තරිඳු තොරතුරු පනතින් වැඩ ගත් හැටි

තොරතුරු දැනගැනීම ලාංකිකයින්ගේ අයිතිවාසිකමක් බවට පත් වන්නේ 2016 වර්ෂයේ පටන් ය. එතැන් පටන් සිය ජනමාධ්‍ය භූමිකාව සඳහා තොරතුරු පනත භාවිත කරමින් 6000ක් පමණ ඉල්ලුම්පත් යොමු කරමින් සිද්ධි ගණනාවක් පිළිබඳව සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගනිමින් විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් තොරතුරු විශ්ලේෂණය කරමින් අනාවරණය කිරීම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගවේෂණාත්මක මාධ්‍යවේදියකු, පර්යේෂකයකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු ලෙස තරිඳු ඉරංග ජයවර්ධන හැඳින්විය හැකි ය.

පාසල් අවධියේ පටන් විප්ලවවාදී අදහස් දැරූ තරිඳු පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් ද්විතීයක අධ්‍යාපනයත් ලබා ගනී. පාසලේ ශිෂ්‍ය නායකයකුව සිටියදී තම පාසලේ විදුහල්පතිගේ අක්‍රමිකතා බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට ඔහු කටයුතු කළේ ය. ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින්, මානව හිමිකම් කොමිසම, සිරස ටීවි විමර්ශන වැඩසටහන ආදිය සමඟ එක්ව විදුහල්පතිට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු කටයුතු කළේ ය. මෙම සිදුවීම් හරහා විවිධ ක්ෂේත්‍රයන්හි පුද්ගලයන් හමුවීම, තමන් ඇතුළු කණ්ඩායම විසින් ලබාදෙන තොරතුරු පදනම් කරගනිමින් එකල මාධ්‍යවේදීන් සිදු කළ වාර්තාකරණයන් දැකීමත් නිසා මාධ්‍ය වෘත්තියට පිවිසීමට තරිඳුට උවමනාව සහ ආශාව ඇති විය. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරවෙන් පෙනී සිටීමෙන් අනතුරුව 2011 වර්ෂයේදී පමණ ලංකාදීප පුවත්පතෙන් තරිඳු මාධ්‍ය වෘත්තිය ආරම්භ කළේ ය.

මාධ්‍ය වෘත්තියේ ආරම්භයේ සිටම ඔහු මානව හිමිකම් සම්බන්ධවත්, විවිධ දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳවත්, ස්වභාවධර්මය පිළිබඳවත් ගවේෂණාත්මක ලිපි රචනා කරමින් පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටියේ ය. මෙම වකවානුවේදී මෙරට තුළ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක නොවුණත් ඔහු තම ලිපි සඳහා විවිධ මූලාශ්‍ර සහ උපක්‍රම භාවිත කරයි. ඒ සත්‍ය සහ නිවැරදි පුවත් ජනතාව වෙත රැගෙන යාමටයි. රාජ්‍ය නිලධාරියාගේ පටන් සැකකරුවා දක්වා විවිධ තරාතිරම්වල පුද්ගලයින්ගෙන්, විවිධ ආයතනයන්ගෙන් යනාදී වශයෙන් විවිධ මූලාශ්‍ර හරහා තොරතුරු ලබා ගැනීමටත්, ලබා ගන්නා තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කරගැනීමටත් ඔහු විවිධ උපක්‍රම භාවිත කරයි. 2016 වර්ෂයේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීමත්, 2017 පෙබරවාරි මස 03 වන දින පනත ක්‍රියාත්මක වීමත් සමඟ තොරතුරු ලබා ගැනීමට හා විවිධ උපක්‍රම මගින් ලබා ගන්නා තොරතුරු තහවුරු කර ගැනීමට තරිඳු භාවිත කළේ තොරතුරු දැන ගැනීමේ පනතයි.

ඔහුගේ පළමු තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍රය යොමු කරන්නේ 2017 පෙබරවාරි මස දෙවන සතියේ දී ය. මේ වන විට ඔහු තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍ර 6000ක් පමණ යොමු කර ඇත. බොහෝ අවස්ථාවන්වලදී මෙම අයදුම්පත්‍ර හරහා තොරතුරු ලබා ගත්ත ද, ඇතැම් විටෙක මේ හරහා තොරතුරු ලැබී නොමැත. නමුත් අභියාචනා ඉදිරිපත් කර හෝ ඔහු නොලැබෙන තොරතුරු ලබා ගනී.

රතුපස්වල ජනතාව විසින් බීමට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාව විසින් දැනගත යුතු සත්‍ය හෙළි කිරීමට 2016 වර්ෂයේ දී ඔහු ‘ජනඅරගලයක දිය සලකුණ’ නමින් ග්‍රන්ථයක් ප්‍රකාශ කළේ ය. මේ කාලයේ තොරතුරු පනත ලංකාව තුළ ක්‍රියාත්මක නොවූ නිසා තොරතුරු පනත ක්‍රියාත්මක කර මාස කිහිපයක් තුළ එහි ඇතුළත් කරුණු තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍ර යොමුකරමින් තහවුරු කර ගැනීමට ඔහු කටයුතු කරයි.

ඔහුගේ ප්‍රසිද්ධම හෙළිදරව් කිරීම් වන අරණායක නාය යෑමේ සිද්ධිය, මීතොටමුල්ල කුණු කන්ද නාය යාම, පරණ කදුළු ගෑස් භාවිතය හා ප්‍රමිතියෙන් තොර කදුළු ගෑස් භාවිතය, පාස්කු ප්‍රහාරය හා ශානි අබේසේකර අත්තනෝමතික ලෙස සිරගත කිරීම, පාරිසරික වාර්තාවන් සැලකිල්ලට නොගෙන සිදු කළ උමා ඔය ව්‍යාපෘතිය, වෛද්‍ය ශාෆිගේ සිදුවීම ආදිය පිළිබඳව අනාවරණය කිරීමට ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස භාවිත කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතයි. ඇතැම්විට එකම සිදුවීමක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ දී එක් සිදුවීමක් වටා නැවත තොරතුරු ඉල්ලීමේ අයදුම්පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු විසින් ඉදිරිපත් කරයි. ගෙවා ගත නොහැකි ලෙස ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇත්තේ ව්‍යාපෘති සඳහා වන අතර එම බහුතරයක් ව්‍යාපෘති අසාර්ථක ය. මේ සියල්ල සම්බන්ධයෙන් තරිඳු අනාවරණය කරන්නේ තොරතුරු පනත හරහා ය. තොරතුරු පනත නොතිබුණා නම් මෙවැනි ආන්දෝලනාත්මක හෙළිදරව් සිදු කිරීමට තමාට නොහැකි වන බව ද තරිඳුගේ අදහසයි. එම නිසා මෙම පනත මාධ්‍යවේදියකුට භාවිත කළ හැකි හොඳම මෙවලමක් ලෙසයි, තරිඳු සලකන්නේ.

ඉන්දියාවේ ‘ශ්‍යාම්ලාල් යාදව්’ වැනි මාධ්‍යවේදීන් එක් ලිපියකට තොරතුරු ඉල්ලීම් 70, 80 පමණ සිදු කරමින් වාර්තාකරණයේ නියැලෙන නිසා ඒවා වඩාත් බලපෑම් සහගත බව තරිඳුගේ අදහසයි. තරිඳු ද එක් තොරතුරු ඉල්ලීමක් හරහා එක් ලිපියක් මගින් සිදුවීමක් පිළිබඳව වාර්තා නොකරයි. ඒ සමස්ත සිද්ධියක් ගවේෂණය කර කතාවක් ලිවීම හරහා වැඩි බලපෑමක් කළ හැකි බවට ඔහු විශ්වාස කරන නිසායි.

වසර 13ක පමණ ඔහුගේ මාධ්‍ය ජීවිතය තුළ ඔහු විසින් රචිත කිසිඳු ලිපියක් අභියෝගයට ලක් වී නැත. ඔහුගේ ලිපියක නිවැරදි කිරීම් හෝ සිදු කර නොමැති වීම ද විශේෂත්වයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීම සඳහා ඔහුගෙන් කටඋත්තර ලබා ගැනීමට පස් හය වතාවක් කැදවා ඇත. ඒ ඔහු පනත හරහා ලබාගන්නා තොරතුරු විශ්ලේෂණය කරමින් ආන්දෝලනාත්මක හෙළිදරව් සිදු කළ නිසායි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ‘ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු” යනුවෙන් තරිඳු විසින් ව්‍යවස්ථා විරෝධීව පොලිස්පති පත් කිරීමට අදාළව බලධරයින් වෙත ලිපියක් ද යොමු කරයි. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හරහා පොලිස්පතිගේ පත්වීම අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරයි. මේ සෑම කාර්යයකදීම ඔහු සත්‍ය හා නිවැරදි තොරතුරු ලබා ගැනීමට මෙවලමක් ලෙස තොරතුරු පනත භාවිත කරයි.

ඔහු ලංකාදීප පුවත්පතේ සේවය කරන කාලයේදීම එනම් 2019 වර්ෂයේදී පමණ මිතුරකු හා එක්ව MediaLK.com නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේ ය. ඒ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ජනමාධ්‍ය ජාතිවාදී අන්තවාදී කාරණා වාර්තා කරමින් සත්‍ය තොරතුරු යට ගැසූ නිසාවෙනි. මුල් කාලීනව මෙම වෙබ් අඩවිය තුළ ලිපි පළ කරන්නේ ඔහුගේ මිතුරා පමණි. ඔහු මෙම වෙබ් අඩවිය තුළ ලිපි පළ කිරීම ආරම්භ කරන්නේ කලක් ගත වූ පසුව ය. ඒ ඔහු විසින් වෛද්‍ය ශාෆි නිර්දෝශී බවත්, දේශපාලනික කාරණා මත අසත්‍ය පුවත් ප්‍රචාරය වන බවටත් හෙළි කරමින් ලංකාදීපයේ සත්‍ය ගවේෂණ විශේෂාංගය සදහා සඳහා රචනා කළ ලිපි පළ නොවීමත් සමඟ ය. තොරතුරු පනත ආදිය භාවිත කරමින් තමන් විසින් ගවේෂණය කරන ලද සත්‍ය හා නිවැරදි තොරතුරු පුවත්පත තුළ පළ නොවීමත්, තවදුරටත් එවැනි ස්ථානයක ජනමාධ්‍යවේදියකුගේ භූමිකාව තමාට ඉටු කිරීමට නොහැකි නිසාවෙනුත් තරිඳු ලංකාදීප පුවත්පතෙන් ඉවත්වීමට තීරණය කරයි. අනතුරුව තමා නිර්මාණය කළ වෙබ් අඩවියේ ඔහුගේ ලිපි පළ කිරීමට කටයුතු කරයි.

2016 – 2018 දක්වා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ධුරය හා 2019 වර්ෂයේ සිට එහි සභාපති ධුරයත් දරන තරිඳු අද වන විට සිය කණ්ඩායම සමඟින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි 100ක් පමණ ඉදිරිපත් කර ඇත. මාර්ගගත ආරක්ෂණ පනත, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශ පනත ආදී මර්දනීය පනත් සම්බන්ධයෙන් නඩු ගොනුකරමින් මෙරට පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ද ඔවුහු පෙනී සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි නිත්‍ය සැසිවාරයේ 29 වැනි රැස්වීමේදී සංවිධාන තුනක් වෙනුවෙන් තරිඳු සිදු කළ ප්‍රකාශය ද වැදගත් වේ. “ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති උද්ඝෝෂණ අතරතුරදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතුවලට මුහුණ දෙන පිරිසට එරෙහි චෝදනා ඉවත් කර ඔවුන් මුදා හරින ලෙසත්, ක්‍රියාකාරීන් අපරාධකරුවන් කරන මර්දනීය නීති ඉවත් කරන ලෙසත්, විරෝධතා අතරතුරදී පොලිසිය සහ ආරක්ෂක අංශය කළ උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු කටයුතුවලට මුහුණ දී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ චෝදනා ඉවත් කරන ලෙසත්, නතාෂා එදිරිසූරියට එරෙහි අයි. සී. සී. පී. ආර් චෝදනා ඉවත් කරන ලෙසත්” ඉල්ලා සිටියේ ය.

ඔහු පර්යේෂකයෙකු මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දේශකයෙක් ලෙස ද කටයුතු කරයි. වර්තමානය වන විට තමා විසින් ලබා ගන්නා තොරතුරු ජනතාවට වඩාත් පැහැදිලිව සහ බලපෑම්කාරී ලෙස රැගෙන යාම සඳහා නව අත්දැකීමක් ලබා ගනිමින් ඔහු වාර්තා චිත්‍රපටකරණය ද සිදු කරයි. SSP Shani නම් වාර්තා චිත්‍රපටය සඳහා ශානි අබේසේකර පිළිබඳව පර්යේෂණ කරමින්, විවිධ මූලාශ්‍ර හා තොරතුරු පනත හරහා ද තොරතුරු ලබා ගනී. SL Vlog Daily Dose තුළ පවසන ආකාරයට සම්මුඛ සාකච්ඡා 60ට ආසන්නව සිදු කරමින් ඔහු තරිඳු උඩුවරගෙදර සමඟ එක්ව එහි පිටපත රචනා කර ඇත. වෛද්‍ය ශාෆි පිළිබඳ නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයට ද ඔහු සිය අත්දැකීම් හා තොරතුරු ලබා දෙයි.

කිසිවිටෙකත් සම්මාන බලාපොරොත්තුවෙන් නොව පුරවැසියන් වෙනුවෙන් වගකීම් ඉටු කිරීම පමණක් සිය අභිලාෂය කරගන්නා තරිඳු කිසිදු සම්මානයක් සඳහා අයදුම් කර නැත. ඒ ඔහුගේ අරමුණ නිවැරදි හා සත්‍ය තොරතුරු වාර්තාකරණය පමණක් නිසාවෙනි. නමුත් ඔහුගේ මිතුරකු විසින් සම්මාන සඳහා අයදුම්පත් යොමු කිරීමෙන් 2018 වර්ෂයේදී ඔහු සම්මාන 02ක් ජයග්‍රහණය කරයි. ඒ ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා පුවත්පත් ආයතනය විසින් 2018 දී සංවිධානය කරන ලද ‘ජනමාධ්‍යකරණයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උලෙළේ දී තොරතුරු දැන ගැනීමේ පනත භාවිතයෙන් රචනා කරන ලද හොඳම ප්‍රවෘත්ති විශේෂාංගය සහ සැමට ප්‍රථමයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා වන වසරේ “ස්කූප් ඔෆ් ද ඉයර්” සම්මානය දිනා ගැනීමයි. මින් එක් සම්මානයක් ඔහු ජයග්‍රහණය කරන්නේ තොරතුරු ලබාගැනීමේ අයදුම්පත් යොමුකරමින් රචිත උතුරේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දෙදෙනෙකු පොලිසිය විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රචනා කළ ලිපියටයි. 2019 වර්ෂයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සංවිධානය කරන ලද පුරවැසි අභිමන් තොරතුරු සදහා ප්‍රවේශවීම සම්බන්ධ ජාත්‍යන්තර උත්සවයේදී සමාජ යහපත සහ මහජන අරමුණ වෙනුවෙන් තොරතුරු දැන ගැනීමේ පනත භාවිත කිරීම පිළිබඳව විශේෂ ජූරි සම්මානය ද ඔහු දිනාගනී. 2022 වර්ෂයේ දී මහනුවර මානව හිමිකම් කාර්යාලය නම් සිවිල් සංවිධානය මගින් සංවිධානය කළ සම්මාන උලෙළේ දී මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස සිදු කරන කාර්යභාරය වෙනුවෙන් ‘මානව හමිිකම් උත්තමාචාරය’ නම් සම්මානයෙන් ද ඔහු පිදුම් ලබයි.

තියුණු බුද්ධියකින් යුතුව ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කිරීම හරහා කිසිවකු නොදකින පැතිකඩ හා වංචා දූෂණ අක්‍රමිකතා ආදිය පිළිබඳව සිදු කරන හෙළිදරව් නිසා ඔහුට ජීවිත තර්ජන ද එල්ල වී ඇත. තරිඳු ජයවර්ධන එක් ලිපියක සදහන් කරන ආකාරයට ‘මා ජනමාධ්‍යවේදියකු ලෙස දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මාධ්‍ය හමු දෙකක දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් 2021 වසරේ දී අසනු ලැබූ ප්‍රශ්න දෙකකට උරණ වූ එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මට තර්ජනය කළේ ය. ආයුධ සන්නද්ධ හමුදා සාමාජිකයන් අතින් ඝාතනයට ලක්වී යැයි සැලකෙන එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට අත්වූ ඉරණම මාහට ද අත්වනු ඇති බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ ය. එසේම අනිකුත් අපරාධකරුවන්ට අත් වූ ඉරණම මට ද අත්වනු ඇතැයි දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළ අතර ඔහු එම ප්‍රකාශය කරන ලද්දේ අපරාධකරුවන් යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා පිරිස් පොලිසිය විසින් මරා දමමින් සිටි පසුබිමක දී ය’ යනුවෙන් සඳහන් කරන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ ඔහුට තිබූ ජීවිත තර්ජනය පිළිබඳවයි.

තර්ජන හමුවේ මාධ්‍යවේදීන් බොහෝ විට නිහඬ වුවත් කිසිදු තර්ජනයකින්, මිල මුදල් හෝ වෙනත් උපක්‍රම හරහා නිහඬ කිරීමට නොහැකි මාධ්‍යවේදියකු ලෙස තරිදු හදුන්වාදිය හැකි ය. ඔහු කිසි විටෙක පක්ෂග්‍රාහි නොවී ජනතාව වෙනුවෙන් සත්‍ය පමණක් වාර්තා කරයි. සෑම විටම කිසිවකු නොදකින පැතිකඩක් ඔහු සිය වාර්තාකරණයේ දී හෙළිදරව් කරයි. කිසඳු බලපෑමකින් නිහඬ කළ නොහැකි වූ තරිඳු ජයවර්ධන 2022 නිර්පාක්ෂික අරගලයේ දී පුරවැසියන් වෙනුවෙන් පෙරට ආ මාධ්‍යවේදියෙකි. පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, එක් රැස්වීමේ අයිතිය කඩවන විට බලධාරීන්ව ප්‍රශ්න කරන, පුරවැසි අයිතිවාසිකම් සහ අසාධාරණය දුටු තැන පෙනී සිටින, සත්‍ය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින තොරතුරු පනත මාධ්‍යකරණයට භාවිත කරන මෙරට ප්‍රමුඛතම ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතුරින් තරිඳු ජයවර්ධන ප්‍රමුඛයෙකි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *