ටුවිටර් එකට ත්‍රෙට් එකක් වන ත්‍රෙඩ්ස්

| සකීෆ් සාම්

ටුවිටර් සමඟ තරඟ කිරීම සඳහා Meta සමාගම විසින් පෙළ පදනම් වූ (Text Based) යෙදවුමක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කළේ ජුලි මස 06 වන දින ය. ෆේස්බුක්, වට්සැප් සහ ඉන්ස්ටග්‍රම්වලට අමතරව ආරම්භ කර ඇති මෙම නව යෙදවුම පිළිබඳව මෙටා සමාගම දක්වා ඇත්තේ ටුවිටර්හි තරඟකාරි යෙදවුම (App to rival Twitter) ලෙසයි. මෙටා ආයතනයේ සෙසු සමාජ මාධ්‍ය වේදිකාවන්ට වඩා වෙනස් ස්වරූපයකින් හඳුන්වා දී ඇති ත්‍රෙඩ්ස් ට්විටර්වලට සමාන මයික්‍රොබ්ලොග් අත්දැකීමක පරිශීලකයාට ලබා දෙයි. මෙටා ආයතනයේ ඉන්ස්ටග්‍රෑම් කාර්ය මණ්ඩලය විසින් දියුණු කර ඇති මෙම යෙදවුම ඉන්සටග්‍රෑම්වලට අනුබද්ධව ක්‍රියාත්මක වෙයි.

ටුවිටර්වලට සමානව ආරම්භ කළත් ටුවිටර්හි එක් පළ කිරීමක් (Post) අක්ෂර 280ට සීමා වන අතර පිංතූරු සීමාව 4ක් ද වීඩියෝවක දිග ප්‍රමාණය මිනිත්තු දෙකයි තප්පර 20ක් ද වෙයි. එහෙත් ත්‍රෙට්ස්හි පළ කිරීමක අක්ෂර 500 දක්වා අවකාශය ඇත. ඊට අමතරව එහි මිනිත්තු පහක් දක්වා දිගු වීඩියෝ මෙන් ම ඡායාරූප 10 දක්වා ප්‍රමාණයක් ද ඇතුළත් කිරීමට සිය පරිශීලකයන්ට අවසර දෙයි.

ටුවිටර් වෙනුවට Mastodon

The Verge නම් ඇමරිකානු තාක්ෂණික සඟරාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඉන්ස්ටග්‍රෑම්හි නිෂ්පාදන ප්‍රධානී ඇඩම් මොසරි පැවසා තිබුණේ ටුවිටර්හි මෑතකාලීන “අනපේක්ෂිතභාවය” නව වේදිකාවක අවශ්‍යතාවයක් නිර්මාණය කළ බවයි. එනම් ටුවිටර්හහි ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල වෙළඳපොලේ ටුවිටර් මෙන් නව නිෂ්පාදනයක් සඳහා ඉඩ සැලසිනි. ඉලොන් මස්ක් ටුවිටර් සමාගම මිලදී ගත් පසු එහි සේවකයන් ඉවත් කිරීම, පරිශීලිකයන්ගෙන් මුදල් අය කිරීම, දිනකට පරිශීලකයෙක් බැලිය හැකි ටුවිට් සංඛ්‍යව 6000කට සීමා කිරීම වැනි ආන්දෝලනාත්මක තීරණ ගැනීම හේතුවෙන් ටුවිටර් පරිශීලකයන් මිලියනයට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් වූ බව සංඛ්‍ය ලේඛණ පෙන්වයි.

ටුවිටර් වෙතින් ඉවත් වන පරිශීලකයන් ආකර්ෂණය කිරීමට 2016 වසරේ ජර්මනියේ ඉයුගෙන් රොක්කෝ විසින් ආරම්භ කළ Mastodon නම් ලාභ නොලබන සමාජ ජාලය, වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ ය. එහෙත් එය අසාර්ථක වීමත් සමඟ එම රික්තය පිරවීමටත් සිය තරඟකාරී ආයතයට මුහුණ දීමට ත්‍රෙඩ්ස් නිර්මාණය කළ බව මොසෙරිගෙ ප්‍රකාශයෙන් පැහැදිලි ය.

මීට පෙර Snapchat නම් පිංතූර පාදක කරගත් සමාජ මාධ්‍යට මුහුණ දීමට Instagram ක්‍රියාත්මක කිරීමත් tiktokවලට මුහුණ දීමට Facebook රීල් හඳුන්වා දීමටත් මෙටා ආයතනය කටයුතු කළේ ය. වෙළඳපල තරඟකරුවන්ට මුහුණ දීමට මෙටා ආයතනය නව හඳුන්වා දීම් කිහිපයක් ම සිදු කළේ ය.

සමාජ මාධ්‍ය අවකාශයේ Meta සමාගමේ ඒකාධිකාරය

Meta සමාගමේ සෙසු නිෂ්පාදන මෙන්, Threads ද දැනට පවතින නිෂ්පාදනවලට සමඟ හොඳින් ම ඒකාබද්ධ වීමේ අවකාශය පරිශීලකයාට ලබා දෙයි. ත්‍රෙඩ්ස් ගිණුමක් සෑදීමේ දී දැනට Instagramහි සිටින අනුගාමිකයන් ද ත්‍රෙඩ්ස් ගිණුමට පහසුවෙන් ම එක් කරගැනීමේ අවස්ථාව ලබා දෙයි. එමෙන් ම සෙසු සමාජ මාධ්‍ය ගිණුම්වලට වඩා විශේෂ අවස්ථාවක් පරිශීලකයන්ට ලබා දෙන ත්‍රෙඩ්ස් ගිණුමක් ආරම්භ කරන අවස්ථාවේ ම තමන්ගේ ගිණුම පෞද්ගලිකව තබා ගැනීමට හෝ පොදුවේ තබා ගැනීමට තෝරා ගැනීමේ අවස්ථාවත් සිය පරිශීලකයන්ට ලබා දෙයි. ත්‍රෙඩ්ස්හි තවත් විශේෂත්වයක් වන්නේ ඉන්ස්ටග්‍රෑම්හි ඇති මූලික විශේෂාංග වන තිර කියවනය සහය (screen reader support) සහ කෘතීම බුද්ධියෙන් ජනනය කරනු ලබන රූප විස්තර (image descriptions), ද ක්‍රියාත්මක වේ.

මෙටා සමාගම ත්‍රෙඩ්ස් ආරම්භ කිරීමේ දී පෞද්ගලිකත්ව රහස්‍යභාවය පිළිබඳව සහතිකයක් ලබා දුන්නත් පෞද්ගලිකත්වය පිළිබඳව දිගුකාලීන ගැටළු මතු විය හැකි බවට ගාඩියන් වෙබ් අඩවියට “The Associated Press” සැපයූ වාර්තාවක සඳහන් වෙයි. App Storeහි එහි දත්ත රහස්‍යතා අනාවරණයට (Data Privacy Disclosure) අනුව සෞඛ්‍යය, මූල්‍ය, සම්බන්ධතා විස්තර (contacts), බ්‍රවුසින් සහ සෙවුම් ඉතිහාසය, ස්ථාන දත්ත (location), මිලදී ගැනීම් සහ තවත් “සංවේදී තොරතුරු” ඇතුළුව පුලුල් පරාසයක පුද්ගලික තොරතුරු රැස් කිරීමට ත්‍රෙඩ්ස්වලට හැකි වන බවට එම වාර්තාවේ සඳහන්.

මෙම ගැටලු නිසා, දැඩි දත්ත රහස්‍යතා නීති ඇති යුරෝපා කලාපයේ ත්‍රෙඩ්ස් සඳහා තවමත් අවසර ලැබී නැත. දැනට රටවල් 100ක් පමණ ත්‍රෙඩ්ස් සඳහා අවසර ලැබී ඇති අතර මෙටා සමාගම තවත් රටවල් වෙත තම නවත ම යෙදවුම ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සිටියි. ත්‍රෙඩ්ස් පිළිබඳව තිබෙන තවත් විවේචනයක් වන්නේ යමෙකු ගිණුමක් ආරම්භ කිරීමෙන් පසු ත්‍රෙඩ්ස් ඉවත් කළහොත් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ද අක්‍රිය වෙයි. එමෙන් ම පරිශීලකයන් විසින් ත්‍රෙඩ්ස්හි ප්‍රජා මාර්ගෝපදේශයක් (community guidelines) උල්ලංඝණය කිරීම නිසා ඔහුගේ ගිණුම අත්හිටුවීමක් සිදු කළහොත් ඔහුගේ ඉන්ස්ටග්‍රැම් ගිණුම ද අක්‍රිය වෙයි.

ත්‍රෙඩ්ස් විමධ්‍යගත කිරීමේ යෝජනාවට සිදු වූයේ කුමක් ද?

ත්‍රෙට්ස් ආරම්භ කිරීමට පෙර, යෝජිත නව සමාජ මාධ්‍ය වේදිකාව විමධ්‍යගත කරන බවත්, එමගින් පරිශීලකයින්ට තමන්ගේ ඇල්ගොරිතමය සහ තමන් දකින අන්තර්ගත තමා විසින් ම පාලනය කරගැනීමට අවස්ථාව උදා කර දෙන බවටත් මෙටා සමාගම අවධාරණය කළේ ය. කෙසේ වෙතත්, මේ වන විට ත්‍රෙඩ්ස් එබඳු විමධ්‍යගත කිරීමක් සිදු කර නැති බව නිරීක්ෂණය වෙයි. ඉන්ස්ටග්‍රැම්හි ඇඩම් මොසරි ද මීට පෙර පවසා තිබුණේ ත්‍රෙඩ්ස් ද Mastodon යෙදවුම සඳහා සහය දක්වන විමධ්‍යගත සමාජ ජාල ප්‍රොටෝකෝලයක් වන ActivityPub සමඟ ඒකාබද්ධ කරන බවයි. කෙසේ වෙතත්, ඉකුත් දිනෙක මොසරි නැවත කියා තිබුණේ ත්‍රෙඩ්ස් යෙදවුම දියුණු කිරීමේ වගකීම දැරූ කණ්ඩායමට ActivityPub සඳහා එය ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කිරීමට නොහැකි වූ බවයි.

විමධ්‍යගත සමාජ ජාලයෙන්, මධ්‍යගත ජාලවලින් වෙනස් වන්නේ ඒවා පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් පාලනය කරන බැවිනි. විමධ්‍යගත සමාජ ජාලය ක්‍රියාත්මක කිරීමට තනි පුද්ගලයෙක් හෝ සංවිධානයක් නොමැත. එබැවින් Meta සමාගම සිය සෙසු සමාජ මාධ්‍ය යෙදවුමක් සඳහා විමධ්‍යගත ජාලයට යොමු වීම පිළිබඳ යෝජනාව කිසි දිනෙක පිළිගෙන නැත. ඇත්තෙන් ම, Meta සමාගමේ යෙදවුම් සියල්ල රඳා පවතින්නේ සිය පරිශීලකයින් ඉලක්ක කරගත් අලෙවිකරණ, දැන්වීම්කරන සහ වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරවලින් උපයන ලාභය මතිනි. එහෙයින් විමධ්‍යගත සමාජ ජාලයට යොමු වීම Meta සමාගමට අවාසිදායක ය.

ටුවිටර් හි ලාභය අඩකින් පහළ බසී.

ඉකුත් වසරේ ඉලොන් මස්ක් ටුවිටර් සමාගම මිලදී ගැනීමත් සමඟ Mastodon යෙදවුමට ටුවිටර් භාවිතයෙන් ඉවත් වූ මිලියනයකට වඩා වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් ආකර්ශනය වී සිටියත් ඔවුන් අඛණ්ඩව පවත්වා ගැනීමට Mastodon අපොහොසත් වී ඇත. Mastodon වෙත යොමු වූ පරිශීලකයෝ එහි විමධ්‍යගතභාවය නිසා ඇති වන සංකීර්ණ අත්දැකීම හේතුවෙන් ඉක්මණින් ම ඉන් ඉවත් වී ඇතැයි ද අනුමාන කෙරේ. Mastodon ජනප්‍රිය වූ මුල් කාලයේ එහි අනතුර දුටු මස්ක් තම සමාජ මාධ්‍ය වේදිකාවට එල්ල විය හැකි තර්ජනයෙන් මිදීමට ටුවිටර්හි Mastodon සබැඳි බෙදා ගැනීම පවා තහනම් කළේ ය. කෙසේ නමුත් ටුවිටර්හහි කොතෙක් ගැටලු තිබුණත් එහි සාම්ප්‍රදායක පරිශීලකයන් සමාජ මාධ්‍ය කර්මාන්තය තුළ ඊට හිමි නාමය නිසා ම තවමත් එහි රැඳි සිටිති. එමෙන් ම පෙළ පදනම් වූ වේදිකාවකට හුරු වූ ඔවුහු එවැනි ම වේදිකාවට මිස වෙනත් වේදිකාවට යොමු වීමත් ප්‍රිය නොකරති.

Mastodonහි සාර්ථක අසාර්ථකභාවය මැනවින් හදාරා ඇති Meta සමාගම සිය ප්‍රධානත ම ප්‍රතිවාදිය වන ට්විටර් වෙත් ගිලිහෙන පරිශීලකයන් පමණක් නොව සක්‍රීය ටුවිටර් පරිශීලකයන් දිනාගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පැහැදිලි ය. ත්‍රෙඩ්ස් ආරම්භ කර සතියක කාලය තුළ මිලියන සියයක පරිශීලකයන් ප්‍රමාණයක් ආකර්ශනය කරගැනීමට සමත් වී ඇත. නවතම තොරතුරු අනුව ටුවිටර් සමාගමේ ලාභය අඩකින් පමණ පහළ බැස ඇත.

ඉකුත් වර්ෂ අවසානයේ, Mastodon හි නිර්මාතෘ සිය සමාජ මාධ්‍ය වේදිකාවේ ලාභ නොලබන තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තම සමාගම වෙත ලැබුණු ආයෝජන අවස්ථා ගණනාවක් ප්‍රතික්ෂේප කළ බව අනාවරණය කළේ ය. එම නිසා Mastodon සිය වේදිකාව මත දැන්වීම් පළ නොකළත්, Meta සමාගම පැහැදිලිව ම ලාභ ලබන සමාගමක් වන බැවින් ඔවුන් සිය නවත ම වේදිකාවෙන් ලාභ ජනනය කරගන්නා ක්‍රමය තවමත් පැහැදිලි නැත.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *