ජනමාධ්‍ය නිදහසට අභියෝගය එල්ල වෙලා තියෙන්නේ භෞතිකව සිද්ධවන තර්ජන ගර්ජනවලින් නොවෙයි නීතියෙන්.

| නීතීඥ විරංජනන හේරත් |

දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම හා ප්‍රතිත්‍රස්ත පනත් යෝජනාව ආදිය නිසා මාධ්‍ය නිදහස පිළිබඳවත් භාෂණයේ හා ප්‍රකාශන අයිතිය පිළිබඳවත් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට මාධ්‍ය නීති සංසදයේ (Media Law Forum) සභාපති විරංජන හේරත් මහතා සම්බන්ධ කරගැනීමට සන්නිවේදකයා කටයුතු කළේ ය.

අපෙ රටේ නීතිය තුළ භාෂණය හා ප්‍රකාශනයට මොන වගේ තැනක් ද ලැබිලා තියෙන්නේ?

අපි ගත්තොත් ලංකාවේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තියනවා පුද්ගලයන්ට භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස තියනවා කියන එක. ඒකේ කියනවටත් වඩා එහා ගිහින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වරින් වර ලබා දුන් නඩු තීන්දු මඟිනුත් මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ ඇති වැදගත්කම එහෙම නැත්තනම් අපි ගත්තොත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පුළුල් කරන්න තව දුරටත් අදාළව නඩු තීන්දු ලබා දීලා තියනවා. ඉතින් අපි සමස්තය දිහා බැලුවොත් ලංකාවේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස පුළුල් කරන්න නැත්නම් ඒක පිළිගන්න තියන ප්‍රවේශය ඉතාම ඉහළයි.

ඒ නිදහස ජනමාධ්‍යයට කොහොම ද බලපාලා තියෙන්නේ?

ඇත්තටම භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය භුක්ති විදින එක්තරා ආකාරයක් තමයි ජනමාධ්‍ය කියලා කියන්නේ. පොදුවේ ගත්තම ලංකාවේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහසට එහෙම නැත්තනම් ජනමාධ්‍ය නිදහසට අතීතයේ ඉඳලම වරින් වර විවිධ තර්ජන බලපෑම් එල්ල වෙලා තියනවා. සාමාන්‍යයෙන් 2015ට වගේ ඉස්සර ලංකාවේ ජනමාධ්‍ය නිදහස එහෙම නැත්තනම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධව තිබුණු තර්ජනවල ස්වරූපයක් තියනවා. විශේෂයෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස එම කාල සීමාවේ දැඩි ලෙස උල්ලංඝනය වුණා කියලා තමයි විවිධ වාර්තාවල තියෙන්නේ.

2015ට පෙර මොන වගේ සිද්ධි ද වාර්තා වුණේ කියල විස්තර කරන්න පුළුවන් ද?

අපි ඒ පරණ දේවල් රීසච් කරලා ගත්තොත් අපිට පේනවා භාෂණය සහ ප්‍රකාශන උල්ලංඝනය වීමට අදාළ සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියනවා. එහි උච්චත ම අවස්ථාවන්ට අපි ගියොත් සමහර වෙලාවට ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැරගෙන යාම ඒ වගේ සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියනවා. හැබැයි 2015න් පස්සට අපි ආවොත් ඒ වගේ සිදුවීම් අපිට වාර්තා වෙන්නේ නෑ. භාෂණය සහ ප්‍රකාශනයේ නිදහසට තියන තර්ජන එහෙම නැත්තම් ජනමාධ්‍ය නිදහසට තියන බලපෑම් මේවා සම්බන්ධව කලින් වගේ දරුණු සහගත සිද්ධීන් වාර්තා වෙලා නෑ.

එහෙම් නම් 2015න් ජනමාධ්‍ය නිදහස පාලනයේ කිරීමේ දී වෙලා තියෙන්නේ මොන වගේ වෙනසක් ද?

2015වෙන් පසු අද දක්වා කාලයේ වරින් වර හඳුන්වා දෙන නීති එහෙම නැත්නම් හඳුන්වාදීමට උත්සහ කරන නීති එහෙම නැත්තම් විවිධ රෙගුලාසි වගේ දේවල් හරහා ජනමාධ්‍ය පාලනය කරන්න එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස පාලනය කරන්න ආණ්ඩු විවිධාකාරයේ උත්සහයන් දරණ බව නිරීක්ෂණය වෙනවා. ඒ නිසා අදවන විට අපට භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් එසේත් නැත්තම් ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කතා කරද්දි මම දකින විදියට නම් ලොකු ම අභියෝගය එල්ල වෙලා තියෙන්නේ භෞතිකව සිද්ධවන තර්ජන ගර්ජනවලින් නොවෙයි නීතිය උපයෝගී කරගෙන එහෙම නැත්නම් විවිධ නීති සම්පාදනය කරලා, විවිධ රෙගුලාසි උපයෝගී කරගෙන. මෙන්න මේ වගේ ප්‍රවේශයකින් භාෂණය සහ නිදහසට බලපෑම් කරන්න එහෙම නැත්නම් සීමා කරන්න දකින උත්සහයක් තමයි අද පිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඔබ කියන විදිහට මාධ්‍ය නිදහස නීති මගින් ම අහුරනව ද?

ඔව්. නෛතික රෙගුලාසි මඟින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වන තර්ජන එහෙම නැත්නම් මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන මේ සම්බන්ධයෙන් පැහැදිලි නීති තුනක් එහෙම නැත්තම් නීති හඳුන්වාදීමේ උත්සහයන් තුනක් මම මෑත කාලයේදී නිරීක්ෂණය කරලා තියනවා. ඉන් ප්‍රධානත ම දේ තමයි මේ ICCPR පනත කියන එක.

ICCPR පනත තියෙන්නේ මානව හිමිකම් ආරක්ෂා කරන්න නේ ද?

මේ ICCPR පනත කියන්නේ ඇත්තටම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතක්. ICCPR පනත ලංකාවට හඳුන්වලා දුන්නේ 2007 වසරේ. අන්තර්ජාතික මානව හිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අන්තර්ජාතිකව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසත් ඇතුළත්ව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරන්න අන්තර්ජාතිකව තියන බැඳීමත් සහිත රටවල් විසින් බැඳිය යුතු ලියවිල්ලක් ඒ. ඉතින් මේ අන්තර්ජාතික නීතිය ලංකාවට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න තමයි මේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත ඇති කරලා තියෙන්නේ. මානව අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා හදපු ඒ පුළුල් සම්මුතිය ලංකාවේ ක්‍රියාත්මක කරද්දී එම පනතේ අඩංගු වන කරුණු තුනක් හතරක් විතර ප්‍රමාණයක් විතරයි යොදාගෙන තියෙන්නේ. උදාහරණයක් විදියට කියනවානම් සාධාරණ නඩු විභාගයක් සඳහා තියන අයිතිය, ළමා අයිතිවාසිකම්, ඒ වගේ ම වෛරී ප්‍රකාශ වැළැක්වීම වගේ කාරණා කිහිපයකින් තමයි මේ පනත හදලා තියෙන්නේ. හැබැයි පනත ලංකාවට ගෙනල්ලා ටික කාලයක් යනකොට විශේෂයෙන් 2015න් පස්සේ අපි නිරීක්ෂණය කළා මේ පනත භාෂණය හා ප්‍රකාශනය පාලනය කරන්න විවිධාකාරයෙන් යොදාගන්නා අවස්ථා.

මේ පනත හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වෙන්නේ වෛරී ප්‍රකාශ පාලනය කිරීම නේද?

ඇත්තටම මේ පනත ප්‍රතිපාදන තියෙන්නේ වෛරී ප්‍රකාශ වළක්වන්න. පනතේ තුන්වන වගන්තියේ පැහැදිලිවම කියනවා කිසියම් වාර්ගික පදනමකින් එහෙම නැත්නම් ආගමික පදනමකින් වෛරය පතුරවන්න වෙනස් කොට සළකන්න එහෙම නැත්තම් ඒ ආශ්‍රයේ කලබල ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකරන්න කටයුතු කරනවා නම් ඒ පුද්ගලයන්ට එරෙහිව මේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඇත්තට ම බැලූ බැල්මට ගත්තොත් මේක හොඳ පනතක්. මේකෙන් කියන්නේ අන්තර්ජාතිකව සිවිල් හා දේශපලන අයිතිවාසිකම් සම්මුතියේ වෛරී ප්‍රකාශ නවත්වන්න. විශේෂයෙන් ඕක ගේන්නෙ සුලුතරයන්ට එරෙහිව තියෙන වෛරී ප්‍රකාශ වළක්වලා ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න. නමුත් 2015න් පස්සේ මේ පනත පාවිච්චි වෙලා තියෙන්නේ ඒ අරමුණින් ද කියලා අපිට අද ප්‍රශ්නයක් බවට පත්වෙලා.

ඒ අරමුණ කඩවුණ අවස්ථාවක් මතක් කරන්න පුළුවන් ද?

එක්තරා අවස්ථාවක දි කෙටි කතාවක් ලියන ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර, යම් බුද්ධ චරිතයේ එන සිද්ධාර්ථ චරිතයේ සිදුවිම් කිහිපයක් අරගෙන නිර්මාණයක් කරනවා. ඔහු ඒ නිර්මාණය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කළාට පස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මේකට විරුද්ධව පැමිණිල්ලක් දානවා, මොහුගේ කෙටි කතාව හින්දා ලොකු සමාජ කලබලයක් ඇති වෙනවා කියලා. හැබැයි ඇත්තට ම ගත්තොත් ඒ වෙලාවේ මේ කෙටිකතාව පදනම් කරගෙන සමාජ කලබලයක්වත් ප්‍රචණ්ඩත්වයක්වත් ඇති වෙන් නෑ. සංඝයා වහන්සේලා කරන පැමිණිල්ලක් විතරයි. මේ පැමිණිල්ල පදනම් කරගෙන මොහු අත්අඩංගුවට ගන්නවා. ICCPR පනතේ තුන්වන වගන්තිය වගේ ම දණ්ඩ නීති සංග්‍රහයේ තියන ආගම්වලට අපහස කිරීම ආදී දේවලුත් පදනම් කරගෙන ඔහුට එරෙහිව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරනවා. ඉතින් මේ ICCPR පනත තියන විශේෂ දෙයක් තමයි මේක යටතේ චෝදනා ගොනු කෙරුවොත් මහ අධිකරණයකින් හැර ඇප ලබා ගන්නට බැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශක්තික සත්කුමාරගේ චෝදනා ICCPR පනතේන් සහ දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉදිරිපත් කරනවා. මුල් දවස් 14න් පොල්ගහවෙල මහේස්ත්‍රාත්  අධිකරණය මඟින් සිරගත කරනවා. මේ නඩුව ඇදී යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට මාස හයකට කිට්ටු කාලයක් රක්ෂිත බණ්ධනාගාර ගත වෙන්න සිද්ධ වෙනවා. රක්ෂිත බණ්ධනාගාර ගත කළාට පස්සේ ඔහුට ඇප දෙන්න බැහැ මහේස්ත්‍රාත් අධිකරණයට. අවසානයේ කුරුණෑගල මහ අධිකරණයෙන් ඔහුට ඇප දෙනවා. ඇප දීලත් ඔහුට දෙනවා එක කොන්දේසියක් සතියකට වතාවක් ඔහු ගිහින් පොලිසීයේ පෙනී ඉන්න ඕන කියලා. අවසානේ මේ නඩුව ඇදි ඇදි ගිහිල්ලා අන්තිමේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණ උපදෙස් අනුව තීරණය කරනවා ඔහුට එරෙහිව මේ ICCPR චෝදනා යටතේ මේ නඩුව පවරාගෙන යන් නෑ කියලා. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේද නඩුව පවරන් නෑ කියලා ඔහුව නිදහස් කරනවා එතනින්. එතකොට ගත්තොත් ICCPR පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරලා ඔහු මාස හතරකටත් වැඩි කාලයක් රක්ෂිත බණ්ධනාගාරයක තබනවා. බැලූ බැල්මට ඔහු කරපු වරද වන්නේ යම් ආගමික කරුණක් විවේචනය කරලා කෙටි කතාවක් ලියපු එක. එතකොට ඔහුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, මේ යම් ආගමික සංස්ථාවකට අයිති පිරිසක් විසින් කරපු පැමිණිල්ල පදනම් කරගෙන පොලීසිය ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වලා අවසානයේ අධිකරණයේ තීරණ අරන් අවසානයේ ඔහු නිදහස් කරනවා.  එතකොට ඇයි ඒ කෙටිකතාවක් ලිව්ව පමණින් මෙච්චර කාලයක් හිරේ තැබුවේ. බැලූ බැල්මටම පේනවා ඒක මහ අසාධාරණ ප්‍රවේශයක්. ඉතින් එතන තියන ප්‍රශ්නය තමයි එතරම් කාලයක් රක්ෂිත බණ්ධනාගාර ගතවෙලා ඉන්න වුණේ ICCPR පනතෙන් ගත්ත ප්‍රතිපාදන නිසා.

එතකොට මීට මාසයකට ඉහත දී අත්අඩංගුවට පත් වුණු නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගත්තෙත් මේ පනත පදනම් කරගෙන නේද?

නතාශා එදිරිසූරිය විසින් ඉදිරිපත් කරපු ප්‍රහසනයක් පදනම් කරගෙන තමයි ඇයව රක්ෂිත බණ්ධනාගාර ගත කළේ. එතනත් පාවිච්චි වෙලා තියෙන්නේ ICCPR පනතේ ප්‍රතිපාදන. ඒක මේ වෙලාවේ අධිකරණයේ තියන කරුණක් නිසා එ ගැන දිගින් දිගට ම කියන්නේ නෑ. නමුත් කෙටි කතාවක් ලියූ ලේකඛකයකුට අත් වූ ඉරණම අපි දැක්කා. නතාශා ඉදිරිපත් කළෙත් එක්තරා ප්‍රහසනයක්. ඉතින් ඒ වගේ දෙයක් සඳහා ICCPR පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරන එක හරි ද වැරදි ද කියන ප්‍රශ්නය අපිට තියනවා. තව එක උදාහරණයක් තියනවා, එක්තරා කාන්තාවක් ඇඳගෙන යනවා නැවක සුක්ඛානමක සංකේතයක් තියන ඇඳුමක්. ඇයව අත් අඩංගුවට අරගෙන එයා ධර්මචක්‍රයක් තියන ඇඳුමක් ඇඳන් ගියා කියලා ඇයටත් නඩු පවරන්න උත්සහ කරනවා. නමුත් අවසානයේ නඩු පැවරීමක් සිද්ද වෙන්නේ නෑ. ඇයව නිදහස් කරන්න සිදු වෙනවා.

ගැටලුව තියෙන්නේ නීතියේ ද නීතිය ක්‍රියාත්මක කරන විදිහෙ ද?

පොදුවේ ගත්තහම ICCPR පනත අද පාවිච්චි වෙලා තියෙන්නේ වෛරී ප්‍රකාශ කියන ඒවා තෝරාගත් පිරිසකට එරෙහිව විතරක් මේ නීතිය ක්‍රියාත්මක කිරීමක්. පොදුවේ ගත්තොත් ප්‍රධාන ආගම ප්‍රධාන ජාතියට එරෙහිව යම් ප්‍රකාශයක් කරන කොට යම් අදහසක් ප්‍රකාශ කරනකොට ඒවාට එරෙහිව මේ නීතිය ක්‍රියාත්මක කරනවා මිසක් ඇත්තටම සුළු ජාතීන්ට සුළු ආගම්වලට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමේ, වෛරී ප්‍රකාශ කිරීමේ අවස්ථා තුළ මේක භාවිත වෙලා නැතිම තරම්. ICCPR පනත නරකයි කියලා මමනම් කියන් නෑ. ඒක හොඳ පනතක්. ඒක මානව හිමිකම් ආරක්ෂා කරන්න ගෙනාපු පනතක්. වෛරී ප්‍රකාශ වැළැක්වීමේ නීති ප්‍රතිපාදන ඒකේ තියනවා. නමුත් ඒක භාවිත කරන විදිය හරහා ඒ පනතේ තියන ප්‍රතිපාදන තෝරාගත්ත ආකාරයකට පමණක්, තෝරාගත්ත පිරිසකට පමණක් භාවිත කරලා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමේ නීතියක් බවට ලංකාවේ පරිවර්තනය වෙලා තියනවා. ඉතින් මේක වළක්වන්න මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ මාලාවකුත් පොලිසීයට නිකුත් කරලා තියනවා. මේ ICCPR පනත ප්‍රතිපාදන පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන්න ඕන ඒ තියන තත්ත්වය බලලා, සමාජ දේශපාලනික සංස්කෘතික සන්ධර්භය කල්පනා කරලා. ඒ වගේ ම ප්‍රකාශය කරන පුද්ගලයාගේ තරාතිරම කල්පනා කරලා. ඒකෙන් සමාජයට වුණු හානිය බලලා, මේ ආදී වශයෙන් මාර්ගෝපදේශ මාලාවකුත් දීලා තියනවා. හැබැයි ඒව ගැන කිසිඳු තැකීමක් නොකර ලංකාවේ පොලිසිය විසින් ICCPR පනතේ තියන තුන්වන වගන්තියේ වෛරී ප්‍රකාශන වැළැක්වීමට අදාළ ප්‍රතිපාදන තෝරාගත් ආකාරයකට අත්තනෝමතික ලෙස හිතුවක්කාර ලෙස භාවිත කරන ආකාරය අපිට දකින්න පුළුවන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳවත් චෝදනා එල්ල වෙනවා නේද? මේ තියෙන නීති මදි නිසා ආණ්ඩුව පහුගිය දවස්වල උත්සහයක නිරත වුණා ප්‍රතිත්‍රස්ථ පනත කියල අලුත් පනතකුත් ගේන්න. ඒ ගැන මොකක් ද හිතෙන්නේ ඔබට?

ලංකාවේ භාෂණය සහ ප්‍රකාශනය නිදහසට තියන තවත් අභියෝගයක් තමයි මේ ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළව තියන නෛතික ප්‍රතිපාදන සහ එයට අදාළව තියන නීතිය. විශේෂයෙන් දැන් මේ වෙලාවේ සාකච්ඡාවට ලක්වන්නේ ප්‍රතිත්‍රස්ත පනත. ප්‍රතිත්‍රස්ත පනත එන්නේ නිකන් ම නෙවේ. මේක අලුත් ත්‍රස්ත කෙටුම්පතක් නෙවෙයි. මේක ගේන්නේ දැනට තියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරල ඒ වෙනුවට තමයි මේ ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දෙන්න යන්නේ. 1979 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ලංකාවට  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හඳුන්වා දෙන්නේ තාවකාලික පනතක් ලෙස. ඔහු කියන්නේ ඒ වෙලාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් එනවා, ඒ ප්‍රශ්නය වළක්වා ගැනීමට මෙය ගෙනෙන්නේ කියලා. තාවකාලිකව ගෙනෙන මේ පනත 1982 හෝ 1983 වසරේ ස්ථීර පනතක් බවට පත්වෙනවා. තාවකාලික ප්‍රතිපාදන පැත්තකට ගිහිල්ලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විදිහට එය කරලියට එනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළු ලෝකය පුරාම විවේචනයට ලක් වූ පනතක්. මෙහි ඇතුළත් වෙන්නේ බොහොම භයානක වගන්ති. විශේෂයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දැඩි ලෙස බලපෑම් එල්ල කරන ප්‍රතිපාදන ඒ අඩංගු වෙනවා. ඉතින් ඒ පනත අයින් කරලා ඒ වෙනුවට තමයි මේ ප්‍රතිත්‍රස්ත පනතක් ඉදිරිපත් කරන්න වෙනත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැනට තියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සංසංදනය කළහොත් මේ දෙක ම අපිට දකින්න වෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තර්ජනයක් එල්ල වෙච්ච භාෂණය සහ ප්‍රකාශනයට තර්ජනයක් එල්ල වෙච්ච නීති හැටියට.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි විදිහට පාවිච්චි කළ අවස්ථාවක් ගැන මතක් කරන්න පුළුවන් ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 14 වන වගන්තියේ ගත්තොත් ඒකේ පැහැදිලිව කියලා තියනවා යම් යම් ප්‍රකාශන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන ප්‍රකාශ කියලා හඳුන්වන්න පුළුවන් කියලා. යම් යම් ප්‍රකාශ බෙදා හැරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් වැරදි විදිහට අර්ථ ගන්වන්න පුළුවන්. ඒ වගේ අර්ථ ගැන්වීම් කරලා ඒ පුද්ගලයන්ව රක්ෂිත බණ්ධනාගාර ගත කරන්න, සිර දඩුවම් දෙන්න බලය, ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තියනවා. ලංකාවේ දැනට තියන ත්‍රස්‍තවාදය වැළැක්වීමේ පනත භාවිත කරලා තියන ආකාරය ඉතා ම කණගාටුදායකයි. විශේෂයෙන් ම අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණය සහ ප්‍රකාශන අයිතියට අදාළව. උදාහරණයක් විදියට ගත්‍තොත් තිස්සනායගම් කියලා ජනමාධ්‍යවේදියෙක් හිටියා. ඔහු එක්තරා වෙලාවක, (ඔහුගේ ප්‍රකාශනයේ සඳහන් වෙන්නෙ කොපි 40ක) පොඩි පුවත්පතක් පළ කරනවා, ඒ පුවත්පතේ එක තැනක එක වචනයක් නිසා ඔහුව අත් අඩංගුවට ගන්නවා, ඔහු ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කළා කියලා. ඇත්තට ම ඒ නඩු විභාගය සම්බන්ධයෙන් ගැටලු ගොඩක් තියනවා. නමුත් කෙසේ හෝ ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නවා එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන්න කටයුතු කළා කියලා.

එතනදි ඔහුට වෙන්නේ මාස හයක් නඩු නැතුව බන්ධනාගාර ගත කරලා තියාගන්නවා. අන්තිමට නඩු අහලා ඔහුට අවුරුදු විස්සක සිර දඬුවමක් ලබා දෙනවා. හැබැයි ඒ වෙලාවේ මේ සිද්ධිදාමය මුලු ලෝකය පුරා අවධානයට ලක් වෙනවා. එක්තරා අවස්තාවක ඒ කාලේ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා තිස්සනායගම්ව ආදර්ශයක් විදියට ගන්නවා ජන මාධ්‍යවේදීන්ට එරෙහි නීතිය යොදාගෙන තිබෙන භයානක තත්වයන් ගැන පෙන්වන්න. ඉතින් ඒ අවස්ථාවේ ඒක පදනම් කරගෙන ජාත්‍යන්තරය තුළ එන ආන්දෝලනය හින්දා එවකට පැවති ආණ්ඩුව තිස්සනායගම්ට ජනාධිපති සමාව දීලා නිදහස් කරනවා. හැබැයි ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වින්දිතයෙක්.

ඔබ මේ කියන්න උත්සහ කරන්නේ ත්‍රස්ථවාදය වළක්වන්න පනතක් අවශ්‍ය නෑ කියල ද?

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතිකව තියන එක් මතයක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමට පනත් ඕන කියන අදහසක්. හැබැයි ඇතැම් වෙලාවට අපි තර්ක කරන්න පුළුවන් අපිට පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇති වුණොත් කලබලයක් ඇති වුණොත්, ඒක මර්දනය කරගන්න ඕන තරම් නීති තියනවා ලංකාවේ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් තියන බරපතළම විවේචනයක් තමයි තියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා තව පනතක් ගේන්න ඕන් නෑ. මොකද 1979ට ඉස්සර මෙහෙම පනතක් තිබුනේ නෑ. තාවකාලිකව ගෙනාපු පනත තමයි පස්සේ ස්ථීර පනතක් බවට පත් කරගත්තේ. ඉතින් මේ දැන් තියන වාතාවරණය ඇතුළේ ලංකාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ඕන ද කියන එක පළවෙනි ප්‍රශ්නය විදියට තියනවා. මගේ නම් මතය එහෙම පනතක් ලංකාවට ඕන් නෑ කියන එක. ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඇති පදම් නීති තියනවා. ඒ නිසා මෙහෙම පනතක් ඕන් නෑ. මේ පනත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පමණක් නෙවෙයි ජනතාවගේ සෙසු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමටත් යොදාගන්න පනතක් ලෙසයි මම නම් දකින්නේ.

නමුත් ආණ්ඩුව පැත්තෙන් කියන්නේ අද වෙනකොට ත්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වෙලා හින්දා අලුත් නීති අවශ්‍යයි කියලා.

අන්තර් ජාතික ත්‍රස්තවාදය, සයිබර් ත්‍රස්තවාදය, මේ වගේ කරුණුවලට අවධානය යොමු කරලා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පනතක් ඕනමයි කියලා කවුරුහරි තර්ක කරනවා නම්, ඒ පසුබිමෙන් බැලුවත් මේ අලුතෙන් තියන ප්‍රතිත්‍රස්ත පනතේ එහෙම ඒවා ගැන අවධානයක් යොමු කරලා නෑ. ඒකෙන් වෙලා තියෙන්නෙත් අර පරණ තිබිච්ච මර්දනකාරී නීති ටික ඒ විදියටම ක්‍රියාත්මක කරන එකයි. යෝජිත පනතේ ත්‍රස්තවාදය කියන එකේ නිර්වචනය පුළුල් කරලා තියනවා. එතකොට යම්කිසි අවස්ථාවක යම් ස්ථානයක තියන මහජන රැස්වීමක් රජයට එරෙහිව නෙවේ වුණත්, අත්‍යාවශ්‍ය සේවා කඩා කප්පල් කරන්න යොදාගන්න මහජන රැස්වීමක් කියලා අර්ථකතනය කරලා, ත්‍රස්තවාදී ක්‍රියාවක් විදියට පවා අර්ථකතනය කරන්න අවස්ථාවක් මේ අලුත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ තියනවා. උදාහරණයක් විදියට කිසියම් පිරිසක් රෝහලක් ඉදිරිපිට උද්ඝෝෂණයක් කරනවා නම්, සෞඛ්‍ය අත්‍යාවශ්‍යය සේවාවක් නිසා ඊට බාධාවක් වුණා, මොවුන් ත්‍රස්තවාදී ක්‍රියාවක් කළා, කියලා අර්ථකතනය කරන්න පුළුවන් තරමේ භයානක ප්‍රතිපාදන මේ පනත ඇතුළේ අපිට හඳුනාගන්න පුළුවන්. ඒ නිසා මෙහි යම් ආකාරයක අර්ථ නිරූපණයක් ත්‍රස්තවාදී ක්‍රියාවලට දීලා තියනවා. ඒ අර්ථ නිරූපණය ඉතාමත් භයානකයි. ඒ අර්ථ නිරූපණය අන්තර්ජාතිකව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තියන නිර්වචනවලට සම්පූර්ණයෙන් ම පටහැනියි.

කොහොම නමුත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනතෙන් මාධ්‍ය නිදහසට ඍජුව බලපාන්නේ නෑ නේද?

පිකට් එකක් කරන එක ත්‍රස්තවාදී ක්‍රියා විදියට අර්ථකතනය කරන්න එනවා නම් ඒක කොයිතරම් භයානක ද? ඊළඟට මාධ්‍යට සම්බන්ධයෙන් ආවොත් එතකොට ඒ වගේ දෙයක් වාර්තා කරන්න යන එක, ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කිරීම පවා ඕන්නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස යෝජිත පනත් කෙටුම්පත යටතේ අර්ථ නිරූපණය කරන්න පුළුවන්. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනකොට ලංකාවේ නීතිය යොදාගැනීම ගැන තියන භාවිතය එච්චර හොඳ නෑ.ඉතින් ඒ නිසා අපිට ඒ තියන අනතුරු සියල්ල දකින්න වෙනවා. ඒ නිසා මේක ඒ වගේ තැනකට වුණත් තල්ලු වෙන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රතිත්‍රස්ත පනතේ තියන 10 වෙනි වගන්තිය කෙලින් ම වාර්තාකරණය අදාළව, මම අර පෙර කියූ ජාතියේ සිදුවීම් සම්බන්ධව තොරතුරු තියාගන්න එක, තොරතුරු වාර්ථාකරණය කරන එක, ඒ වගේ ම අවශ්‍යය තොරතුරු දෙන්නැති උණොත් ඒක ලබාගන්න එක, මේ ආදී වශයෙන් තොරතුරු සම්බන්ධයෙන් අංග ගණනාවක් ඇතුළත් කරලා තියනවා. ඉතින් ඒ හරහා අපි දකින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අහිතකර ප්‍රතිපාදන රැසක් ඇතුළත් වුණු යෝජනාවක් විදියට තමයි ප්‍රතිත්‍රස්ත පනත.

සටහන | ඉෂානි පියුමිකා

ඡායාරූප | ඉෂාන් මාලින්ද

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *