තාරුණ්‍යයට අන්තර්ජාලය කළ හදියක්.

මලීෂා සන්දීපනි |

මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. “අතීත මානවයා සිය මූලික අවශ්‍යතා සන්නිවේදනය කිරීම සඳහා ශබ්ද සංඥා හා දෘශ්‍ය සංඥා යොදාගනු ලැබීය.
-සුනිල් දෑරංගල-

වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය නම් වෙනස් වීමය. එම වෙනස මිනිසාට මෙන්ම මිනිසා විසින් සොයා ගන්නා ලද තාක්ෂණයට ද පොදු වේ. වර්තමානය වන විට ඇති මෙම තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාල භාවිතයේ ශීඝ්‍ර නැග්මක් දැකිය හැකිය. එනම් වයස් පරතරයකින් තොරව තම සන්නිවේදන අරමුණු පහසු කරගැනීම සඳහා මිනිසුන් අන්තර්ජාලය භාවිත කරනු ලබයි. අන්තර්ජාලයේ ඇති මෙම අඛණ්ඩ වර්ධනයත් සමඟ අන්තර්ජාලය භාවිත කරන්නන්ට ලොව සිටින ඕනෑම පිරිසක් සමග සන්නිවේදනය කිරීමට, ජාලගත ව්‍යාපාර සිදු කිරීමට, අන්තර්ජාල අලෙවිකරණ සිදු කිරීමට පමණක් නොව අධ්‍යාපනයේ නවමු පැතිකඩ සොයා යාමට ද ඉඩකඩ ලැබී ඇත.

පුළුල් පරාසයක පැතිර පවතින මෙම අන්තර්ජාල සන්නිවේදනය අපගේ ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ බලපෑම් එල්ල කරනු ලබයි. එය යහපත් හෝ අයහපත් විය හැකිය. එනම් සන්නිවේදනයේ පහසුවත් සමග ගෝලීයකරණය වීම නිසා මිනිසා තාක්ෂණයට විවෘත වී ඇති නමුත් එය භාවිත කිරීමේදී ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් එයින් සිදුවිය හැකි හානිය පිළිබඳ ඔවුන්ට එතරම් දැනුම් තේරුම්කමක් නොමැත. එනම් අධ්‍යාපනය හදාරන කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි පරපුර දක්වා මෙය  ව්‍යාප්තව ඇති අතර ඔවුන්ගේ ඇති නොදැනුවත්භාවය හේතුවෙන් අවාසනාවකට මෙන් අන්තර්ජාලයේ මෙම වේගවත් සංවර්ධනය හමුවේ අපගේ ජීවිත ගොදුරු බවට පත්ව ඇත. මේ ඔස්සේ එල්ල කළ හැකි බලපෑම සුළුපටු නොවේ. එමගින් සයිබර් අපරාධ, සයිබර් සියදිවි නසාගැනීම්, අන්තර්ජාලයට ඇබ්බැහි වීම, සමාජ හුදකලාව, ජාතිවාදය වැනි විවිධ පැතිකඩ ඔස්සේ සමාජ බලපෑම් එල්ල ක‍රනු ලබයි.

අන්තර්ජාල භාවිතය ගත් කළ සියල්ලන්ම මෙයට  ආකර්ෂණය වන්නේ අපහසුවකින් තොරව ඉක්මනින් පිවිසීමට ඇති හැකියාව මතය. එනම් ඇතැම් මෘදුකාංග භාවිත කිරීමේ දී ඒවාට ඇතුල්විය හැක්කේ කිසියම් නීති රාමුවකට යටත්ව කොන්දේසිවලට අනුගතව අවසර ලබා ගැනීමෙන් අනතුරුවය. නමුත් අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන හෙයින් ඒ ඔස්සේ සන්නිවේදනය පහසු කරයි. මෙම සන්නිවේදන පහසුවේ කාර්යක්ෂමතාව හේතුකොටගෙන වර්තමානයේ තරුණ පිරිස් බහුලව මෙයට ඇබ්බැහි වී ඇත. එනම් මෙමගින් පෙන්වා දෙනු ලබන්නේ සන්නිවේදනයේ පහසුව මත අන්තර්ජාල භාවිතයට පරිශීලකයන් අනුගත වන බවයි.

අන්තර්ජාල භාවිතය සමඟ නිරන්තරව ගැටෙන සමාජ කණ්ඩායමක් ලෙස තරුණ පරපුර හඳුන්වා දිය හැකිය. දිනෙන් දින අලුත්වන තරුණ පරපුරේ සිතිවිලි, ආකල්ප, අදහස් සමඟ අන්තර්ජාලයේ අන්තර්ගතයන් ද වෙනස්වීමට බඳුන්වේ. වර්තමානයේ තරුණ ප්‍රජාව අන්තර්ජාලයට පිවිසීමේ පහසුවත් සමග තමන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට එය පත් කරගෙන ඇති අතර, එනම් උදෑසන දවස ආරම්භයේ සිට රාත්‍රි නින්දට යන තෙක්ම අන්තර්ජාලයත් සමඟ තොරතුරු හුවමාරු කරගනිමින් සන්නිවේදනය කරනු ලබයි. එනම් ඔවුන්ගේ දුරස්ථ සම්බන්ධතා සමීප කර ගැනීමට නව යහළු මිත්‍රයන් හඳුනා ගැනීමට පමණක් නොව මෑත කාලීනව ගත් කළ සියලු අවශ්‍යතාවන් සහ උවමනාවන් ඉටුකර ගැනීම සඳහා අන්තර්ජාලය මත පදනම් වී ඇති තත්ත්වයක් උදා වී ඇත. එනම් දියුණු වන තාක්ෂණික ලෝකයත් සමඟ අප ද සංවර්ධනය විය යුතුය. නවමු ලෙසින් ලෝකය දැකීමට නම් අලුත් අදහස් බිහිවිය යුතුයි. ඒ සඳහා මිනිසා තාක්ෂණයට සමීප විය යුතුය. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය අයහපත් ලෙස බලපෑම් එල්ල කරනු ලබයි. අන්තර්ජාලය හරහා ලබාදෙනු ලබන විවිධ අන්තර්ගතයන් හා සේවාවන් තරුණ පරපුරේ මානසික මට්ටම් වැඩිකරවනු ලබයි. අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සමජ උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුව ද ඒ හරහා තරුණ ප්‍රජාව දිනෙන් දින දුරාචාරයන්ට යොමුවීමේ ප්‍රවණතාවක් හටගෙන තිබේ.

අන්තර්ජාලය මිනිස් ජිවිතයට සම්බන්ධ වී එතරම් කාලයක් ගතවී නැතත් මිනිසාගේ සෑම ක්‍රියාවකටම නැතුවම බැරි මෙවලමක් බවට පත් වී තිබේ. එසේම මිනිස් ජීවිත සදාචාර විරෝධී ක්‍රියාවන් කෙරෙහි යොමු කරවන මාධ්‍යයක් බවට ද පත් වී හමාරය. අන්තර්ජාලය සම්බන්ධිත මිනිස් ක්‍රියාකාරීත්වයින්ගේ ධනාත්මක සහ සෘණාත්මක ප්‍රතිඵලයන් සමාජයේ ඉස්මතු වෙමින් පවති.

බොහෝවිට විවිධ තරුණියන් හා තරුණයන් අනවශ්‍ය කරදරවලට මුහුණපාන අවස්ථා අසභ්‍ය වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය වෙබ් අඩවි හරහා ද සිදුවේ. විශේෂයෙන්ම පාසල් සිසුන් තරුණ කොටස් අන්තර්ජාලය හරහා අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප නැරඹීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. වෙබ් අඩවි නැරඹීමට අමතරව වෙබ්  කැමරා උපයෝගී කරගනිමින් තරුණියන් හෝ ගණිකාවන් හා කතා කරමින් ඔවුන්ගේ නිරුවත නැරඹීමට පෙළඹී තිබේ. තව දුරටත් මෙය සිදුවනු ලබන්නේ අනාගත ලෝකයේ භාරකරුවන් බවට පත් වීමට සිටින තරුණ ප්‍රජාව අගාදයට ඇඳ දැමීමකි. බහුතර තරුණ පිරිස් අන්තර්ජාල ක්‍රියා නිසා තව දුරටත් විකෘති මනසින් සමාජ අපගමනයන්ට යොමුවෙමින් තිබේ. ‘අයහපත් දේ යටපත් කර යහපත් දේ උකහා ගනීම ඔබ, මම ඇතුළු අප සැමගේ වගකීම වේ.‘

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *