“නෝ මැන්ස් ලැන්ඩ්”

සුදේශ් හසංග අබේනායක |

“යුද්ධය යනු භාෂාව අසමත් වූ විට සිදුවන දෙයකි” මාර්ක් ට්වේන් එලෙස පවසයි. සත්‍යයකි, එය සන්නිවේදනයේ ගැටුම් අවම කිරිමට මග පාදනු ලබයි. නිවැරදි යහ සන්නිවේදනයක් නොවූ තැන මහත් ඛේදවාචකයක් ඉතිරි විමටද ඉඩ ඇත. “නෝ මැන්ස් ලැන්ඩ්” චිත්‍රපටය මගින් යුද්ධයේ අදුරු පැතිකඩ කිහිපයක්ම ප්‍රේක්ෂකයා හමුවේ තබයි. අධ්‍යක්ෂවරයා මෙම චිත්‍රපටය යුධ විරෝධි චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර ඇත. 2001 වසරේ සැප්තැම්බර් 19 වනදා ප්‍රංශයේදි මංගල දර්ශනයෙන් ප්‍රදර්ශනය කළ නෝ මැන්ස් ලැන්ඩ් 2002 වර්ෂයේදි වසරේ හොදම විදේශිය භාෂා චිත්‍රපටය සදහා ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදි. මෙම චිත්‍රපටය 2001 වසරේ  බොස්නියානු යුද්ධය සන්දර්භයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර බොස්නියාව, හර්සගොවිනා, ස්ලෝවේනියාව, ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, සහ එක්සත් රාජධානියේ සමාගම් අතර සම නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය විය. මෙම චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය බොස්නියානු ලේඛක හා අධ්‍යක්ෂ ඩානිස් ටානොවේච් විසින් ය. එමෙන්ම 2001 වසරේදි කාන්ස් චිත්‍රපට උලළේ හොදම තිර රචනයට හිමි සම්මානයද දිනා ගන්නා ලදි.

1990 ගණන් වල යුගොස්ලාවියානු යුද්ධය කේන්ද්‍ර කර ගනිමින් 1933 කාලයේදී බොස්නියානු – සර්බියානු යුධ ගැටුම සන්දර්භය කරගෙන මෙම චිත්‍රපටයේ තිර රචනය ලිය වේ. එම යුද්ධය අතරතුරේ දී බොස්නියානු හා සර්බියානු යුධ සිමාව තුළ අධික මිදුම සහිත තත්ත්වයක් ඇති වීම නිසා බොස්නියානු සොල්දාදුවන් පිරිසක් යුද භූමිය තුළ අතරමං විමත් සමග ඇති වන කථා ගලා යාමක් මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වයි. ඔවුහු ගමන්ගත් තැනම  ඉඳගෙන උදෑසන වන තෙක් බලා සිටියෝය. උදෑසන හිරු උදාවත්ම සර්බියන් සොල්දාදුවන් එල්ල කරන වෙඩි ප්‍රහාර හමුවේ බොස්නියානු සොල්දාදුවන් පසුබෑමේ දී වෙඩි ප්‍රහාරවලට ලක්ව ඔහුන් මිය යයි. එහිදී චිත්‍රපටයේ කතා නායකයකු වන ‘කිකී’ නම් බොස්නියානු සෙබලා වෙඩි ප්‍රහාරයක් සමග යුද භූමිය මධ්‍යයේ ඇති අගලකට වැටෙයි. ඔහුගේ ජීවිතය ඉන් ගැලවෙන අතර ඔහුගේ සොහොයුරා ද අගල අසළම වෙඩි වැදී වැටී සිටියේය . ‘කිකි’ මේ සිදුවීම හමුවේ තම ජීවිතය ගලවා ගැනීම සඳහා අගල හරහා ගමන් ගෙන ආරක්ෂිත භූමියකට යා හැකිදැයි සොයා බැලුවද එය අසාර්ථක උත්සාහයක් විය. මේ අතර සර්බියානු කදවුරේ උසස් හමුදා නිලධාරියාගේ අණ පරිදි සර්බියන් සොල්දාදුවන් දෙදෙනකු මිය ගිය බොස්නියන් හමුදා භටයන් සෝදිසි කිරීම සඳහා පැමිණේ. ඔවුන් අගලට පිවිසෙත්ම කිකී වහාම තමා අසළ තිබූ අගල තුළ හාරා ඇති කුටියක් තුළට ගොස් සැඟවේ.නමුත් පසෙක තබා තිබු තම තුවක්කුව ගැනිම සදහා ඔහුට කාලයක් නොවීය. සර්බියානු සොල්දාදුවන් දෙදෙනා එම තුවක්කුව දුටුව ද එය මර උගුලක් යයි සිතා එය පසෙකලා අගල සෝදිසි කිරීම සඳහා පිටව යයි. පසුව සර්බියානු සොල්දාදුවන් දෙදෙනා අවට සියල්ල සෝදිසි කර “සේරා” (cera) එනම් කිකිගේ සහෝදරයාගේ සිරුර ගෙනැවිත් ඔහුගේ සිරුර යට බෝම්බයක් අටවයි. ඔහුගේ සිරුර චලනය වී බෝම්බය ට යොදා ඇති බර ඉවත් වූ වහාම එය පිපිරී අවට සිටින බොහෝ දෙනෙක්ගේ ජීවිත විනාශ කිරීමට එයට හැකිවිය. සර්බියන් හමුදා සොල්දාදුවා මෙය භාවිතා කළේ බොස්නියන් හමුදා සොල්දාදුවන්ගේ උදව්වට පැමිණෙන සොල්දාදුවන්ට මර උගුලක් වශයෙනි. මේ අතර දී සර්බියන් සොල්දාදුවන් දෙදෙනාගෙන් එක් අයකු වන ‘නීනෝ’ පෙරදී තමන් දුටු තුවක්කුව එම ස්ථානයේ නොමැති බව දකියි. මන්දයත් කිකි විසින් සොල්දාදුවන් දෙදෙනා සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ වහාම තම තුවක්කුව තමා සතු කර ගැනීමට කටයුතු කර තිබිණි. නිනෝගේ  අවධානයත් සමග ඔවුන් ක්‍රියාත්මක වන්නට පෙර කිකි සැඟව සිටි තැනින් පැමිණ සෙබළුන් දෙදෙනාට වෙඩි තබයි. එහිදී නීනෝගේ උදරයට වෙඩි වැදුණු අතර අනෙක් සෙබලා මිය යයි. කීකි විසින් නිනෝ හට ජීවිත දානය ලබා දීමත් සමඟ කතාවේ හැරවුම් ලක්ෂය ආරම්භ වේ.

චිත්‍රපටය තුළ බොස්නියාව සහ සර්බියාව අතර යුධමය තත්ත්වය කිකී සහ නීනෝගේ චරිත වල ප්‍රතිරූපණය කිරීමට අධ්‍යක්ෂකවරයා මෙහිදී සමත් වේ.මොවුන් දෙදෙනා තම කඳුවුරු වෙත ගියහොත් යුද භූමියේ දී වෙඩි ප්‍රහාරයට ලක්වී මිය යාමට සිදුවේ.  මෙම අවස්ථාවේදී කිකි විසින් නිනෝගේ හමුදා ඇදුම ගලවා දමා ඔහුගේ යට කලිසම පිටින් සුදු බැනියම ඒ මේ අත වනමින් අගල වටේ යාමට සලස්වයි. නිනෝ එම කාර්යය කරන තෙක් කිකි තුවක්කුව ඔහු වෙත එල්ල කරමින් බලා සිටී සිටි. මේ අතර බොස්නියානු කදවුර සහ සර්බියානු කඳවුරු මේ සිදුවීම දකී. නමුත් තමනට අයත් සොල්දාදුවෙක් ද යන්න ඔවුන්ට හඳුනා ගැනීමට නොහැකි වේ. මන්ද යත් ඔහුගේ යටකලිසන් ඔහුගේ ජාතිය කිව නොහැකි බැවින් ය. පහත සංවාදය තුල යුද්ධ  සෙබලාගේ නිරුවත පැහැදිලිව පෙනියයි.

සෙබලා 1- What the hell’s that?

සෙබලා 2– is he ours?

සෙබලා 1 – it’s not written on his boxers, call the officer.

මේ සිදුවීමෙන් පසු සර්බියානු සහ බොස්නියානු කඳවුරුවලින් අගල දෙසට කාල තුවක්කු පහර එල්ල කරයි. ඒ මේ නන්නාදුනන සෙබලා මරා දැමීම සඳහාය. යුද්ධයේ ස්වභාවය එයයි . යුද්ධය ලොව මානුෂිය කිසිදු මිනිසෙකු අනුමත නොකරයි. මේ කාලතුවක්කු ප්‍රහාර හමුවේ අපූරු සිදුවීමක් සිදු වේ. එනම් කිකී සහ නිනෝ විසින්  “යුද්ධය ආරම්භ කළේ කවුද?” යන පැනයට පිළිතුරක් නොමැති පිළිතුරක් සෙවීමයි.  යුද්ධය ආරම්භ කළේ කුමන පාර්ශවයේ පිළිතුර අවසානයේ දී රැඳී පවතින්නේ තුවක්කුව එල්ල වන දිශාවේ පාර්ශවයටයි. මේ අවස්ථාවේදී කිකී විසින් නිනෝට තුවක්කුව එල්ල කරමින් සර්බියානු පාර්ශ්වය යුද්ධය ආරම්භ කළ බවට ප්‍රකාශ ගනී. මේ ආකාරයටම චිත්‍රපටයේ තවත් අවස්ථාවකදී නිනෝ විසින් කිකිට තුවක්කු එල්ල කරමින් බොස්නියානු පාර්ශ්වය විසින් යුද්ධය ආරම්භ කළ බවට ප්‍රකාශ ගනී.අඟලෙන් බේරී තම ජීවිතය බේරාගනු වෙනුවට සොල්දාදුවන් දෙදෙනා යුද්ධය ආරම්භ කළේ කවුදැයි යන තර්කයට හසු ව සිටී. එය නිරුත්තර ප්‍රශ්නයකි.

කාල තුවක්කු වෙඩි ප්‍රහාර අවසන් වූ පසු කිකී සහ නිනොට තවත් නොසිතූ සිදුවීමකට මුහුණ දී එනම් මෙතෙක් මළකඳක් ව සිටි සේරා ගේ අවදි වීමයි.සේරා සිහිසුන්ව සිටි ඇති අතර ඔහුට සිහිය පැමිණියද කිකි විසින් වහාම සේරාට නොසෙල් වී සිටීමට උපදෙස් දෙයි.අවාසනාව නම් මෙම බොම්බය නිශ්ක්‍රිය කිරීමට නිනෝට නොහැකිය .මේ නිසා සේරා ට එලෙසම වැතිර සිටීමට සිදුවේ. මේ අතර කිකී සහ නිනෝ අතර බහින්බස් වීම් සහ විවිධ ගැටුම් අවස්ථා වර්ධනය වේ.තම කදවුරේ පිහිට ලබාගැනිම සදහා දෙදෙනාම තම හමුදා වස්ත්‍ර ගලවා යට ඇඳුම් පිටින් අගලෙන් පිටතට පැමිණ සුදු බැනියම හා සුදු රෙදි කැබැල්ලක් තම කඳවුරු වෙත පෙනෙන සේ ඒ මේ අත වනයි. මේ සිදුවීමත් සමග සර්බියානු සහ බොස්නියානු හමුදා කඳවුරු ද්විත්වයට ම අගලේ සිදුවන සිදුවිම පිළිබද UNPROFOR හි අවධානය යොමු කිරිමට සිදුවේ. UNPROFOR යනු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක බලකායයි. 1992 පෙබරවාරි මාසයේදී මෙම බළකාය පිහිටුවන ලද අතර එක්සත් ජාතීන්ගේ පළමු සාමසාධක හමුදාව ලෙස ද හැඳින්වේ. චිත්‍රපටියේ බොස්නියානු හා සර්බියානු යුද සන්දර්භයේදී UNPROFOR හි කාර්යය වූයේ යුද්ධය නිරීක්ෂණය කිරීම හා සාමය හා යුද්ධයට මැදිවන්නන් ගලවා ගැනීමයි. චිත්‍රපටය තුළදි අධ්‍යක්ෂවරයා UNPROFORහි යුද්ධය සදහා කළ දායකත්වය දැඩිව විවේචනය කරයි. කිකී සහ නිරෝගේ ක්‍රියාවෙන් පසු  UNPROFOR හට බොස්නියානු හා සර්බියානු හමුදා කඳවුරුවලින් ඒ පිළිබද මැදිහත්විමට ඉල්ලීමක් සිදු කළද යුද භූමිය තුළ නිරීක්ෂකයකුගේ කාර්යය ඉෂ්ට කරමින් සිටී UNPROFOR කඳවුරට තවදුරටත් නියෝග කරනු ලැබුවේ ඉහළ අවසරය එන තෙක් රැඳී සිටින ලෙසයි. නමුත් එම කඳවුරේ සිටි සාජන් මාර්චන්ඩ් එම අණ නොතකා අගලේ සිටින සෙබළුන් දෙදෙනාට උපකාර කිරීමට උත්සාහ ගනී. ඔහු අගල වෙත ගොස් සෙබලුන් ගලවා ගැනීමට සැරසුන ද ඉහළ නියෝග අනුව නැවත උදව් රැගෙන එන පොරොන්දුව මත ඔහු නැවත තම කඳවුර වෙත බලා ඒමට පිටත් වේ.

සාජන් මාර්චන්ඩ් ඇතුළු පිරිස නැවත කදවුර වෙත යන අතරතුරේ දී ඔවුනට ඉංග්‍රීසි මාධ්‍යවේදිනියක හමුවේ. මේ අවස්ථාවේදී ඇය යුද්ධය පිළිබඳ අලුත් තොරතුරු සොයමින් යමින් සිටියාය. ඇයට මෙම සිදුවීම ඉතාමත් වටිනා මූලාශ්‍රයකි. ඇයගේ මාධ්‍යමය කාර්ය හමුවේ අවසානයේ දී  UNPROFOR හට බෝම්බ නිෂ්ක්‍රිය කරන්නෙකු හා සිරවි සිටින හමුදා නිලධාරීන් බේරා ගැනීම සදහා කණ්ඩායමක් අගල වෙත යැවිමට සිදුවේ. මේ අතර කිකී සහ නීරෝ අතර කතාබහේ දී ඔවුන් දෙදෙනාම එකම ගැහැනු ළමයෙකු දැන සිටි ඇති බවද දැන ගනී . එය දෙදෙනා අතර ඇති අමනාපකම දියුණු කිරීමට ද කිරීමට ද සමත් වේ.

චිත්‍රපටය අවසානයේ දී ඉතා විශාල මාධ්‍ය මැදිහත්වීමකින් සහ UNPROFOR හි මැදිහත්වීමක්  තිබුණද  අවසානයේ දී කිකී සහ නිරෝගී නොනිමෙනා වෛරය හමුවේ කිකී විසින් නිනෝට වෙඩි තබන අතර  සාමසාධක භටයකු අතින් වෙඩි ප්‍රහාරයට ලක්ව කිකි මිය යයි.

සේරා අගල තුළ වැතිර සිටි.  එය නිෂ්ක්‍රීය කිරීමට නොහැකි බිම් බෝම්බයකි.  මේ තුළ යුද්ධයේ අඳුරු පැතිකඩ ප්‍රේක්ෂකයාට ජනිත කරවීමට අධක්ෂකවරයා සමත්ව ඇත. එනම් සේරා අගල තුළ අතහැර සියලු දෙනා එම ස්ථානයෙන් පිටව යයි. මාධ්‍ය නාටකය ද අවසන් ය. සේරාගේ චලනයත් සමග බෝම්බය පුපුරා යන නිසා එම සාක්ෂි මකා දැමීමට  UNPROFORහි අණ දෙන නිලධාරියා විසින් බොස්නියානු හා සර්බියානු කඳවුරු දෙකටම ව්‍යාජ තොරතුරු ලබා දෙයි. එනම් එක් එක් පාර්ශවයන් විසින් අනුමාන කළ හැකි කාලතුවක්කු ප්‍රහාර අගල වෙත එල්ල වේ යැයි ඔහු විශ්වාස කරන බවයි. චිත්‍රපටය අවසානයේ දී ඛේදනීයම ඉරණම අත් වන්නේ සේරා හටය. ඔහුගේ හඬ නිහඬය අගල තුළ ඔහු තනිවේ. මරණය ඉදිරියේ ඔහු නොසැලී නිසොල්මනේ වැතිර සිටි. අධ්‍යක්ෂකවරයා එය මත ප්‍රේක්ෂකයා යුද්ධය කෙරෙහි සානුකම්පිත කරවයි.

මෙය වූ කලී යුද්ධය ඇති නොවිය යුතුය. එය මහත් ඛේදවාචකයකි. එක් අතකින් යුද්ධය යනු ව්‍යාපාරයකි. ලාභ ලබන්නෝ ආයුධවලින් ද ඖෂධ වලින්ද ලාභ ලබති. සිවිල් වැසියෝ මැරෙති. යුධ සෙබළු යුද වදිති. රොනල්ඩ් රේගන් ගේ ප්‍රකාශය එය තහවුරු කරවයි. එනම් මිනිසුන් යුද්ධ කරන්නේ නැත ආණ්ඩුව එය කරති සත්‍යයෙන්ම චිත්‍රපටයට අනුව කිකී හෝ නීනෝ යුද්ධය ආරම්භ වූ හේතුවවත් නොදනී ඔවුන් අණ පරිදි යුද වදිති.

රටක සිව්වන ආණ්ඩුව වන්නේ මාධ්‍යය යනුවෙන් හැදින්විමක් ඇත. මාධ්‍ය මගින් මූලික වශයෙන් අප තොරතුරු ලබා ගනී. යුද්ධයක් හමුවේ මාධ්‍යයට ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරුව මෙන්ම තොරතුරු වාර්තා කිරීමේ වගකීම ද වැඩි වශයෙන් පැවරේ. ඇතැම් විට මාධ්‍ය ලබාදෙන තොරතුරු වඩාත් විචාරශීලීව තෝරා බේරා ගෙන ලබාගැනීමට ඉතා අවශ්‍ය බව වත්මනේ දී පවා වැටහේ. මන්දයත් මාධ්‍ය ජනමතය සැකසීමේ ප්‍රධාන යාන්ත්‍රණයක් බැවින් මාධ්‍යයට තමන්ට රිසි සේ සත්‍ය හෝ අසත්‍ය වේවා පුවත් මැවීමේ ගුණය ඇත්තේය. යුද්ධයකදි යුද්ධය පිළිබඳ තොරතුරු සාමාන්‍ය ජනයා දකින්නේ මාධ්‍ය මඟිනි. එනයින් ඔවුහු එම තොරතුරු විශ්වාස කරති. ඉරාකය සහ ඇමරිකාව අතර ගැටුමේදී සදාම් හුසේන්ගේ ඝාතනය දක්වාම මාධ්‍ය විසින් එම යුද්ධය මෙහෙයවීම කළ ආකාරය මෙහිදි සාකච්ඡාවට ගත යුතුමය. මාධ්‍යයන්ට යම් ආචාර ධර්ම පද්ධතියක් තිබේ. ලංකාවේ නම් අවාසනාවකට ආචාරධර්ම යන වචනය පවා මාධ්‍යයට අමතක වී ගොස්ය. කෙසේ වෙතත් යුධ සන්දර්භයේදී මාධ්‍ය ආචාරධර්ම රැකීම ඉතා වැදගත්ය. යුද්ධය එලෙසම ඇති සැටියෙන් පෙන්වීමට වඩා බොහෝ විට පෙරහන් වලට බඳුන් වී දොරටුපාලනයකින් යුක්තව පණිවිඩ ජනමාධ්‍යයෙන් ගමන් ගන්නා බව මාධ්‍ය අධ්‍යනයේ දී අපට වැටහේ. ඇතැම් විට මාධ්‍ය හිමිකාරීත්වය දැකීමට කැමති අදහස අප වෙත සම්ප්‍රේෂණය කරවීම මාධ්‍යයන් බොහෝවිට පසුබට නොවෙති. මේ සම්බන්ධව ගල්ෆ් යුද්ධය පිළිබඳ සමාලෝචනයක යෙදෙන විද්වතෙකු පෙන්වා දී ඇත්තේ ගල්ෆ් යුද්ධය සිදුවූයේ යුද පිටියට තුළට වඩා රූපවාහිනි නිෂ්පාදනාගාර තුළ‘ බවයි.

මාධ්‍යයේ වත්මන් තත්ත්වය විමසීමේදි යුක්රේන – රුසියන් යුධ තත්ත්වය තුළ ද මාධ්‍ය භූමිකාව බොහෝ විවේචනයට ලක්වන්නක් වේ. ඉතිහාසය විවිධ ස්වරූපයන්ගෙන් නැවත නැවත ක්‍රියාත්මක වේ. යුක්රේන- රුසියා යුද්ධය “තොරතුරු යුද්ධයක්” ලෙස ද ඇතැම් විද්වතුන් හඳුන්වා දෙයි. එක්තරා අවස්ථාවකදී යුක්රේන අග්‍රාමාත්‍ය  ඩෙනිස් ෂ්මිහාල් තම ෆේස්බුක්හි වීඩියෝව මෙලෙස සඳහන් කර තිබිණි.

අපට එරෙහිව දියත් කරන යුද්ධය සොල්දාදුවන් සහ ආයුධ හරහා පමණක් සිදු වන්නක් නොවෙයි…….. ඒවායින් වඩාත්ම භයානක දේ තමයි වැරදි තොරතුරු සහ භීතිය අවුලන එක…”

ව්‍යාජ තොරතුරු යන්න තුළ යුද්ධය ඉතා නරක අතට හැරවිය හැකිය. එමෙන්ම මාධ්‍යවේදීන්ගේ  හැසිරීමද දැඩි වශයෙන් ඒ ඒ මාධ්‍යයන්ගේ ග්‍රාහකයන් වෙත බලපානු ලබයි. විවිධ බරපතළ ප්‍රකාශ කරමින් පුවත් මවන්නෙක් වන ජනප්‍රිය ප්‍රවෘත්ති වැඩසටහනක් වන වෙස්ට් නෙඩෙලිහි  මාධ්‍යවේදී දිමිත්‍රි කීසල්යෝව්ගේ වැඩසටහන් මෙහෙයවීම පිළිබඳව දැඩි විවේචනයක් යුක්රේන-රුසියා යුද වාර්තාකරණය තුළ දී දැකගත හැකි ය. ඔහු  අනවශ්‍ය ලෙස ගැටුම් මවන ලෙස තම වැඩසටහන් ඉදිරිපත් කරන බව විද්වත්හු විවේචනය කරති. මේ ආකාරයට මාධ්‍යවේදියාගේ සැබෑ කාර්යභාරය කුමක්ද මාධ්‍යයේ ප්‍රවෘත්තියක දිශානතිය එල්ල විය යුත්තේ කොයිබටද යන්න විමසීම වැදගත් වේ.

“නෝ මැන්ස් ලැන්ඩ්” චිත්‍රපටය තුළ ගෙන එන මාධ්‍ය භූමිකාව විචාරයට ලක් කිරීමේදී සාධනීය මෙන්ම නිශේධනීය කාරණා බොහෝ සාකච්ඡාවට බඳුන් කළ හැකිමුත්  විශේෂ කාරණා කිහිපයක් මතු කර දැක්වීම මෙහි දී වැදගත් වේ.

චිත්‍රපටයේ ප්‍රධාන ජනමාධ්‍යවේදනිය වන ජෙනි ලිවින්ග්ස්ටන්  කාන්තාවක් ලෙස යුද භූමිය ජය ගැනීම ඉතා විශේෂ කරුණකි.එක්තරා ලෙසක අධ්‍යක්ෂකවරයා ජෙනි තුලින් මහත් ජනමාධ්‍ය භුමිකාවම නිරුපණය කිරිමට උත්සහ ගෙන ඇත. චිත්‍රපටය තුළ සිදුවිම් විමසන කල්හි මාධ්‍යවේදනියක් ලෙස ඇයගේ කාර්යභාරය කෙරෙහි ඇය කොතරම් සාධාරණද යන්න ප්‍රශ්නකාරී වේ. ඇය තොරතුරු පිපාසයෙන් තොරතුරු සොයා යමින් ගවේෂණශීලී මාධ්‍ය කාර්යය ඉතා සීරුවෙන් තම මාධ්‍ය කණ්ඩායමත් සමඟ කරගෙන යන්නීය. ඒ අතර මේ අගලක සිටින සෙබළුන් ගේ පුවත ඇය තම ප්‍රධාන වාර්තාව කර ගනී. ජෙනීගේ මේ මාධ්‍යමය මැදිහත්වීම හමුවේ ලොව මාධ්‍ය මේ සිදුවීම ඉතා විශාල ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීම ආරම්භ කළෝය. UNPROFOR හට ගලවාගැනීමේ භට කණ්ඩායමක් යුද සීමාව තුළට එවීමට පවා බල කරනු ලැබුවේ මෙහෙයවනු ලැබුයේ ජෙනීගේ වාර්තා කිරීම හමුවේ වීම විශේෂ කරුණකි. ජෙනි තුළ මාධ්‍යවේදිනියක් තුළ තිබිය යුතු පුවත් ඉව, නිරීක්ෂණශීලී බව, සුහද බව, ස්ථිරතාව, උපායශීලී බව, අපක්ෂපාතී බව, විචක්ෂණශීලී බව ආදී කාරණා මනාව චරිතය තුළ අධ්‍යක්ෂවරයා විසින් හැඩ ගස්වා ඇත.

ඇය බොහෝ විට තම වාර්තාකරණය තුළ සිටින සියලු  පාර්ශ්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරනු අපට දැකගත හැකිය. එමෙන්ම ඇය UNPROFOR හි ඉහළම නිලධාරියාව පවා සෘජුව ප්‍රශ්න කිරීමට පසුබට නොවෙයි. මාධ්‍යවේදිනියක් ලෙස තොරතුරු පසුපස හඹා යෑම ඇය මනාව ඉතා කැමැත්තෙන් ඉෂ්ට කරන්නීය. යුද භූමියේ අනතුරුදායක බව පවා නොසිතා ඇය තම මාධ්‍ය කාර්යය කිරීමට උත්සාහ ගන්නා බව චිත්‍රපටය තුළ පෙන්වා දී ඇත. චිත්‍රපටයේ එක් අවස්ථාවක දී ඇය UNPROFOR හි අවසරයකින් තොරව ඔවුන්ගේ ගුවන් විදුලි සංඥා පණිවිඩ වලට ඇහුම්කන් දී ඒවා වාර්තාකරණයේ නියැලීමට ද සූදානමින් සිටි. එය එක්තරා ලෙසකින් නිශේධනීය කාරණාවක් වුවද ගවේෂණශීලී පුවත් වාර්තාකරණයේ දී ඇය ඉතා සූක්ෂම මාධ්‍යවේදිනියකගේ භූමිකාව ඉටුකරමින් පුවත් සොයමින් සිටි. නමුත් ඇයගේ රහස්‍ය  ඇහුම්කන් දීම සාධාරණද යන්න විමසිය යුතුය. මන්දයත් ලෝකයේ මෙලෙස රහස්‍යලෙස පණිවිඩ වලට ඇහුම්කන් දීම නිසා ලෝක බලවතුන්ගේ ජීවිත හානි පවා සිදු වී ඇති හෙයිනි. වොටගේට් සිදුවිම ද අනෙක් ආකාරයෙන් විමසිය යුතුවේ.

එක්තරා ලෙසක මාධ්‍යවේදිනියක් හෝ මාධ්‍යවේදියෙක් ලෙස ගවේශණාත්මක වාර්තාකරණයේ ගැඹුරු ආශාවක් ඇති විය හැකිය. ලංකාවේ යුද වාර්තාකරණය තුළ මාධ්‍ය වාර්තාකරණයේ නියැලුණු නාමිනි විජේදාස මහත්මියගේ පහත ප්‍රකාශය විමසීමෙන් මාධ්‍යවේදිනියක් ලෙස මාධ්‍ය ගවේෂණශීලි ව වාර්තාකරණයෙන් ඇය ලැබූ තෘප්තිය පිළිබඳව සාක්ෂි හමුවේ.

ගැටුම් වාර්තාකරණයේ මට එක්තරා ආකාරයක ආකර්ෂණයක් තිබේ. අනතුරුදායක ස්ථානවලට යන විට දැනෙන තියුණු හැඟීම, ඇසිය යුතු කතාවක් පැවසීමේ දී ඇතිවන, මාධ්‍යවේදිනියකගේ දෑස් තුළින් යුද්ධයේ බියකරු සත්‍ය මහජනයාට දැකීමට සැලැස්වීමෙන් ඇතිවන ගැඹුරු තෘප්තිමත් හැඟීම මීට හේතු විය හැකිය

ජෙනීගේ මාධ්‍ය වාර්තාකරණය තුළින් හඳුනාගත හැකි කාරණාවක් වනුයේ ඉතා සුළු සිදුවීමක් පවා මාධ්‍යයට ඉතා විශාල පුවතක් ලෙස ලොව හමුවේ තැබිය හැකි බවයි. චිත්‍රපටය තුළ ජෙනි යනු ප්‍රවෘත්තිය සහ ජනමාධ්‍ය හා ග්‍රාහකයා අතර අතරමැදියා වේ. ජෙනි සහ කර්තෘ මණ්ඩලය අතරද යම් පරතරයක් තිබේ. එය සාමාන්‍ය මාධ්‍ය භූමිකාව තුළ ද එලෙසමය. ගල්ෆ් යුද්ධය මාධ්‍ය නිෂ්පාදනාගාරයක් තුළ සිදු වූවා යැයි කරන ප්‍රකාශය හා  චිත්‍රපටයේ මාධ්‍ය භූමිකාව හා  සූක්ෂමව ප්‍රශ්න කළ හැකිය. ජෙනීගේ වාර්තාකරණය ඇතැම් විට යම් නාට්‍යමය ස්වරූපයක්ද ගනි. ජෙනි නාට්‍යමය ප්‍රවෘත්ති වාර්තාකාරියක්  ලෙස ද චිත්‍රපටය අපට ගෙනහැර දක්වයි. මෙය එක්තරා ලෙසක මාධ්‍යවේදියෙක් තුළ තිබෙන දුර්වල  ලක්ෂණයකි. ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී සෑම පුද්ගලයකුටම ගරු කිරීම, ඔහුගේ ඇයගේ කීර්ති නාමයට ගරු කිරීම මෙන්ම සත්‍ය තොරතුරු මිස තම මතය සනාථ වන තොරතුරු ඉදිරිපත් නොකිරීම මාධ්‍ය ආචාරධර්මයකි. නමුත් ඇගේ චරිතය විශ්ලේෂණය කරන කල්හි ඇය ඇතැම් විට පුද්ගල ගරුත්වයට වඩා තම මාධ්‍ය වාර්තාවේ රස පිළිබඳව සැලකිලිමත් වන්නීය. එමෙන් ම සත්‍ය තොරතුරට වඩා තම මතය සනාථ වන පරිදි තොරතුරු ලබා ගැනීමට උත්සාහ ගන්නීය. එය චිත්‍රපටයේ අවසාන අර්ධයේදි නිනෝගෙන් ලබාගන්නා ප්‍රකාශයේදී හෙළිවේ. නීනෝ අගල තුළ සිටියදී  කිකී හමුවේ ප්‍රතික්ෂේප වන ජෙනී විසින් නිනෝගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු වෙත පැමිණෙයි. එවිට ඇය අසන ප්‍රශ්න කෙතරම් සදාචාරාත්මක ද යන්න ගැටලුවකි. හාස්‍යජනක කාරණය නම් කිකි සහ නිනෝ අගල තුලම සිටියදි ඔහුන්ගෙන් ප්‍රකාශ ගැනිමට උත්සහ දැරිමයි.

(අගල තුළ සිටින කිකි වෙත ගොස් ජෙනී මෙසේ අසයි)

Jeny – excuse me.. can i make interview with you?

Kiki- go fuck yourself! You’re the last thing i need

Jeny- fucking balkanion ..

(පසුව ඇය නිනො වෙත ගොස් ඔහුට සිකරට් දුම්වැටියක් ලබා දෙන්නා සේ රගපාමින් ප්‍රකාශ ගැනිමට උත්සහ ගනී)

Jeny – excuse me wold you like a cigarette ?

නිනො එය පිලිගනි

Jeny – do you speak little english ?

Nino- little

Jeny – i can do interview with you

නිනෝ එයට කැමති බව පෙන්වයි.

Jeny- how do you feel

Nino – oky

Jeny- do you feel tired

Nino – yes

Jeny – was it you who put the mine underneath the other soldier ?

නිනෝ තම මැදැගිල්ල පෙන්වා ඉවත් වේ.

තුවාල ලබා සිටින සෙබලෙක්ගෙන් ඔබට මහන්සි දැයි ඇසීම මොඩ ප්‍රශ්නයකි. මාධ්‍යවේදනියක් ලෙස නාට්‍ය මවන්නියක් ලෙසත් පුවත් මවන්නියක් ලෙසත් ඈ ඉන් පොහොසත් වුවාය. චිත්‍රපටයේ මේ සිදුවීමත් සමග මීට පෙර විචාරය තුළ ඉදිරිපත් කළ ලෝකයේ විවිධ අවස්ථා සමග මේ සිදුවිම සමාන කරමින් සිතා බැලීම සිදු කළ හැකිය. වත්මන් මාධ්‍ය තුළද මෙවැනි වූ වාර්තා අප ඕනෑතරම් දැක ඇත වින්දිතයාව තව තවත් අපහසුතාවයට පත් කරමින්  මාධ්‍ය  පුවත් රස කරමින් ප්‍රවෘත්ති මවයි. චිත්‍රපටය අවසානයේ දී ද කිකී විසින් නිනෝට වෙඩි තබන  අවස්ථාවේ දී ඇය හා කැමරා ශිල්පියා උත්සාහ ගන්නේ එම සිදුවීම එලෙසම වාර්තා කිරීමට ය.  ඔවුන්ගේ කැමරා රූප වලින් මනාව පෙනී යයි. කිකිගේ නිසල  මළ සිරුර පෙන්විම සදහා කැමරාශිල්පියා යොදාගන්නා කාලය සහ සිරස් චලනයද තුළින් මාධ්‍ය තුළ සංදේශ අතිශෝක්තියෙන් පෙන්වන ආකාරයට මනාව නිදසුන් සපයයි. මාධ්‍ය තුළ මෙවන් දසුන් විකුනා ලාබ ලබන මාධ්‍ය භූමිකාව ප්‍රබල ලෙස චිත්‍රපටය තුළ විවේචනයට හා විචාරයට ලක් කළ හැකිය. මාධ්‍ය මේ සිදුවීම උස්සා තබන තරමට යුද්ධයේ නිමාව සඳහා ඔවුහු කටයුතු නොකරති. ලෝරා ක්ලිෆර්ඩ් නම් විචාරිකාව නෝ මැන්ස් ලැන්ඩ් චිත්‍රපටය විචාරයට ලක් කරමින් පවසා සිටින්නේ මෙලෙසයි.

මිනිසුන් තිදෙනකු එහි දැමූ යුද්ධයට වඩා, ඔවුන් තිදෙනකු වළකින් ගොඩ ගැනිම කෙරෙහි ලෝක අවධානය යොමු කරනු ඇත.”

අවසාන වශයෙන් මනුෂ්‍යයින් වශයෙන් යුද්ධය යන්න අප ප්‍රතික්ෂේප කළ යුතු අතර. මාධ්‍ය වාර්තාකරණයේදි මායාව හා යථාර්ථය අතර ග්‍රාහකයා අතරමං නොකර වාර්තාකරණයන් සිදුකිරිමට මාධ්‍යවේදියා උත්සුක විය යුතුය. 1941 දි බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්‍ට් ඇට්ලි යුනෙස්කො ව්‍යවස්ථාව සැකසිමේදි මෙලෙස ප්‍රකාශ කර ඇත.

ලෝකයේ යුද්ධ හා වෙනත් ගැටුම් මිනිසාගේ මනස තුළින් ම හට  හටගැනෙන හෙයින්, මිනිසාගේ එම මනස ම සාමය තහවුරු කිරීම සඳහා ද හැඩ ගැස්විය යුතුය.”

මාධ්‍යවේදියා ගේ භූමිකාව තුළද මිනිසා තුළ සාමය ඇති කිරිම සදහා විය යුතු නම් එය වඩාත් යහපත් වේ. ඒ වු කලී ස්වයං නියාමනය මාධ්‍යවේදියාට අවියක් ය.

Share this

4 thoughts on ““නෝ මැන්ස් ලැන්ඩ්”

  1. ඇත්තෙන්ම යුද්ධය වුණු භාෂාව අසමත් වූ විට සිදුවන දෙයක් 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *