියා. මෙතනදී හදුනාගත්ත ප්‍රධාන කාරණාව විදිහට සලකා තිබුණේ විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර, ව්‍යාපෘති ආරම්භ කරත් ඒ ව්‍යාපෘති කාලසීමාව නිමාවට පත් වුණාට පස්සේ අපේක්ෂිත අරමුණු ක්‍රියාවට නංවන්නට ප්‍රජාව බැදිලා නැති බව. ඇතැම් විට  ක්‍රියාවට නැංවිලා තිබුණේ ප්‍රජාවගේ අවශ්‍යතා නොවෙයි. ක්ෂේත්‍රයට නොගිහින් සීත කාමරවල ඉදන් යම් පිරිසක් සැලසුම් සකස් කරනවා. ඒ සඳහා අති විශාල අරමුදලක් ආයෝජනය කරනවා. නමුත් ව්‍යාපෘති කාල සීමාවෙන් පසුව ඒවා පවත්වාගෙන යන්න, ප්‍රජාව ඒ සමඟ බද්ධවෙලා තිබුණේ නැහැ. මේ තත්ත්වය අවම කිරීමට සංවර්ධන අපේක්ෂාවන් පැවති ඌව පළාත්වාසී ජනතාව සහ සංවර්ධන සැලසුම්කරුවන් අතර අවශ්‍ය සාකච්ඡාව ගොඩනැගෙන වේදිකාව ඌව ගුවන්විදුලිය හරහා ලබාදීම අරමුණක්  වුණා. සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන කොට සැලසුම්කරුවන්ට ප්‍රජා කණ්ඩායමේ‍ අදහස, ඉදිරිපත් කරොත් එය තාක්ෂණික පැත්තෙන් වඩාත් සුමටකොට ජනතාවට වඩාත් ඵලදායි විදිහට ඉදිරිපත් කළ හැකියි යන අපේක්ෂාවෙන් තමයි ඌව ගුවන්විදුලිය ආරම්භ වන්නේ.

අවුරුදු විස්සක් අඛණ්ඩව ක්‍රියාත්මක වන ඌව ප්‍රජා ගුවන් විදුලියේ පසුගිය කාලයේ ක්‍රියාකාරිත්වය   සලකා බැලුවොත් එකී අපේක්ෂිත අරමුණුවලට යන්න හැකි වී තියෙනවා ද?

ඔව් කියන පිළිතුර සෘජු ලෙස ම ලබා දෙන්න පුළුවන්. නමුත් සීයට සීයක් ම අපේක්ෂිත අරමුණු හෝ ඉලක්ක ඉටුකර ගන්නට පුළුවන් වුණා කියන්නෙ නැහැ. ඌව ප්‍රජා ගුවන් විදුලිය  ආරම්භ කරද්දී ඒ සමඟ සම්බන්ධ වුණ මුල් ම ප්‍රජා සන්නිවේදක කණ්ඩායමේ කෙනෙක් මම. අපි ප්‍රජා සංවර්ධන වැඩසටහන් සැලසුම් කරද්දී සැලසුම්කරුවන් අතර සංවාදය ගොඩනගන්න ඉතා ඕනෑකමින් මැදිහත් වෙලා තියෙනවා. ඊට පෙර පැවති  සීත කාමරවල සැලසුම් කර ඒ සැලසුම් ගෙනල්ලා ග්‍රාමීය මට්ටමින් රෝපණය කරන්න හදන ක්‍රියාවලිය වෙනුවට යම් සංවාදයන් ගොඩ නගමින් ප්‍රජාවගේ සංවර්ධනීය අපේක්ෂාවන් වෙනුවෙන් සෘජු ලෙස මැදිහත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එසේ ම යහපාලනය දිරිගැන්වීම කියන එක 2003 විතර සාකච්ඡාවට ලක් වුණු කාරණාවක්, එහිදී රාජ්‍ය ආයතනවල රාජ්‍ය සේවාවන් වඩාත් විධිමත් කිරීම සහ විනිවිදව  සිදුකිරීමට  අවශ්‍ය දායකත්වය ගුවන්විදුලියක් විදිහට අපට ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේ ම තවත් අපේක්ෂාවක් වුණේ වඩාත් ගුණාත්මක රස වින්දන අවස්ථාවන් ප්‍රජාවට ලබා දීම. ඔවුන්ගේ ම සංස්කෘතීන් තුළින් බිහි වූ සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන් ම ගුවන්විදුලි විකාශන කටයුතු සිදු කරන්න අපි කටයුතු කරනවා. එහි දී අපේක්ෂා කරපු වඩාත් ඉහළ රසවින්දනයක් ලබාදිය හැකි මට්ටමේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යයේ ඉටුකර තිබෙනවා. ඒ නිසා තමයි ඇත්තටම වසර විස්සකට පසුවත් වඩාත් සාර්ථක, එක් පැත්තකින් ප්‍රජා ගුවන්විදුලියක් විදිහටත් තවත් පැත්තකින් ප්‍රාදේශීය ගුවන් විදුලියක් විදිහටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙන්නේ.

වර්තමානයේ ජාතික හා ප්‍රාදේශීය ගුවන්විදුලි බොහෝ අභියෝගයන්ට මුහුණ දීලා තියෙන බවක් පේනවා. ඌව ගුවන් විදුලිය පවත්වාගෙන යාමේ දී මොනවගේ අභියෝග හා ගැටලු ද පැන නැගිල තියෙන්නේ‍?

අවුරුදු විස්සක් ආපස්සට හැරිලා බලනකොට බොහෝ අවස්ථාවල අභියෝග තමයි ජය ගන්නට, මැදිහත් වෙන්නට, විසඳාගන්නට සිදුවෙලා තියෙන්නේ. වර්තමානයේ විශේෂයෙන් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් වසා දැමීම පිළිබඳව සාකච්ඡාව පුළුල්ව ඇවිල්ල තියෙනව. ඌව ගුවන්විදුලියටත් ඒ ආකාරයේ අභියෝගාත්මක අවස්ථා ඇවිල්ලා තියෙනවා. වර්තමානයේ අනෙකුත් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් වසා දමනවා ද පවත්වාගෙන යනවා ද කියන කාරණය තීරණය වෙලා තියෙන්නේ එහි ආර්ථික ඉපයීම කොතරම් ද කියන එක මත. නමුත් ඌව ප්‍රජා ගුවන්විදුලියට ඒ කාරණාව ප්‍රමුඛ හෝ ප්‍රධාන කාරණයක් බවට පත්වෙලා නෑ. ඒකට හේතුවක් තමයි ඌව ගුවන්විදුලිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සංස්ථාව සහ ඌව පළාත් සභාව අතර පවත්වාගෙන යන අවබෝධතා ගිවිසුමක් මත. මොක ද පළාත් සභාවකට බලයක් නෑ, ගුවන් විදුලියක් පවත්වාගෙන යාමට. මෙහි දී ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය බවට පත්වෙලා තිබෙන්නේ ඌව ගුවන් විදුලිය අසන්නන් අතරට ගෙන යාම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දීම, තාක්ෂණික සහයෝගය හා පහසුකම් ලබා දීම විතරයි. අනෙකුත් පරිපාලන කටයුතු සියල්ලක් ම සිදු කරන්නේ, වියදම් දරන්නේ ඌව පළාත් සභාව මගින්. පළාත් සභාව ගුවන්විදුලිය පවත්වාගෙන යෑමේ දී මුදල් ඉපයීම කියන ප්‍රමුඛ කාර්යයක් විදිහට තබා ගන්නේ නෑ. පළාත් සභාව වියදමක් දරනවා වුණත් සම්පූර්ණයෙන් ම පළාත් සභාව මගින් දරණ වියදමක් මත ඌව ගුවන්විදුලිය පවත්වාගෙන යන්නෙ නෑ. ගුවන්විදුලිය ආදායම් උත්පාදනය කරනවා. මේ වෙනකොට යම් ස්ථාවර වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. මත ලැබෙන ආදායම් සහ ඌව ගුවන් විදුලියේ ගුවන් කාලයන් අලෙවිකරණයේ දී අය කරනු ලබන ගාස්තු මත ආදායමක් උපයනවා. සාමාන්‍යයෙන් මාසිකව දැරිය යුතු වියදම් දරලා තවත් ඉතුරු වෙන මට්ටමක් තියෙනවා. අපි වාණිජ ධාරාවේ ගුවන් විදුලි වැඩ කරන ආකාරයට නෙමෙයි වැඩසටහන් දියත් කරන්නේ. බොහෝමයක් වැඩසටහන් ප්‍රජාව කේන්ද්‍ර කරගත් වැඩසටහන්. ඒවායේ හැකි තරම් වියදම් අඩු කරල තියනවා. නමුත් ගුණාත්මකභාවය වැඩි කරලා තියෙනවා. ඒ වගේ ම අපේ ඉන්න සන්නිවේදක කණ්ඩායමේ සියලු දෙනා ම වැඩසටහන් පටිගත කිරීම, පිටපත් රචනය, ඒ වගේ ම වැඩසටහන් සංස්කරණය, අවසාන නිෂ්පාදිතය සකස් කිරීම, ඒ වගේ ම අවසානයට  ගුවන් විදුලි මැදිරිය ඇතුළේ තමන් නිවේදකයෙක් විදිහට ඒවා ඉදිරිපත් කරන කටයුතු දක්වා ම වැඩසටහනක් පටිගත කරන අවස්ථාවේ සිට, අවසන් විකාශය කිරීම දක්වා වූ ක්‍රියාවලිය හා සම්බන්ධ වෙන පිරිසක් ඉන්නේ. ඒ නිසා අඩු කාර්ය මණ්ඩලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා වියදම් අඩු කිරිමෙන්.

අනිත් කාරණාව ඌව පළාත ප්‍රධාන කේන්ද්‍රය බවට පත් වුවත් අපේ ශ්‍රවණ කලාපය පළාත් ගණනාවක විසිරිලා තිබෙනවා. ඒ තුළත් අපට යම් ආදායමක් උපයන්න පුළුවන්කම ලැබෙනවා. එතැන දී ඌව ගුවන්විදුලිය යම් සාර්ථකභාවයක් ලබලා තියෙනවා අනෙක්  ප්‍රාදේශීය සේවාවන් ගුවන්විදුලි සංස්ථාවේ පාලනය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එම නිසා සියලු වැයවීම් ගුවන් විදුලි සංස්ථාව මගින් දැරිය යුතුයි. නමුත් අපි මාසිකව අපි වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවේ විකාශනාගාරය සඳහා වැය වෙන විදුලි බිල්පත, බලපත්‍ර සඳහා වන ගාස්තුව ආදි වශයෙන් මාසිකව යම් ස්තාවර ගාස්තු ගෙවීමක් සිදු කරනවා. එතනදී ඒ ගෙවීම සිදු කරන්නේත් අපි උපයන ආදායම මත. ඒ නිසා ගුවන් විදුලි සංස්ථාවට අපි වැය බරක් වෙන්නේ නෑ.

මූල්‍යය කියන කාරණයට අමතරව ගුවන් විදුලියක් සේවාවවක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් තමයි නවීන තාක්ෂණයට හැඩගැසීම. මේ නවීන තාක්ෂණයට හැඩගැසීම කියන අභියෝගය කොහොම ද කළමනාකරණය කර ගන්නට සමත් වෙලා තියෙන්නේ ඌව ගුවන්විදුලිය?

අපි විකාශන කටයුතු 2003 අවුරුද්දේ ආරම්භ කළේ සෘජු ලෙස ම ගුවන් විදුලි මැදිරිය සමඟ අපේ අසන්නන්ට සම්බන්ධ වෙන්න ඒවාගේ ම කතා කරන්න අවස්ථාව තාක්ෂණය එකතු කරමින්. ඊට පස්සේ කෙටි පණිවුඩ භාවිත කිරීම කියන කාරණය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නකොට අපි ඒ තාක්ෂණය ගුවන් විදුලි මැදිරිය සමඟ එකතු කරා. ඒ වගේ ම ඊට පස්සේ අවධියේ තමයි ගුවන් ගුවන් විදුලි යන්ත්‍රයකින් ඇහෙනවාට අමතරව දුරකථනයෙන් ඇහෙන්න පටන් ගත්තෙ. එතකොට ජංගම දුරකථනය ඔස්සේ ගුවන් විදුලිය අහන ශ්‍රාවකයාට අපි කොහොම ද ආකර්ෂණය වෙන්නේ, එහෙම නැත්නම් ඔහුට කොහොම ද වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ කියන තාක්ෂණයත් අපි ඉතාම ඉක්මනින් ලබා ගත්තා. ඊට පස්සේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ධ වෙමින් වැඩසටහන් විකාශය කරා.

අපේ විසිරුණු ශ්‍රාවකයෝ ලෝකයේ තැන් තැන්වල ඉන්නවා. ඒ අය වෙනුවෙනුත් වැඩසටහන් කරන්න අවශ්‍ය ද? නැද්ද? කියන සාකච්ඡාවන් මතුවෙමින් තිබුණා. මේ වනකොට ඌව ගුවන්විදුලිය වෙන ම ඌව රෙඩියෝ ඇප් යෙදවුමක් මගින් තමයි විකාශන කටයුතු සිදු කරගෙන යන්නේ. එය සාමාන්‍ය තරංග මාලාවලට වඩා වඩාත් සුපැහැදිලියි. ඒ වගේ ම ලෝකයේ විවිධ රටවල ඉන්න ශ්‍රාවකයෝ මේ වටා එකතු වෙලා ඉන්නවා. ඒ පිළිබඳ අපිට ගණනයක් තියෙනවා. මේ ඇප් එක සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන් ම වෙන වෙන ම අහන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා.

 එකම තරංග මාලාවක් තුළ බෙදාගත්ත ගුවන් කාලයක් තුළ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් වැඩසටහන් විකාශනය කරන එක ම ගුවන්විදුලිය ලෙස ඌව ගුවන්විදුලිය පෙන්වලා දෙන්න පුළුවන්. දිවා කාලයේ දී සිංහල වැඩසටහන් විකාශය වෙනවා. රාත්‍රී කාලයේ දී දෙමළ වැඩසටහන් විකාශය වෙනවා. සෙනසුරාදාට දෙමළ වැඩසටහනුත් ඉරිදාට සිංහල වැවැඩසටහන් විකාශය වන ගුවන් විදුලි නාලිකාවක් ඌව. නමුත් දැන් වෙන ම සිංහල මාධ්‍යයෙන් පැය 24ම ක්‍රියාත්මක වෙන ඇප්  එකක් තියෙනවා. මැදිරියෙ විකාශය වෙන සජීවී වැඩසටහන් ඒ සමග ම ඇප් එක හරහා සම්බන්ධ කෙරෙනවා. සිංහල වැඩසටහන් විකාශනය නොවෙන අවස්ථාවේ දී ඇප් එක හරහා නිෂ්පාදිත වැඩසටහන් ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම දෙමළ මාධ්‍යයේ වැඩසටහන් සඳහාත් ඒ විදිහටම ඇප් එකක් හදලා තියනවා. ඇත්තටම සමහර වැඩසටහන් සඳහා අපට විදේශගතවෙලා ඉන්න උදවිය අනුග්‍රාහකත්වය ලබාදුන්නේ යම් ප්‍රතිශතයක් මේ ඇප් එක ආරම්භ කරාට පස්සේ. ඒ නිසා නව ආදායම් උත්පාදන ප්‍රවේශයන් සහ නව ශ්‍රාවකයන් වෙනුවෙන් වැඩසටහන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒත් අපි ප්‍රජා ගුවන්විදුලි කියන සංකල්පයෙන් සෘජු ලෙස බැහැර වෙන්නේ නෑ. අපේ ශ්‍රවණ කලාපය පුළුල් වුණාට අපේ අසන්නෝ ජාත්‍යන්තර වශයෙන් හිටියට ඔවුන් සමහර විට ඌව පළාතෙන් විදේශයන්ට ගිහින් ඉන්න උදවිය. ඒ අය කැමති අපේ පළාතේ දේ අහන්න. ඒ වගේ ම අපේ පළාතේ දේවල් විමසන්න. ඒ වෙනුවෙන් අපි තාක්ෂණය උපරිම අන්දමින් පාවිච්චි කරනවා. ඒ වගේ ම අපි මේ වෙනකොට ෆේස්බුක් මාධ්‍ය හරහා සජීවී වැඩසටහන් රූප මාධ්‍යයෙන් යම් පමණකට ඉදිරිපත් කරනවා. මොකද අපි ගුවන් විදුලිය ශ්‍රවණය විතරයි කියන කාරණයට කොටු වෙන්නේ නෑ. අපිව ෆේස්බුක් එක හරහා කෙනෙක් බලාගෙන ඉන්න කැමතිනම් ඔවුන්ට අවශ්‍ය ඒ වැඩසටහනුත් අපි යම් ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මෙම නව තාක්ෂණය අපි හැකි ඉක්මනින් ගුවන්විදුලිය සමග එකතු කරගන්න කටයුතු කරනවා.

ගුවන් ගුවන්විදුලියේ සන්නිවේදකයන් ලෙස යම් යම් පියවරයන් ගන්නට සමත් වෙලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් ශ්‍රාවකත්වය මොන වගේ ප්‍රතිචාර ද දක්වන්නේ? අනෙක් පැත්තෙන් ශ්‍රාවකයෝ මේවට එකතු වෙනව ද? මේවා අගය කරනවා ද?

ඔව්, ෆේස්බුක් එක හරහාත් සහ ඇප් එක හරහාත් ගුවන්විදුලිය ශ්‍රවණය කරන අයට ඒ මොහොතේ ප්‍රතිචාර දක්වන්නත් අවස්ථාව ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් ම ෆේස්බුක් හරහා විකාශනය වන සාකච්ඡා වැනි වැඩසටහන් සඳහා සෘජු ලෙස තමන්ගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ගීත ඉල්ලීම් වගේ වැඩසටහනක් නම් ඒ මොහොතේ ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් ඒ වැඩසටහන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින්, මේ නව තාක්ෂණය භාවිත කිරීම නිසා මීට පෙරාතුව ගුවන් විදුලි තරංග මාලාව ඔස්සේ ආවරණය කරපු ශ්‍රවණ කලාපය පුළුල් එකක් බවට පත් කරන්න පුළුවන්කම ලැබී තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 15 – 22 වගේ වයස් කාණ්ඩයේ නව තරුණ පරම්පරාව මේ නව තාක්ෂණය හරහා සෘජු  ලෙස ම ඌව ගුවන්විදුලිය එක්ක  සම්බන්ධ වෙන්න පෙළඹිලා තියෙනවා. එය මීට පෙරාතුව අපි දැකපු නැති තත්ත්වයක්. මොකද පළාත තුළ හිටපු ශ්‍රාවකයෝ කෘෂිකර්මයේ හෝ අනිකුත් කටයුතුවල අය තමයි වැඩි වශයෙන් හිටියේ. ඉන් එහාට ගිය බොහෝ තරුණ පිරිසක් ඌව ගුවන්විදුලිය සමග සම්බන්ධ වෙන්න හේතු වෙලා තියෙනවා මේ නව තාක්ෂණික භාවිතය.

ප්‍රජා ගුවන්විදුලියක් වුණහම එහි හිමිකාරීත්වය වගේ ම පරිපාලනය හිමි විය යුත්තේ ප්‍රජාවට. නමුත් ඌව ගුවන්විදුලිය අයිති වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. එය පරිපාලනය කරන්නේ ඌව පළාත් සභාව. මේ තත්ත්වය නිසා ඇති වෙන්න පුළුවන් ඝට්ටනය කොහොම ද ප්‍රජා ගුවන්විදුලි සේවාවක සන්නිවේදකයෝ හැටියට තුලනය කරගන්න සමත් වෙලා තියෙන්නේ?

ප්‍රජා ගුවන්විදුලි සංකල්පය යටතේ ඉඳන් කතා කළොත්, වැඩසටහන් නිෂ්පාදන කාර්යය, පරිපාලනය  හා හිමිකම කියන සියල්ලක් ප්‍රජාව සතු විය යුතුයි. ඒ වගේ ම ප්‍රජා ගුවන් විදුලියක් නම් එතනදී හඳුනාගත් සුවිශේෂී ජන කණ්ඩායම තුළ ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය එහෙම නැත්නම් සංස්කෘතික ස්වභාවය එක සමාන වෙන්න පුළුවන්. යම් කුඩා භූමියක එහෙම නැත්නම් කුඩා වපසරියක ජීවත් වන පිරිසක් වෙන්න පුළුවන්. එවැනි අය ඉලක්ක කරගනිමින් තමයි වඩාත් හොඳින් මේ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් ක්‍රියාවට නංවන්න පුළුවන්. ඇත්තටම අපිට ආරම්භයේ සිට ම ප්‍රජා ගුවන්විදුලි සංකල්ප ඒ අයුරින්ම ක්‍රියාවට නංවන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි ඌව පළාතේ තිබෙන ආර්ථික තත්ත්වය ගත්තොත් එක පැත්තකින් වතුකරයේ වතු වැවිලි කර්මාන්තය සමග එකතු වෙච්ච දෙමළ භාෂාව කතා කරන වෙන ම සංස්කෘතියක් සමග බැඳිච්ච ජන කොටසක් ඉන්නවා. සිංහල ප්‍රදේශ ගත්තම මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව එහෙම නැත්නම් සෙවනගල, තණමල්විල මේ ප්‍රදේශත්, මහියංගන රිදීමාලියද්ද වගේ ප්‍රදේශත් හේන් ගොවිතැන මූලික කරගත් ආර්ථික ක්‍රමයක් එහෙම නැත්නම් වී වගා කරන ආර්ථික ක්‍රමයක් තියෙන ප්‍රජාවක්. ඔවුන්ට සුවිශේෂී සංස්කෘතික කටයුතුත් තිබෙනවා. ඒ වගේ ම බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, වැලිමඩ මේ ආදී ප්‍රදේශ ගත්තම උඩරට එළවළු වගා කරන ප්‍රදේශ ලෙස හඳුන්වන්නත් පුළුවන්. මේ ප්‍රදේශවල වෙන ම සංස්කෘතික ලක්ෂණයන් තියෙන්නෙ. එතකොට ලෝක සම්මතයන් තුළ ඉඳලා අපිට ප්‍රජා ගුවන් විදුලියක් සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගන්න අපහසුයි. ඌව ගුවන්විදුලිය සම්බන්ධව පරිපාලනමය කාරණා ගත්තත් පළාත් සභාව මගින් තමයි පරිපාලන කටයුතු සිදු කරන්නේ.

යුනෙස්කෝ සංවිධානය සමග සම්බන්ධ වෙච්ච මුල් කණ්ඩායමට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා ප්‍රජා  ගුවන්විදුලි සංකල්පය පිළිබඳ ඉතා ඕනෑකමින්  කටයුතු කරපු තිලක් ජයරත්න මහතා සමග කටයුතු කරන්න සහ එතුමාගේ මඟ පෙන්වීම ලබා ගන්න. එතනදී ඇත්තටම මේ පරිපාලනමය කාර්යයන් ප්‍රජාවට සම්බන්ධ වෙන්න බැරිනම් හිමිකම සම්බන්ධයෙනුත් ඔවුන්ට අවස්ථාවක් නැත්නම් අපි කොහොම ද ප්‍රජාවට මේකෙ ඉඩක් හදලා දෙන්නේ?  මේ ප්‍රශ්නයට ඌව ගුවන්විදුලිය හැකි උපරිම සාධාරණයක් කරා. දැනටත් කරමින් ඉන්නවා. ඌව ප්‍රජා ගුවන් විදුලියේ වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන් ඌව පළාතේ පිරිස. මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙක ම නියෝජනය වන විදිහට තමයි වැඩසටහන් නිෂ්පාදකවරු ඉන්නේ. ඔවුන් හැම විට ම වැඩි වැඩසටහන් ප්‍රමාණයක්, වැඩි ගුවන්කාල පැය ප්‍රමාණයක් මේ ප්‍රජාව සමග එකතු වෙමින් නිෂ්පාදනය කර විකාශනය කරනවා. ඒ නිසා ඌව ප්‍රජා ගුවන් විදුලියටත් බැඳිච්ච ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ නිසා තමයි අර අපි අනෙක් ගුවන්විදුලිවලට තිබෙන අභියෝගයන් පිළිබඳව කතා කරද්දී ඌව ගුවන් විදුලිය සාර්ථක වෙන්නේ. අපගේ ශ්‍රාවක පිරිස සෘජු ලෙස අපිත් සමඟ සම්බන්ධ වෙන, ග්‍රාමීය ජනතාව නිතර යන එන පාසල් අධ්‍යපනය ලබන දරුවෝ නිතර යන එන තැන බවට පත් වෙච්ච තැනක්. මේ නිසා තමයි ප්‍රජා ගුවන්විදුලියක් කියන කාරණයට වඩාත් ළං වෙන්න පුළුවන්කම අපිට ලැබුණෙ. හැබැයි  පරිපාලනමය වශයෙන් ඔවුන්ට එහි හිමිකමක් හිමිවන්නේ නැහැ. මෙතන දී සෘජු ලෙස ම පරිපාලන කාරණා, හිමිකම සම්බන්ධ කාරණා, ගැටලු බවට පත් වුණත් වැඩසටහන් පැත්තෙන් ලොකු අවස්ථාවක් හිමි වී තිබෙනවා ප්‍රජාවට. ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් තමයි අපි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ.

අපේ ගුවන්විදුලියේ පරිපාලනමය ගැටලු විසඳා ගැනීමේ දී ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙහෙයුම් මණ්ඩලයක් තියෙනවා. ඒ මෙහෙයුම් මණ්ඩලය හරහා තමයි ප්‍රධාන ලේකම්වරයා තීරණ ගන්නේ. අපේ ගුවන් විදුලිය අයිති වෙන්නේ ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයට. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඒ වගේ ම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය), මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ඌව ගුවන් විදුලියේ කළමනාකාරවරු අවශ්‍ය අවස්ථාවන්හි දී වැඩසටහන් නිෂ්පාදන අංශයේ කාර්ය මණ්ඩලයත් සහභාගී වන විශේෂ සාකච්ඡාවක් පවත්වමින් යම් පසු ඇගයීමක් සහ ඉදිරි සැලසුම් සකස් කිරීමකුත් ඌව ගුවන් විදුලිය වෙනුවෙන් සිදු කරනවා. එතකොට අපි අනාගතයේ එළැඹිය හැකි අභියෝගයන් මොනවාද කියන එක හඳුනා ගැනීමත් අපිට යම් අපහසුතාවයන් ඇති වුණා නම් ඒ තත්වයන් අවම කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක පිලිබඳවත් පළාත් සභාව පැත්තෙන් සුවිශාල මඟ මඟපෙන්වීමක් දායකත්වයක් ලබා දෙනවා. නමුත් එමගින් කොයි වෙලාවකවත් කියන්නේ නෑ පළාත්සභාවට වුවමනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම තමන්ගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සිදු කරනවා. පළාත් සභාවට අයිති යම් ආයතන හෝ දෙපාර්තමේන්තු කටයුතු කරන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ අපි හැමෝට ම වඩාත් සාර්ථක ගුවන්විදුලියක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙලා තියෙනවා.

සටහන | සාලිය වීරසිංහ

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *