නිරෝධායනය වූ රන්මිණිතැන්න මිය ගිහින් ද?

| තිලක්ෂි උත්පලා |

දේශීය පොප් සංස්කෘතිය අවබෝධ කර ගත හැකි හොඳ ම තැනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ටෙලි ගම්මානය වන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හඳුනාගත හැකි ය. කතරගමට ආසන්නව ඉදිකර ඇති මෙම රන්මිණිතැන්න ගම්මානය තුළ මේ වන විටත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කර තිබේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුතල පහසුකම් සපයා තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. සියලු අංගයන්ගෙන් සමන්විත නවීන චිත්‍රාගාරයක්, වෙල්යායක්, පැරණි කඩමණ්ඩියක්, ගම්මානයක්, කොළඹ නගරයේ පිහිටි නිපොන් හෝටලය සහ කාගිල්ස් ගොඩනැගිල්ල වැනි පැරණි ගොඩනැගිලිවල ආකෘති වගේ ම අවශ්‍ය ලෙස ප්‍රසිද්ධ ඕනෑ ම ස්ථානයක ආකෘතියක් නිර්මාණය කරගැනීමට පහසුකම් ද එහි තිබීම විශේෂත්වයකි. ටෙලි සිනමා ගම්මානයේ රූගත කිරීම සඳහා පැමිණෙන කලාකරුවන් ඇතුළු පිරිස් සඳහා නවාතැන් සහ සනීපාරක්ෂක පහසුකම් ද මෙහි ස්ථාපිත කර තිබීමත් නවාතැන් ගන්නා ස්ථානවල ආහාරපාන සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන මුළුතැන්ගෙයක් සහ ආහාර පාන මිලදී ගත හැකි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවක් ද එහි ඇත. ඊට අමතරව ටෙලි සිනමා ගම්මානය ට පැමිණෙන අමුත්තන්ගේ වාහන නවතා තැබීම සඳහා රථගාල් කිහිපයක් ද වෙයි.

බොහෝ දේශීය රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපට සඳහා නිෂ්පාදන ස්ථානයක් වී ඇති මෙම ගම්මානය අද්විතීය නිෂ්පාදන දර්ශනයක් බවට පත් කරන්නේ එහි ඇති බොහෝ ව්‍යුහයන් නිසා ය. බොලිවුඩයේ ජනප්‍රිය ‘බොම්බේ වෙල්වට්’ චිත්‍රපටය රූගත කිරීම සඳහා රන්මිණිතැන්න භාවිත කරන ලද බැවින්, බොහෝ ව්‍යුහයන් යටත් විජිත බොම්බායට සමාන වන පරිදි ඉදිකර තිබෙනු දැකගත හැකි ය. එම ඇතැම් ව්‍යුහයන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විචාරක පැසසුමට ලක් වූ ‘යසෝදරා’ චිත්‍රපටය නිර්මාණය සඳහා  යොදා ගෙන තිබුණි. එමෙන් ම දේශීය වශයෙන් ජනාදරයට පත් වූ විජයබා කොල්ලය චිත්‍රපටය ද මෙහි නිමැවුණු විශිෂ්ටත ම ප්‍රතිඵලයක් ලෙසත් හඳුන්වා දිය හැකි ය.

මෙහි රූගත කළ සෙසු විශිෂ්ට නිර්මාණ අතර කුස පබා, පත්තිනි, ශකී, ඇවිලෙන සුළුයි, ගින්නෙන් උපන් සීතල (ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීර චරිතය පදනම් කර ගත්), නිදහසේ පියා (මහාමාන්‍ය ඩි. එස්. සේනානායක චරිතය පදනම් කර ගත්), ගෞතම ශ්‍රී සිද්ධාර්ථ, යශෝධරා, කදිර දිව්‍යරාජ, මිස්ටීරියස් ගර්ල්, ඇල්බොරාදා, ස්ටාර් ශ්‍රී ලංකා, ද වීඩියෝ ටීම්, සහ සින්ඩරෙල්ලා වැනි දේශීය චිත්‍රපටත්, ඇන්ඩම් මෙන් (ජර්මනිය), බොම්බේ වෙල්වට් (ඉන්දියාව) සහ සෝලර් එක්ලිප්ස් (පකිස්තානය) වැනි විදේශීය චිත්‍රපට ද නිෂ්පාදනය වී ඇත. ඊට අමතරව, ස්වයංජාත, අටම්පහුර, කෝරළේ මහත්තයා, දෙරණ ගමන, මුතුකැට සිහින, සෙවණැලි මායාව, රණා, කීටයා, සිහින අරන් එන්න, වෙඩි ගහ සහ අමුතු මිනිස්සු වැනි ටෙලි නාට්‍යයත්, ලහිරු පෙරේරා ගායනා කරන රතු රටකජු ගීතය, උමාරියා සිංහවංශ ගායනා කරන දිනූ දේශය රැකගනිමු රැඟුමේ ගීතය සහ යොහානි ද සිල්වා ගායනා කරන රැව්වත් දෑසින් වැනි ගීත නිර්මාණත් මෙහි නිමැවුණි.

මෙහි රූගත කළ ආසන්නත ම චිත්‍රපට රූගත කිරීම ‘භ්‍රමණය’ නම් චිත්‍රපටයේ රූගත කිරීමයි. ටෙලි සිනමා ගම්මානය තුළ මේ දිනවල ශ්‍රී ලංකාවේ පැරැණි ජන කතා පදනම් කරගත් ටෙලි නාට්‍ය මාලාවක් ද රූගත කරමින් තිබේ. පසුගිය වසරේ ඉන්දියානු චිත්‍රපටයක් රූ ගත කිරීම සඳහා රන්මිණිතැන්න තෝරා ගෙන තිබුණත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි රූගත කිරීම් වෙනත් රටක සිදු කිරීමට එහි නිෂ්පාදකයන් තීරණය කර තිබිණි. තවත් විදේශීය නිර්මාණ කිහිපයක් ඉදිරි කාලයේ දී මෙහි රූගත කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

නිර්මාණ කොපමණ ප්‍රමාණයක් සිදු වී ඇතත් අක්කර 235 ක භූමියක මිලියන 1500ක් වැනි අතිවිශාල මුදලක් වැයකර ඉදිකළ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බවට විවිධ මතිමතාන්තර පැතිර යමින් තිබේ. පසුගිය වසරේ සිට අද දක්වා මෙහි රූගත කළ ටෙලි නාට්‍ය හා සිනමා පට ඉතා ම අල්ප ගණනකි. මෙරට ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ පරිණතිය උදෙසා මීට දශකයකට පෙර විවෘත වූ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති වීම සතුටුදායක වුවත් නිෂ්පාදකයෝ පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකාව වැනි ස්වභාවික දර්ශන තලවලින් අනූන මේ රටට, මෙවන් දර්ශන තල ඇතුළත් ගම්මානයක් සකස් කිරීම ප්‍රායෝගික නොවන බවයි. බොහෝ කලා නිර්මාණ කටයුතු කොළඹ කේන්ද්‍රීයව සිදුවන බැවින් රූගත කිරීම් සඳහා නිතර හම්බන්තොටට ගමන් කිරීමේ අපහසුතාවයත් එහි අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වශයෙන් හුවා දැක්වීම රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය තව තවත් වල් බිහි වන්නට හේතුවක් ලෙස පෙනෙයි.

කෙසේ නමුත් වර්තමාන ආර්ථික අර්බුද තත්ත්ව හමුවේ ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රය තරමක් පසුබෑමකට ලක්වී ඇති කාලයක රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සැලකිය යුතු ආදායමක් උපයන බවට වාර්තා වෙයි. ටෙලි සිනමා ගම්මානය තුළ වසරකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රූගත කිරීම් පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සිදුවන අතර ම, එහි ආරම්භයේ පටන් මේ දක්වා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවක් රූගත කර ඇත. 2010 සිට 2018 දක්වා කාලය තුළ ටෙලිනාට්‍ය 19 ක් සහ සිනමා නිර්මාණ 14 ක් මෙම පරිශ්‍රයේ රූගත කර ඇත.  මංගල ඡායාරූපකරණය වැනි කටයුතු සඳහා ද එහි පහසුකම් සලසා තිබීමත් තවත් එක් විශේෂත්වයකි.

අමාත්‍යංශයක අධීක්ෂණය යටතේ පවතින මෙම ටෙලි සිනමා ගම්මානය ව්‍යාපාරික වශයෙන් ලාභ ඉපයීමේ ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සංස්ථාපිත ආයතනයක් බවට පත් කිරීම පිළිබඳ ව ද මේ වන විට අවධානය යොමු වී ඇත. ඒ සඳහා පළමු පියවර ලෙස පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කර මේ වන විට නීති කෙටුම්පත් සම්පාදනය සඳහා යොමු කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කර තිබේ. සංස්ථාපිත ආයතනයක් බවට පත් කිරීමෙන් අනතුරු ව මෙහි කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය නොවනු ඇති බවත් අමාත්‍යංශයේ මතය වේ.

2010 වසරේ සිට වරින් වර අමාත්‍යංශ කිහිපයක් යටතේ පැවති රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය වර්තමානය වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ජාතික උරුම අංශය යටතේ පාලනය වේ. 2020 වසරේ ඇති වූ කොවිඩ්-19 වසංගත තත්ත්වය සමඟ එය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ද යොදා ගැනුණත් මේ වන විට එහි රූගත කිරීම් නැවත ආරම්භ කර තිබීමත් සතුටුදායක වෙයි. මෙම ගම්මානයට පැමිණෙන ඕනෑම අමුත්තෙකුට දේශීය චිත්‍රපට කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය, වසර ගණනාවක් තිස්සේ එය වර්ධනය වී ඇති ආකාරය සහ නුදුරු අනාගතයේ දී එය කෙසේ විය හැකි ද යන්න පිළිබඳ වටිනා දැනුමක් ලබා ගැනීමට මහජනයා වෙනුවෙන් විවෘතව තැබීම දැකගත හැකි වීම ද මෙහි තවත් එක් සුවිශේෂීත්වයකි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *