පත්තරෙන් තිරේට ආ ගජමෑන්ට ප්‍රේක්ෂකයා සැලකූ හැටි අන්තිමයි.‍

විහඟිකා කාවින්දි |

“ මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙලට. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමාට. එතුමට නම් මාව නැතුවම බෑ.”

මම උඹට අද එන්න කිව්වේ වැදගත් කාරණාවකට. උඹ දැන් මගේ කාර් එක අරගෙන Airport එකට යන්න ඕනේ. ”

මුද්‍රිත මාධ්‍ය තුළ හාස්‍ය මැවීම යනු වඩාත් බැරෑරුම් කාර්යයකි. රූප චලනය නොවීම සහ ශබ්දයක් ඉන් නිකුත් නොවීම එහි බැරෑරුම් ම කාර්යයයි. මුද්‍රිත මාධ්‍ය තුළ යම් නිර්මාණයක් පාඨකයාට හාස්‍ය උපදවාලිය හැකි අයුරින් නිර්මාණය කර ඉදිරිපත් කරන්නේ නම් ඔහු හෝ ඇය ඉතා දක්‍ෂයෙකි. කැමිලස් පෙරේරා යනු එවැනි දක්‍ෂයෙකි. කැමිලස් නමින් ප්‍රසිද්ධ වූ ඔහු විසින් නිර්මාණය කළ චරිත ද පාඨකයාට වැදගත් චරිත විය. ඒ අනුව 1972 වර්ෂයේ ලංකාව තුළ බිහි වූ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වූ සතුට පුවත්පතට ඔහු අතින් නිර්මාණය කළ ජනප්‍රියම කාටූනයක් වූ ‘ගජමෑන්’ කාටූනය හැඳින්විය හැක. ඉහත සඳහන් දෙබසට පණ ගෙන එන්නේ ද මෙතුමා විසින් නිර්මාණය කළ ගජමෑන් චිත්‍රකතාවයි. වර්තමාන සමාජයේ බාලමහලු කාගේත් දෙසවනට සුපුරුදු වන එය ගජමෑන් චිත්‍රපටයේ එන දෙබසකි. සිංහල සිනමාව උඩුයටිකුරු කරමින් බිහි වූ සිංහල කාටුන් චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක.

1970, 1980 දශකය තුළ චිත්‍රකතා යුගය යනු මෙරට උන්මාදයක්ව පැවති යුගයකි. එවන් යුගයක චිත්‍රකතා අතර බිහි වූ චරිත ද පාඨක සිත් තුළ ඇඳි ජීවමාන චරිත වේ. මෙම සියලු චරිතවලට නව ජීවයක් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ගජමෑන් චිත්‍රපටයයි. පුවත්පත තුලින් පාඨක ආකර්ෂණයට පාත්‍ර වූ ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුළ ඉදිරිපත් කිරීමම අභියෝගාත්මක විය. එම අභියෝගය ජය ගැනීමට අධ්‍යක්‍ෂක චානක පෙරේරා ප්‍රමුඛ දක්‍ෂ නිෂ්පාදක කණ්ඩායමක් එක් වූයේ 2010 වසරේදී ය. ජේම්ස් කැමරන්ගේ ඇවටාර් සහ ස්ටීවන් ස්පිල්බර්ගේ ටිං ටිං වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය සඳහා භාවිත කරන ලද Motion Capture තාක්‍ෂණය ද ගජමෑන් චිත්‍රපටය සඳහා භාවිත කිරීම ලාංකික ජනතාවට නැවුම් අත්දැකීමක් විය.

මෝෂන් කැප්චර් තාක්‍ෂණය හෙවත් චලන ග්‍රහණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් ය. ඒ තුළින් සජීවීකරණය කළ චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. ලංකාවේ අති දක්‍ෂ චරිත රැසක් මෙම මෝෂන් කැප්චර් ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වූ අතර හඬ රංගනයෙන් ද මෑත යුගයේ ජනප්‍රිය චරිත කිහිපයක් මේ සඳහා එක් වූහ. සිංහල සිනමාවට නව මාවතක් විවර කළ ගජමෑන් 2010 වසරේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළත් මෙහි පූර්ව ප්‍රචාරණ දැන්වීම මාධ්‍යයට නිකුත් කළේ 2018 වසරේදී ය. නමුත් එකල රටේ පැවති තත්ත්වයන් නිසා වසර කිහිපයක් ම ගජමෑන් චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය. එය එසේ යටපත් නොවීමට ඉඩ නොදී මෙම වසරේ ජනවාරී 20වන දින ඊඒපී සහ රිත්මා මණ්ඩලයේ 3D සිනමාශාලා 25ක දිවයින පුරා ගජමෑන් චිත්‍රපටය නැරඹීමට අවස්ථාව විවර විය.

ලංකාවේ සිනමා කර්මාන්තය තුළ වර්තමානයේ පිට පිට ම වාර්තා තැබූ චිත්‍රපටයක් ලෙස ගජමෑන් චිත්‍රපටය හැඳින්විය හැකිය. ආරම්භක දිනයේ වැඩිම ආදායමක් සෙවූ චිත්‍රපටය, ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් සෙවූ චිත්‍රපටය, ඕස්ට්‍රේලියාව තුළ සිංහල චිත්‍රපටයක් සෙවූ ඉහළම ආදායම, වේගවත්ම ලක්‍ෂ 500 ආදායම සෙවූ චිත්‍රපටය ලෙස ගජමෑන් ත්‍රිමාණ චිත්‍රපටය අනෙකුත් සිනමා නිර්මාණ අභිබවා ගිය චිත්‍රපටයකි.

ලංකාවේ පමණක් නොව ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, නවසීලන්තය, කැනඩාව වැනි ලෝකයේ දියුණු රටවල පවා ප්‍රදර්ශනය කළ ගජමෑන් චිත්‍රපටය කාගේත් සිත් පිනවීය. ලෝකයේ පවා ඉහළ රසික වින්දනයක් ලැබූ මෙම චිත්‍රපටය නිර්මාණය තුළ ගැඹුරු කතාවක් ඇත. ගජමෑන් නිෂ්පාදනය එතරම්ම සුන්දර නොවීය. ඊට හේතුව වන්නේ ලංකාවේ ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික මෙවලම් සීමිත වීම සහ ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා ඉන් සන්නද්ධ පිරිස් පිළිබඳ ගැටලු පැවතීමයි. වසර 12ක පමණ කාලයක් බොහෝ අභියෝගවලට මුහුණ දී ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් පියවරෙන් පියවර ලබා ගනිමින් නිර්මාණය වූ ගජමෑන් තුළින් වත්මන් සමාජයට පණිවුඩ රැසක් ලබා දෙයි. මැණිකක් වුවත් පතලකින් මතු වන්නේ ඉබේ ම නොවේ. ඒ සඳහා බොහෝ ඇප කැපවිය යුතු ය. ඒ හා සමාන කැපවීමකින් බිහි වූ නිර්මාණයක් ලෙස ගජමෑන් හැඳින්විය හැක. ඊට සරලම හේතුව වන්නේ සියලු අභියෝගවලට මුහුණ දී වසර 12ක් ගතවුවත් අවසානයේ සාර්ථක නිර්මාණයක් බිහි කිරීමයි. කෙටි කාලයක් ගෙන අඩුපාඩු ඇති නිර්මාණයක් බිහි කිරීමට වඩා, වැඩි කාලයක් ගතවුවත් සිනමා කෘතියක පැවතිය යුතු ගුණාත්මක බව සහිත නිර්මාණයක් බිහි වන්නේ නම් එම අවස්ථාව ජයග්‍රාහී වේ. එවැනි ජයග්‍රහණයක් චානක පෙරේරා ප්‍රමුඛ ගජමෑන් චිත්‍රපට කණ්ඩායම ලබා ගත් බවට සාක්‍ෂි ලෙස ප්‍රේක්‍ෂක ප්‍රතිචාරම ප්‍රමාණවත් වේ.     

සුනිල් පෙරේරා වැනි ප්‍රකට නළු චරිත සමඟ කසුන් පතිරණ වැනි නව පරපුරේ නළු චරිත රැසක් මෙම චිත්‍රපටයට දායක වීම තුළින් ගජමෑන් චිත්‍රපටය ලංකාවේ පැරණි පරපුරත්, නව පරපුරත් එකට එක් කරන යදමක් වැනි ය. 3D යන නම ඇසූ පමණින් බොහෝ දෙනාගේ මතකයට එන්නේ ලෝකයේ බටහිර රටවල නිර්මාණය කරන සුවිශේෂී චිත්‍රපටයන්ය. නමුත් අදවන විට ගජමෑන් චිත්‍රපටය එම මතකය යම් ආකාරයකින් වෙනස් කිරීමට ගත් උත්සහයක් ද විය හැකි ය. දියුණු තාක්‍ෂණික දැනුමත්, ඊට අවශ්‍ය මෙවලම් ද සපයා ගැනීම මඟින් ලංකාවේ සිනමා කර්මාන්තයට පමණක් නොව සමස්ත රටටම ඉන් ලැබෙනුයේ කීර්තියකි. ආරම්භයේ පටන්ම රු. මිලියන 75කට අධික වියදමක් දරා නිෂ්පාදන කටයුතු සිදු වූ ගජමෑන් චිත්‍රපටය ලබා ගත් ජයග්‍රහණය එක් අවස්ථාවක දී අහිමි කිරීමට උත්සාහ දැරීය. එනම් චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට අමතරව ඒ හා සමාන පිටපතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූ බවට පසුගිය දිනයන්හි ඇසීමට ලැබුණු අසුන්දර පුවතක් නිසා ය.

විශාල ශ්‍රමයක්, මුදලක් දරමින් නිර්මාණය වූ මෙවැනි නිර්මාණ සඳහා එවන් දේ සිදු කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැත. එතුළින් දක්‍ෂ අධ්‍යක්‍ෂකවරු, තාක්‍ෂණික ශිල්පීන් සහ ඒ හා දායක වන සියල්ලන් ම අධෛර්යමත් වේ. නැවත නිර්මාණ ක්‍ෂේත්‍රයට පිවිසීමට සිටින මෙවැනි දක්‍ෂයන් ද ඒ සඳහා උනන්දුවක් දැක්වීමට පසුබට වීමට ඉඩප්‍රස්තාව පවතී. මෙවැනි පසුබටවීම් ඇති වන්නේ ප්‍රේක්‍ෂක අපගේ පවතින දුර්වලතා නිසාය. එනිසා මෙවැනි දෑ සිදුවීමට නොදී වගකීමකින් මෙම ක්‍ෂේත්‍රය තුළ සියලු දෙනාම හැසිරීම වැදගත් වේ. එසේ පිටපතක් හුවමාරු වීම, ප්‍රචාරණය වීම තුළ ගජමෑන් අසාර්ථක වූයේ නැත. එය එසේ සිදු වූවත් එම චිත්‍රපටයේ සැබෑ ස්වභාවය මතු වන්නේ 3D සිනමාශාලාවට ගොස් නැරඹීම බව ප්‍රේක්‍ෂක පිරිස හොඳින් ම දන්නා කරුණක් විය. එනිසා ගජමෑන් චිත්‍රපටය සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීම නතර නොවූ අතර අදටත් ගජමෑන්ට ආදරය කරන ප්‍රේක්‍ෂක පිරිසක් සිටින බවට සාක්‍ෂි ගෙන දෙන්නේ තවමත් සිනමාශාලාවලට එය නැරඹීමට යන ප්‍රේක්‍ෂක පිරිස නිසාවෙන් ය.

 සෑම ක්‍රියාවක්ම පසු පස එය සාර්ථක කරගැනීමට දායක වන මෙන් ම එය වැළැක්වීමට දායක වන පිරිසගේ ද අඩුවක් වන්නේ නැත. එනිසා එවැනි දෑ තුළින් කිසිවෙක් නොසැලී සිටිය යුතුය. ඊට කදිම නිදසුන ගජමෑන් චිත්‍රපටයයි. නව පරපුරේ නැගී එන දක්‍ෂ චරිත අතර චානක පෙරේරා ප්‍රමුඛ වූ නිෂ්පාදන කණ්ඩායම වැනි පිරිස් ඇඟයීම ඉතා වැදගත් වේ. එතුළින් ඔවුන් තුළ තවතවත් නිර්මාණ කිරීමට පසුබිමක් සැකසෙන අතර ඔවුන් තුළ ඒ සඳහා ධෛර්යමත් චරිත බිහි වේ. නූතන සන්නිවේදන ලෝකයේ මෙවන් නිර්මාණයක් ලංකාව වැනි රටකින් බිහිවීම තුළින් ඉස්මතු වන්නේ දැනුමින් පිරිපුන් මිනිසෙකුට එහි අවශ්‍යතාවය කුමක් වුවත් එය කෙසේ හෝ සඵල කරගන්නා බවයි. ගජමෑන් චිත්‍රපටය සිනමා කර්මාන්තය තුළ ලබා ගත් විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක.

කැමිලස් පෙරේරාගේ විකට කාටුන් පිටු අතර සිටි චරිතවලට නව පණක් එක් කරමින් පරම්පරා භේදයකින් තොරව සිනා පෙළපාලි නගමින් පවුලේ සැමට එකට එක්ව නැරඹිය හැකි ගජමෑන් නිර්මාණාත්මක සහ තාක්‍ෂණික ලක්‍ෂණවලින් ප්‍රතිනිර්මාණය වීම අප කාගේත් වාසනාවකි. කාටුන් පිටුවේ පළ වූ ගජමෑන් ත්‍රිමාණරූපීව සිනමාවට නඟන්නට ගත් උත්සාහය සුළුපටු නොවන නිසා ප්‍රේක්‍ෂක අපට ද මෙය භාරගැනීමේ දී වගකීම් කිහිපයක් ඉටු කළ යුතු ය. එහිදී සිනමා නිර්මාණය ඇඟයීම, එහි ගුණාත්මක බව රඳවා තබා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිචාර ලබා දීම සිදු කළ යුතු ය. එවිට එම නිර්මාණය තුළින් තවත් අඩියක් ඉදිරියට යාමට අවස්ථාවක් විවර වේ. මෙවැන් නිර්මාණ සිදු කිරීමට බලාපොරොත්තු වන නවක අධ්‍යක්‍ෂවරු සහ ඒ හා සම්බන්ධ සියලු ශිල්පීන්ට ගජමෑන් ත්‍රිමාණ චිත්‍රපටය කදිම ආදර්ශයක් ලබා දෙයි. එනම් කොපමණ බාධක, අභියෝග තිබුණත් ඒ සියල්ලම ජයග්‍රහණය කරමින් ඉදිරියට යාම තුළ සාර්ථකත්වය ජයග්‍රාහී ලෙස අත්විඳිය හැකි බවට පෙන්නුම් කර දෙයි. එම සාර්ථකත්වයේ ජයග්‍රාහී බව පෙන්වීමට තවත් කිසිදු උදාහරණ අවශ්‍ය නොවන්නේ ගජමෑන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ආරම්භක දිනයේ පටන් ම අදටත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමයි.

ගජමෑන් යනු ලංකාවේ ජනප්‍රිය කාටුන් චරිතයක් වන අතර එයට පණ පොවමින් ලංකාවේ එදා මෙදා තුළ බිහි කළ සිනමා නිර්මාණ අතර ජයග්‍රාහී අවසානයක් ලබා ගත් චිත්‍රපටයක් වන මෙය ලංකාවේ අතීතයට වර්තමානය එක් කළ විශිෂ්ට ගණයේ නිර්මාණයකි. ගජමෑන් වැනි නිර්මාණ ඉදිරියටත් නිර්මාණය වීම සහ එවැනි නිර්මාණකරුවන් ලංකාව වැනි රටකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වේ.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *