දුර ඈත අය ළං කළාට ළඟ ම අය ඈත් කරලා.

තක්ෂිලා උදයංගනි |

1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් සොයා ගත් දුරකථනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුකලෙක ජංගම දුරකථනය නම් ඒ අපූරු සන්නිවේදන මෙවලම බිහි විය. ඉතා අගනා සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකථනය බිහි වූ මුල් කාලයේ එය මිලදීගෙන භාවිත කිරීමට වත්කමක් පැවතියේ සුළු පිරිසකට පමණි. නමුත් අද වන විට ජංගම දුරකථනයක් අතෙහි නොමැති පුද්ගලයෙකු දැකීමට නොමැති තරමටම එය ලොව පුරා ප්‍රචලිත වී ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20ට මදක් වැඩි වන අතර, 2013 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ජංගම දුරකථන ප්‍රමාණය මිලියන 20ක් බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. අද වන විට මෙරට ජනගහණය මෙන් දෙගුණයක් ජංගම දුරකතන භාවිත වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙසේ ජංගම දුරකථනය ව්‍යාප්ත වී ක්‍රමක්‍රයෙන් අන්තර්ජාල තාක්ෂණය දියුණු වී ලොව පුරා මානව සබඳතා තව තවත් සමීප වූ වග බොහෝ විද්වතුන්ගේ මතය මෙන්ම අප සැවොම දන්නා කරුණකි. එය සාවද්‍ය අදහසක්, මතවාදයක් යැයි කීමට කිසිවෙකුට නොහැකි ය.

නමුත් මේ පිළිබඳ තවත් පැතිකඩකින් බලන විට ස්මාර්ට් ජංගම දුරකථනය නිසා අද වන විට ලෝකයේ මානව සබඳතා දුරස් වීමක් දක්නට ලැබේ. සමාජයේ කුඩාම ඒකකයෙන් පටන් සෑම ලොකු කුඩා සංවිධානයක් තුළම මෙම කරුණ සනාථ කරලන සාක්ෂ්‍ය හමුවේ. සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ මව, පියා සහ දරුවන් යන සියලු සාමාජිකයින් අත, අද වන විට ස්මාර්ට් ජංගම දුරකථනයක් පවතී. අතීතයේ නිවස තුළ පවුලේ සාමාජිකයන් එකට එක් වූ විට ඔවුන් සතුටු සාමීචියෙහි යෙදෙමින් බොහෝ දේ කතාබහ කරයි. දරුවන්ට තිබෙන ප්‍රශ්න, ලැබූ අත්දැකීම් මව්පියන් සමග පවසයි. තමන් ජීවිතයේ අභියෝගවලට මුහුණ දුන් ආකාරය මව්පියන් තම දරුවන් සමඟ බෙදාගනියි. එකී සතුටු සාමීචියෙහි යෙදීම තුළ මව්පියන් සහ දරුවන් අතර මෙන්ම සහෝදර සහෝදරියන් අතර ද ගොඩනැඟෙනුයේ ඉතාමත් සමීප සබඳතාවයකි.

නමුත් අද වන විට සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ සිටින සාමාජිකයින් ද එකිනෙකා හුදෙකලා ජීවිතයක් ගත කරයි.  ස්මාර්ට් ජංගම දුරකථනය අතෙහි තබාගෙන අන්තර්ජාලයෙහි සැරිසරමින් වෙන් වෙන් වශයෙන් තමන්ගේම ලෝකයක ජීවත් වන්නට හුරු වී තිබේ. දෙමාපියන්ට සහ දරුවන්ට එකට එක් වී කතා බහ කිරීමට තරම් කාලයක් නොමැත. ඔවුන්ට සමීප වීමට කාලයක් නොමැත. බොහෝ නිවෙස් වල දරුවන් කාමරයෙන් පිටතට පැමිණෙනුයේ ආහාර ගන්නා තුන් වේලට පමණි. ඉතින්  දෙමව්පියන් තම දරුවන් පෝෂණය කිරීමට, දරුවන්ට ඉඟැන්වීමට හෙලන දහඩිය කදුලු එම දරුවන් කෙසේ නම් දකීද… දෙමව්පියන්ද රැකියාව අවසන්ව නිවසට පැමිණි මොහොතේ පටන් කාලය ගත කරනුයේ ජංගම දුරකථනය සමඟ ය. දරුවන් පිළිබඳ සෙවීමට ඔවුන්ට කාලයක් නොමැති වී ඇත. එනිසා දරුවන්ද අයහපත් චර්යාවලට හුරු වීමක් සිදු වේ. පෙරපාසල් ගුරුවරියකට පුංචි දරුවන් සමඟ කතාබහ කරන විට ඔවුන් පැවසූ කරුණුවලින් අද වන විට ඇති වී පවතිනතත්ත්වය පිළිබඳ සිතට නැගුණේ කණගාටුවකි.

ටීචර්.. මං බත් කාලා ඉවර වෙනකන්ම බලන්න අම්මා ෆෝන් එකේ කාටුන් දාලා දෙනවා. කාටුන් දාලා දුන්නෙ නැත්නම් මං කන්නෙ නෑ.”

අයියා මට අකුරු කියලා දෙන්නෙ නෑ ටීචර්… හැමතිස්සෙම ෆෝන් එකේ ගේම් ගහනවා..”

තාත්තා අම්ම එක්ක රණ්ඩු වුණා ටීචර්… (ඒ ඇයි) අම්මා ෆෝන් එක ඔබ ඔබ ඉද්දි මල්ලි පාරට ගියා කියලා ටීචර්…“

මෙලෙස පවුල තුළ ආරවුල් ඇති වීමට ස්මාර්ට් ජංගම දුරකථනය අද වන විට හේතුවක් වී තිබේ. මේ අද වන විට නිවස තුළ පවතින තත්ත්වයයි.

නිවස තුළින් පටන්ගෙන සමාජයේ අනෙකුත් සෑම සංවිධානයක් තුළම පවතින තත්ත්වය මීට නොදෙවෙනි නොවේ. මිතුරු මිතුරියන් අතරද, කාර්යාලය, පන්ති කාමර ආදී සෑම ස්ථානයකම පවතිනුයේ මෙබඳුම තත්ත්වයකි. අතීතයේ ගමේ සිටින දරුවන් එකට එකතු වී සෙල්ලම් බත් උයන්නට, වත්තේ පිටියේ දුව පැන ඇවිදින්නට දැක්වූයේ පුදුමාකාර තරම් ආශාවකි. ගමේ සිටින ඉලන්දාරීන් සවසට පිට්ටනියට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන්නට බලා සිටිනුයේ විවේකයක් ලැබෙන තුරු ය. නමුත් අද වන විට මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ඇත. ඒ වෙනස් වීමට බලපෑ සාධක අතර මහා පතාක යෝධයෙකු මෙන් ස්මාර්ට් ජංගම දුරකථනය සිටී. මේ සියලු දෙනා ස්මාර්ට් ජංගම දුරකථනයේ ගොදුරක් බවට පත් වී ඇත. පරිගණක ක්‍රීඩා, යූ ටියුබ් වීඩියෝ, ෆේස්බුක් සහ වට්සැප්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ඔවුන්ගේ ලෝකය බවට පත් වී ඇත. විනෝදය බවට පත්ව ඇත.

සමාජය තුළ අද වන විට සියදිවි නසා ගැනීම් රැසක් විවිධ මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට, කියවන්නට ලැබේ. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයේ බලපෑමක් ඇතැයි කිසිවෙක් පැවසුවහොත් එය සාවද්‍ය යැයි පැවසීමට නොහැක. 2019 වසරේ බි්‍රතාන්‍යයේ නව යෞවනියක දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇයගේ පියා බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම ඇයගේ මරණයට හේතුවක් වූ බවයි. (බීබීසී සිංහල සේවය) හේතුව දැන සිටියදීත් ඔහුට තම දියණිය ඉන් වළකා ගැනීමට නොහැකි වී ඇත. මෙම මරණය පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර දක්වා ඇති අදහස් තුළින්ද අන්තර්ජාල සහිත ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක අවභාවිතය තුළ ඇති වී ඇති තත්ත්වය පැහැදිලි වේ.

හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමව්පියන් විමසිලිමත් විය යුතු යි.”

මේ ප්‍රශ්නය නිසා පවුල තුළ සාමය සමගිය නැති වෙනවා. ජීවන සබඳතා දැන් අඩු වෙලා. වැඩිහිටියොත් අන්තර්ජාලයේ තනි වෙලා. ඉස්සර එක වේලක් හරි එකට ඉදගෙන කෑවා. දැන් හැමෝගෙම ලෝකවල මේ මෙවලම් සමඟ තනි වෙලා.”

එමෙන්ම මෙම සියදිවි නසාගැනීම් වර්ධනය වීමේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරන විට මිනිසුන්ට පවතින ප්‍රශ්න කතා කිරීමට, පැවසීමට කෙනෙක් නොමැති විට ඔවුන්ගේ මනස, සිත තව තවත් ව්‍යාකූල වී සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත් වීම පුදුමයට පත් විය යුතු කාරණයක් නොවේ. එකිනෙකා ජංගම දුරකථනය තම ලෝකය කර ගනිමින් වෙන් වෙන් වශයෙන් හුදෙකලා ලෝකයන්හි ජීවත් වන විට අනෙකාට ඇහුම්කන් දීමට තරම් කාලයක් ඉතිරි නොවනු ඇත. දිනක් මිතුරියක් ඇයට පවුලේ පවතින ප්‍රශ්නයක් පිළිබඳ මා සමඟ පවසන විට ෆේස්බුක්හි වීඩියෝ නරඹමින් සිටි නිසා ඇයගේ කතාවට සාවධානව සවන් දීමට නොහැකි විය. එදින සවස ඇය තනිව හඬමින් සිටිනු දැක, හේතුව විමසූ විට ඇය පැවසුවේ “කවුරුත් මගේ ප්‍රශ්න අහන්න නෑ. මට කවුරුත් නෑ” යනුවෙනි. මා කළ වරද මට තේරුම් ගියේ එවිට ය. මෙලෙස මිතුරු කණ්ඩායම් තුළද මේ වන විට අනෙකාට ඇහුම්කන් දීමක්, අනෙකාගේ දුක සතුට තේරුම් ගැනීමක්, අනෙකාට පවතින ප්‍රශ්න ගැටලු පිළිබඳ කතා කිරීමක් දක්නට නොලැබේ. කණ්ඩායම තුළ දස දෙනෙකු සිටී නම් ඔවුන් දස දෙනා ඔවුන්ගේම ලෝක දහයක ය. ඉතින් සමීප සබඳතාවයන්, සහවේදනයක් කෙසේ නම් ගොඩනැඟෙත්ද?

වර්තමානය වන විට සැමියා සහ බිරිඳ අතර, ආදරවන්තයින් අතර පවතින සබඳතා දුරස් කරන්නටද ස්මාර්ට් ජංගම දුරකථනය සාධකයක් වී ඇත. ඔවුන්ට එකට එක් වී කතාබහ කිරීමට, තම සහකරුවාගේ සහකාරියගේ සිත් වේදනාවන්, හැඟීම්, දුක, සතුට තේරුම් ගැනීමට තරම් කාලයක් නොමැත. ඊටත් වඩා වැදගත් රාජකාරීන් ඔවුන්ට ජංගම දුරකථනය තුළ සිදු කිරීමට ඇත. තම ආදරණියන් මඟහැරී ගොසින් ය.

මේ අනුව සන්නිවේදන තාක්ෂණය දියුණු වී ස්මාර්ට් ජංගම දුරකථනය වැනි නවීන සන්නිවේදන මෙවලම් මඟින් මානව සබඳතා සමීප කරන්නට සමත් වූ බව සත්‍යයකි. නමුත් අද වන විට සමාජයේ මානව සබඳතා දුරස් කර දමන්නට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ද මානව සබඳතා සමීප කරලූ එම ස්මාර්ට් ජංගම දුරකථනයම ය. අන්තර්ජාල තාක්ෂණය සහිත ස්මාර්ට් ජංගම දුරකථනය මඟින් මානවයාට අත්වන ප්‍රතිලාභ වචනයෙන් කිව නොහැකි තරම් ය. නමුත් මිනිසුන් එය අයුතු ලෙස භාවිත කිරීම නිසා ස්මාර්ට් ජංගම දුරකථනය අද වන විට සමාජ සබඳතා බිඳ දමා, සමාජයද බිඳ දමන පිළිකාවක් බවට පත් වන තත්ත්වයට පත් වී ඇත.

එනිසා තමා සතුව පවතින ස්මාර්ට් ජංගම දුරකථනය නිසි පරිදි තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පමණක් භාවිත කිරීමට සියලු දෙනා වග බලාගත යුතු ය. එසේ නොමැතිව ඔබ ජංගම දුරකථනයේ ගොදුරක් බවට පත් නොවිය යුතු ය. ඔබව පාලනය කිරීමට ස්මාර්ට් ජංගම දුරකථනයට ඉඩ නොදිය යුතු ය. ඔබ විසින් එය පාලනය කළ යුතු ය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *