ජනමාධ්‍ය නිදහස සීමා වෙන්නේ මෙහෙමයි

| ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන

ජනමාධ්‍ය නිදහස් දින සැමරුම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට අනුබද්ධව ක්‍රියාත්මක මාධ්‍ය හා මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ ආරාධනයෙන් ජනාධිපති නිතීඥ ආචාර්ය ජයන්පති වික්‍රමරත්තන මහතා කළ දේශනයක් ඇසුරෙනි

මැයි මස 03 වෙනිදාට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ මෙවර තේමාව වුයේ සියළු මානව හිමිකම්වල පදනම භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය යන්න ය. මේ අවුරුද්දට ජනමාධ්‍ය නිදහස සැමරීම ආරම්භ වී වසර තිහකි.

1948 වර්ෂයේ හඳුන්වා දුන් විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය යටතේ 19 වගන්තියයෙන් භාෂණ හා ප්‍රකාශන නිදහස ලබා දි ඇත. ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳව මතකයට නැගෙත් ම අප මතකයට පැමිණෙන්නෙත්, සහ අප බලාපොරොත්තුවන්නෙත් රජය විසින් ලබා දෙන්නා වු නිදහසයි. ඒ අනුව භාෂණය හා ප්‍රකාශන නිදහස යටතේ  ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 14 වන වගන්තිය සහතික කරන අන්ඳමට කතා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, සමාගමේ නිදහස, ආගම්, ඇදහිලි, විශ්වාසයන් ඇදහිමේ නිදහස, යාම් ඊම් නිදහස ආදිය ද ඇතුළත්. අණ්ඩුක්‍රම ව්‍යාස්ථාවට කළ 19 සංශෝධනයේ 14 ඒ වගන්තිය යටතේ ලබා දී ඇති තොරතුරු දැනගැනිමේ අයිතිය ද ඊට එක් වී ඇත.

භාෂණයේ නිදහස හා තොරතුරු දැනගැනිමේ අයිතිය ජන මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පවත්නා වැදගත් ලියවිලි දෙකකි. මන්ද ජනමාධ්‍ය නිදහස පවතින්නේ මේ අයිතිවාසිකම් දෙක මත ය. එමෙන් ම මේ වගන්ති ලාංකීය පුරවැසියන් සඳහා පමණක් වෙන් වූවන් වේ. භාෂාණයේ හා ප්‍රකාශනයේ අයිතිය පරම අයිතියක් නොවන අතර මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ එය සීමා වන අවස්ථාවන් පිළිබඳව ය.

භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය නොහොත් ජනමාධ්‍ය නිදහස යම් යම් හේතු සාධක ඔස්සේ සීමා කිරීම් සිදු කර ඇති බව පෙනී යයි. එහිදි එම සීමාවන් රටේ පැවැත්ම සඳහා හෝ ඇතැම් අවස්ථාවල පවතින ආණ්ඩු පක්ෂයේ වාසිය මත නිර්මාණය කරගත් සීමාවන් ද වේ. රටේ යහවැත්ම උදෙසා සීමා කිරීම් ලෙස අනෙකාට අපහාස නොකිරීම, අසභ්‍ය ලෙස කතා නොකිරීම වැනි අවස්ථා දැකිය හැකි ය. එහෙත් එලෙස සීමාවන් පැනවීමේ දී එය සාධාරණ විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.                                                       

භාෂණ ප්‍රකාශන නිදහස යන්නෙන් අදහස් වන්නේ තම යෝජනා අනෙකාට පැවසීමේ නිදහස, අත්දැකීම් පැවසිමේ නිදහස ආදිය වේ. භාෂණයේ නිදහස යැයි පවසමින් අනෙකාට බලකිරීම හෝ අගෞරව කිරීමේ අයිතියක් කිසිවෙකුට හිමි නොවේ. ප්‍රජාතන්ත්‍රවාදි  සමාජයකට මෙන් ම ශිෂ්ඨ සම්පන්න සමාජයට භාෂණ ප්‍රකාශන නිදහස් අයිතිය අවශ්‍ය ම සාධකයක් වන්නේ ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනිම සඳහා ය. එහිදි පුවත්පත්, අත්පත්‍රකා, පොත්, පින්තූර, කාටුන්, නව මාධ්‍යන් හරහා, සංගිතය, සිනමාව, නාට්‍ය මේ ආදියන්  ඔස්සේ තම අදහස් ප්‍රකාශ කිරීම සිදු කළ හැකි ය.

අදහස් ප්‍රකාශ කිරීම තුළ සීමාවන් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 15/2 අනු වගන්තිය යටතේ පෙන්වා දී ඇත. වාර්ගික හා ආගමික සහයෝගීතාව උදෙසාත්, පාර්ලිමේන්තු වරප්‍රදසාද ආරක්ෂා කිරිම සඳහාත් අධිකරණයට අපහාස කිරිම, අන්අයට අපහාස කිරීම පිළිබඳ භාෂණ හා ප්‍රකාශන නිදහස යටතේ සීමා කරයි.  එමෙන් ම 15/7 වගන්තිය යටතේ මුලික අයිතිවාසිකම් හේතුන් මත සිමා කළ හැකි බව සඳහන්ව ඇත. එනම් රාජය ආරක්ෂාව, රටේ පැවැත්ම තහවුරු කිරිම සඳහාත්, මහජන සෞඛ්‍යය මෙන් ම සමාජ සදාචාරය ආරක්ෂා කිරිම සඳහාත් සීමා කිරිම් සිදු කළ හැකි ය.

මේ සීමා කිරිම් හදිසි නිතීය යටතේ ද සීමා කළ හැකි ය. එහිදි මසකට වරක් පාර්ලිමේන්තුව රැස්ව හදිසි නිතීය සම්මත කර ගැනිම ඔස්සේ විධායකයට විශාල බලයක් හිමි වේ. එහිදි පනත සම්මත නොකර පාර්ලිමේන්තු බහුතරය පවතින තාක් කල් භාෂණයේ නිදහස හෝ අනිකුත් අයිතිවාසිකම් සිමා කළ හැකි ය. ඇතැම් අවස්ථාවල මේවැනි සීමා ගෙන එනු ලබන්නේ පාලන බලයේ සිටින පාලකයින් විසිනි. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය පවසන පරිද්දෙන් ආණ්ඩුවට හිතුමනාපෙට සීමාකම් දැමිය නොහැකි ය. එනම් සීමාව සමීප, සැබෑ, යථාර්තමය සීමාවක් විය යුතු බව ය. එහිදි සීමා දැමිමේ අරමුණ හා සීමාව අතර සම්බන්ධයක් තිබිය යුතු වේ. එනම් අත්නෝමතිකව කටයුතු නොකළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

ජාත්‍යන්තර නීතිය තුළ ද භාෂණ ප්‍රකාශන නිදහස පිළිබඳව අදහස් දක්වා ඇත. එහිදි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තිය යටතේ භාෂණයේ නිදහස තහවුරු කර ඇත. එනම් තොරතුරු ලබා ගැනිම, සොයා ගැනිමේ නිදහස වේ. මේ තුළ ද සීමා කිරීම් තිබෙන අතර එහිදිත් අවධාරණය කර ඇත්තේ අනෙකාගේ අයිතිවාසිකම් හා කීර්තිය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරිම මෙන් ම ජාතික ආරාක්ෂාව, මහජන සාමය මහජන සෞඛ්‍ය උදෙසාත් රටේ සදාචාරය උදෙසාත් සීමා පැනවිය හැකි බව අවධාරණය කර ඇත. එපමණක් නොව යුරෝපීය මානව හිමිකම් ප්‍රඥප්තිය තුළ ද සඳහන් වන්නේ මෙවැන්නකි. පනවන්නා වූ සීමාවන් ප්‍රජාතන්ත්‍රවාදි රටක සමාජයේ අවශ්‍යතාවන් සඳහා පමණක් සීමා දැමිම කළ යුතු බවයි.

භාෂණය ප්‍රකාශන කිරීමේ ක්‍රමවේදයන් රැසක් ඇති අතර ඉන් එක් ආකාරයක් ලෙස විරෝධතා ප්‍රකාශ කිරීමේ අයිතිය පෙන්වා දිය හැකි ය. 1993 දී සිදු වු ජනඝෝෂා නඩුව ප්‍රබලව භාෂණය හා ප්‍රකාශනයේ නිදහස උපරිමයෙන් භාවිත කරන ලද්දකි. භාෂණ ප්‍රකාශන නිදහසේ සීමා කිරීමේ දිගුවක් ලෙස අසභ්‍ය ප්‍රකාශන පනත හා වෛරි භාෂණය පෙන්වා දිය හැකි ය. අසභ්‍ය ප්‍රකාශන යටතේ ලිංගික කරුණු පිළිබඳව අධි ආශාවන් ඇති වන අයුරින් ඉදිරිපත් කිරීම මෙන් ම ලිංගික හැසිරීම් ආකාර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම් සිදු නොකළ යුතු ය. එසේ ඉදිරිපත් වුවහොත් එය අසභ්‍ය ප්‍රකාශනයක් වන බව පෙන්වා දිය යුතු ය. ඒ අනුව අදහස් ප්‍රකාශනයේ නිදහස හිමිවුවත් අසභ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අවකාශයක් නොමැති බව පෙන්වාදි ඇත.

වෛරී භාෂණයන් සිදු නොකළ යුතු බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ පෙන්වා දී ඇත. එහිදි යම් ආගමක් හෝ ජනවර්ගයන් පිළිබඳව සෘණාත්මක ආකල්පයන් ගෙන දෙන අයුරින් අදහස් ඉදිරිපත් නොකළ යුතු අතර ම, එක් එක් ජන කොට්ඨාසයන් උසිගැන්වෙන ආකාරයට අදහස් ඉදිරිපත් නොකිරීම ඔවුන්ගේ සිද්ධාස්ථාන, දේපල ආදිය කෙරෙහි ද්වේශයක් උපදින ආකාරයට අදහස් ඉදිරිපත් නොකළ යුතු ය. මේ පනත යටතේ ද භාෂණ ප්‍රකාශන නිදහස එක්තරා ආකාරයකින් සීමා කිරිමක් සිදු කර ඇත.

අන්තර්ජාලය බිහිවීමත් සමඟ භාෂණ ප්‍රකාශනය උදෙසා විහිදී තිබූ සීමා කිරීම් ලිහිල් වු බවක් අදවන විට දැක්නට ලැබෙන්නකි. ජාලගත සන්නිවේදනයක් නිසා නව මාධ්‍යන් ඔස්සේ භාෂණ ප්‍රකාශන නිදහස සීමා කිරීම අද වනවිට අපහසුතාවට පත් වී ඇත. එය එක්තරා ආකාරයක යහපත් ඵලදායික තත්ත්වයක් වුවත් එහි අහිතකර පැතිකඩයන් ද පවති. 

භාෂණ නිදහස වක්‍රව හෝ සෘජුව සීමා කිරීම් සිදු කළ හැකි ය. එහිදි පූර්ව වාරණ ක්‍රමය එක් ආකාරයක සීමාවකි. සීල් තැබීම් මෙන් ම දැන්විම් ලබා නොදිම, බදු වැඩි කිරීම ආදියන් අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස සීමා කිරීම සිදු කරයි. මාධ්‍යය ආයතනයන් නියාමනය ද නිදහස සීමා කිරීමක් සිදු කරයි. මෑතක විකාශන නියාමනය කිරීම උදෙසා ද පනත් කෙටුම්පතක් ඉදිරිපත් විය. එමඟින් ස්ථාපිත කරන ආයතන විසින් විකාශනය සඳහා බලපත්‍රයන් නිකුත් කිරීම සිදු කරයි. එමඟින් ද යම් ආකාරයක භාෂණය හා ප්‍රකාශනය සීමා කිරීමේ අවස්ථා උද්ගත විය හැකි ය.

මාධ්‍යන් උදෙසා සීමා නොපැනවිය යුතු ද පැනවිය යුතු ද යන මතභේදය අදටත් පවති. එකිනෙක වෙනස් වු හැඩයන්ගෙන් යුතු මාධ්‍යන් නිසාවෙන් සීමා කිරීම් ඒ ඒ මාධ්‍ය අනුව සකස් විය යුතු බව පිළිගත හැකි අදහසකි. එලෙස කරනු ලබන සීමා කිරීම් සාධාරණ ලෙස සිදු කරමින් ජනමාධ්‍ය උදෙසා භාෂණ ප්‍රකාශන අයිතිය නිසි අයුරින් ලබා දීම රටට පමණක් නොව සමාජයට ද සිදු කරන්නා වු මෙහෙවරක් වන්නේ ය.

සටහන | තමාෂා සෙව්වන්දි

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *