චාරයක් නැති මාධ්‍ය ආචාර ධර්ම සාකච්ඡාව

ලෝකයේ ජනමාධ්‍ය පිළිබඳ සාකච්ඡා අවසානයේ මතු වන බරපතල සාධක දෙකක් පවතී. එනම් හිමිකාරීත්වය හා ආචාර ධර්ම යන සාධක දෙක ය. මේ දෙක වෙන වෙනම සාකච්ඡා කළ හැකි වුවත් ඒ අතර ඇති සබඳතාව ද සැලකිල්ලට ගත යුතුය.

ජනමාධ්‍ය ආචාර ධර්ම යන විෂය ලාංකික සමාජයේ බොහෝ විට වර නැගෙන්නේ වාරණයට පර්යාය පදයක් ලෙස ය. වාරණය දී බාහිර හෝ අභ්‍යන්තර සාධකයක් මගින් වැළැක්වීම සිදුවූවත් ආචාර ධර්ම මගින් පෙන්වා දෙන්නේ පොදු සුබසිද්ධිය උදෙසා  වැළකී සිටීම වැදගත් වන බවයි. එබැවින් මේ ආචාර ධර්ම වාරණය ලෙස වටහා ගැනීම කිසිසේත්ම  සුදුසු නොවන බව පෙනේ.

එසේනම් ජනමාධ්‍ය නිරන්තරයෙන් ආචාර ධර්ම බිඳ දමන්නේ ඇයි යන ප්‍රශ්නයට හිමිකාරීත්වය එක්තරා දුරකට හේතුවක් වී තිබේ. ලංකාවේ මාධ්‍ය බහුතරයක් වාණිජ මාධ්‍ය ලෙස නම් කළ හැකි ය. ඒවායේ  ප්‍රධාන අරමුණ ලාභය ඉපයීමයි. ලාභය වැඩිකරගැනීමට හැකි ආකාරයට මාධ්‍ය මෙහෙයවීමට හිමිකාරිත්වය මගින් උපදෙස් සැපයේ. එය ක්‍රියාත්මක කරන මාධ්‍ය ප්‍රධානීන් ලාභය පිළිබඳ සාධකයේදී ඉතාම ඉක්මනින් අත් හරිනු ලබන්නේ ආචාරධර්ම පිළිබඳ භාවිතයයි. මේ නිසා ආචාර ධර්ම බිඳ වැටීම වැළැක්වීම ඉතා අපහසු කාරණයකි. අනෙක් අතට ජනමාධ්‍ය හිමිකාරිත්වය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව වැඩ කිරීමේදී මුලින්ම අත් හරිනු ලබන්නේ ද ආචාරධර්ම භාවිතයයි.

සමාජ මාධ්‍ය භාවිතය පුළුල් වීමත් සමගම මේ ආචාරධර්ම පිළිබඳ සාකච්ඡාවට නව මානයක් එක් වී තිබේ. මීට අවුරුදු දහයකට පෙර සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම/ මාර්ගෝපදේශ වැනි දෑ හදුන්වා දීම පිළිබඳ සාකච්ඡා කිරීමම දැඩි සේ දෝෂදර්ශනයට ලක් වීමට හේතුවක් වී තිබූණි. නමුත් 2017 වසරේ සමාජ මාධ්‍ය නියාමනය පිළිබද ජර්මානු රජය ඉදිරිපත් කළ නීති මගින්ම තත්ත්වය වෙනස් වීමකට ලක් වුණි. අද සියලු සමාජ මාධ්‍ය වේදිකා තම තමන්ගේ අන්තර්ගතයක් වෙනුවෙන් කිසියම් මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබේ. ඒවාට අනුගත නොවී අන්තර්ගත ඉදිරිපත් කරන්නන්ට එරෙහිව කෙටි හා දිගු කාලීන සීමා කිරීම් ක්‍රියාත්මක කිරීමට ද සමාජ මාධ්‍ය කටයුතු කරයි.

ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වේදිකා ද නිරතව සිටින්නේ මහා පරිමාණ ගෝලීය ව්‍යාපාරයක ය. ජනමාධ්‍ය හිමිකරුවන් ට ලාභය අවශ්‍ය සේම ඔවුන්ටද ලාභය අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් එම ක්‍රියාවලියේදී නිරන්තරයෙන් සමාජ මාධ්‍ය අන්තර්ගතය නිරීක්ෂණය කිරීමටත් කිසියම් දුරකට community standards කඩ කරන්නන් පාලනය කිරීමටත් විධිමත් ක්‍රමවේද භාවිත කරනු ලබයි.

එහෙත් ඇතැම් රාජ්‍යයන් ඒ භාවිතය තම වාසියට යොදා ගනිමින් දේශපාලන වශයෙන් තමන්ට අහිතකර යම් යම් අන්තර්ගතයන්ට ඉවත් කිරීමට අදාළ සමාජජාල වේදිකා සමාගම් කැමති කරවාගෙන තිබේ. එය ව්‍යාපාරික ගනුදෙනුවකි.

ආචාර ධර්ම පිළිබඳ සාකච්ඡාවල දී මතුවන තවත් ප්‍රධාන කාරණයක් වන්නේ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය ද යන්නයි. මෙය ඉතාමත් විවාදාත්මක මාතෘකාවකි. ජනමාධ්‍ය අන්තර්ගතය සඳහා වන ආචාර ධර්ම, ස්වයං නියාමන ක්‍රියාවලියක් යටතේ පැවතිය යුතුය යන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පිළිගත් මතයකි. එහෙත් ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රික භාවිතය දුර්වල මට්ටමක පවතින රටක  ස්වයං නියාමනය යනු අර්බුදයට ලක්වූ ක්ෂේත්‍රයකි.

ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ආචාර ධර්ම එක් අතකින් වෙන් කිරීමට අපහසු ක්ෂේත්‍රයකි. ජනමාධ්‍ය තමන්ගේ අන්තර්ගතය පොදු ග්‍රාහකයන්ට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා නැවත සමාජ මාධ්‍ය වේදිකා තුළ අන්තර්ගතය ලෙස එක් කරනු ලබයි. එබැවින් ඒවා අතර ඇතිවන බෙදුම් රේඛාව ද බොඳ වී යාමට පටන් ගෙන තිබේ.

එක් එක් මාධ්‍ය ආයතන වශයෙනුත් ජනමාධ්‍ය වශයෙනුත් තමන්ගේම වන ආචාර ධර්ම භාවිතයකට ඉක්මනින් යොමු නොවුණහොත් රාජ්‍ය මේ සඳහා මැදිහත් වීම වැළැක්විය නොහැකි කරුණකි. අනික් අතට වැදගත්ම සාධකය වන්නේ ආචාර ධර්ම පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන ප්‍රජාවක් නිර්මාණය කරගැනීමයි. එය සිදුකළ හැක්කේ මාධ්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම මගිනි. ඩිජිටල් සාක්ෂරතාව ද මෙහිදී වැදගත් වේ. සුහුරු ජංගම දුරකථන භාවිතයේ තාක්ෂණික ගැටලු ද සමාජයේ බරපතල ගැටලු බවට පත් වෙමින් පැවතීම ඊට හේතුවයි. එසේ නොවුණහොත් මේ ව්‍යාජ පුවත් යුගයේ තොරතුරු වසංගතයට අපි සැවොම ගොදුරු වීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්වෙනු ඇත.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *