නව සන්නිවේදන තාක්ෂණය කාන්තාවට අකැප ද?

සචිනි ඉමල්ෂා |

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විසිඑක්වන සියවස තුළ ජීවත්වන මිනිසා ඩිජිටල්කරණය සමඟ අත්වැල් බැඳගෙන ඇත. Web 2.0 පරම්පරාවෙන් උරුම වූ අන්තර්ජාලය මිනිසාව අථත්‍ය ලෝකයේ බොහෝ දුර රැගෙන ගොස් හමාර ය. අථත්‍ය අවකාශය තුළ බහුලව භාවිතවන ‘සමාජ මාධ්‍ය’ මිනිසාගේ සන්නිවේදන කටයුතු වෙනුවෙන් යොදාගන්නා සුලබ මාධ්‍යක් වී ඇත.

ඒ අතර ජනප්‍රිය යෙදවුම් ලෙස FaceBook, YouTube, WhatsApp, Instagram, We Chat, TikTok, Messenger, Telegram, Snapchat පෙරමුණ ගනී. මෙරට තුළ ක්‍රියාකාරී ලෙස සමාජ මාධ්‍ය භාවිත කරනුයේ ජනගහනයෙන් 38.1% කි. මෙරට තුළ අන්තර්ජාල ව්‍යාප්තියේ ගැටලු පවතින බැවින් සමාජ මාධ්‍ය භාවිතයද තවමත් මූලික මට්ටමේ පවතියි. එවන් පසුබිමක් තුළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව (Gender) සමාජ මාධ්‍ය තුළ හැසිරීමේ අවකාශය පවතියි. එනම් ඕනෑම සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භයේදී ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විමසයි.

මෙරට ජනගහනය තුළ පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රී ජනගහනය ඉහළ අගයක් ගනු ලබයි. එහෙත් සමාජ මාධ්‍ය භාවිතයේ ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂයන් ඉහළ අගයක් ගන්නා බව පැහැදිලිව හඳුනා ගැනීමට හැකිය. මෙරට වඩාත් ප්‍රචලිතම සමාජ මාධ්‍ය යෙදවුමවන ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් 61%ක් පුරුෂයන් වන අතර කාන්තාවන් 38% පමණ වේ. ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන්නන්ගෙන් 63%ක් පුරුෂයන් වන අතර කාන්තාවන්ගේ ප්‍රමාණය 36%ක් පමණ වේ. YouTube, WhatsApp, Messenger වැනි යෙදවුම් තුළ ද පුරුෂ පාර්ෂවයේ භාවිතය කාන්තාවන්ට සාපේක්ෂව වැඩි බව හඳුනාගත හැකිය.

සමාජ මාධ්‍ය තුළ පුරුෂයාට සාපේක්ෂව කාන්තාවගේ මෙම අවම සහභාගීත්වය ඩිජිටල්කරණය කරා යන ලෝකයේ ලාංකික කාන්තාව පියවරක් පසුපසට ඇද දමන්නකි. සාම්ප්‍රදායික කාන්තා භූමිකාව තුළ ඒකාකෘතික වී ඇති කාන්තාවට සමාජ මාධ්‍ය තුළ සිදුවන සෘණාත්මක බලපෑම් බහුල වී ඇත. ප්‍රසිද්ධියේ අපහාස කිරීම, පහත්කොට සැළකීම, නොසළකා හැරීම හෝ අනවශ්‍ය ලෙස අවදානය ලබාදීම, අසභ්‍ය වචන හෝ පරුෂ වචන භාවිතය, හානි කිරීමේ අදහසින් අසත්‍ය තොරතුරු හෝ පෞද්ගලික තොරතුරු ප්‍රචාරය කිරීම, අසභ්‍ය ඡායාරූප වීඩියෝපට ප්‍රචාරය කිරීම වැනි පීඩාකාරී අවස්ථාවලට සමාජ මාධ්‍ය තුළ සැරිසරන කාන්තාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවේ. මෙවැනි පීඩාවන් පුරුෂයන් විසින් පමණක් නොව කාන්තාව විසින් ම කාන්තාවට සිදුකරන අයුරුද නිරීක්ෂණය කළ හැකිය.

මෙවැනි අහිතකර තත්ත්වයන් නිසා තාක්ෂණය මතින් ඉදිරියට යන නූතන යුගයේ කාන්තාවට තාක්ෂණික ලොවට පිවිසීමේ දී බියක් සැකයක් පසුබෑමක් ඇති කරවයි. මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ හැකි පිළියම් පිළිබඳ විමසා බැලිය යුතුය. ඒ සඳහා සමාජ මාධ්‍ය සම්බන්ද නීති රීතී ආචාරධර්ම පිළිබඳ කාන්තාව තුළ දැනුවත්භාවයක් ඇති කළ යුතුය. තාක්ෂණය පිළිබඳව ද නිසි දැනුවත්භාවයක් ඇය තුළ ඇති කළ යුතුය. එලෙසම සමාජ මාධ්‍ය තුළ කාන්තාවට අසාධාරණයක් වන විට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇය වෙනුවෙන් පෙනී සිටීමට සමාජය ආකල්පමය වශයෙන් වෙනස් කළ යුතුය.

මේ වන විටත් මෙම ඩිජිටල් අවකාශය තුළ සාර්ථකව කටයුතු කරන කාන්තාවන් හඳුනා ගත හැකිය. අධ්‍යාපන කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, එදිනෙදා කටයුතු මෙන්ම තම නිර්මාණශීලී හැකියාවන් සඳහා වේදීකාවක් ලෙස සමාජ මාධ්‍ය සාර්ථකව භාවිත කරන කාන්තාවන් ඩිජිටල්  අවකාශය තුළ දිනපතා නිරීක්ෂණය කළ හැකිය. වාර්ෂිකව සමරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වූයේ ද ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය‘ යන්නයි. ඒ තුළින් ද මතු කර දක්වන්නේ කාන්තාව තාක්ෂණික ලෝකයට පිවිසීමේ කාලීන වැදගත්කමයි. එබැවින් ඇයට නව තාක්ෂණික ලෝකය සමඟ කටයුතු කිරීමට හැකි පරිදි සමාජමාධ්‍ය ඔස්සේ වේදිකාවක් ගොඩනැංවීමට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාජයේ සහයෝගය හිමිවිය යුතුය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *