පනත ගමට වැඩ
නවෝදා හඳරාගම |

ගතවන සෑම නිමේෂයකම පාහේ නව්‍යතාවයකින් යුක්තව ලොව පුරා සංසරණය වන්නා වූ තොරතුරු ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රමුඛයා ජනමාධ්‍යයි. නමුත් ජනමාධ්‍යයෙහි මැදිහත් වීමකින් තොරව තොරතුරු වෙතට ප්‍රවේශ වීමට 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පුරවැසියාට භාවිත කළ හැකි ය. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන්නා වූ පොදු අධිකාරීන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට මහජනතාවට තිබෙන්නා වූ අයිතිය තොරතුරු පනත ඔස්සේ බලාත්මක වේ. තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මුල් කාලීනව දුර්මත පැවතියද වර්තමානය වන විට එය සාමාන්‍ය ජනතාවට වාසි සහගත ලෙස හසුරුවා ගැනීමට ඔවුන් සමත් වී ඇත. ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ කොමිසමෙහි වාර්තාවලට අනුව කොළඹ ප්‍රදේශයට වඩා මාතර, යාපනය, අනුරාධපුර වැනි ප්‍රදේශයන්හි ජනතාව තොරතුරු පනතෙහි උපරිම ප්‍රයෝජන ලබා ගනිති.
තොරතුරු දැනගැනීමේ පනතේ භාවිතයක් වන්නේ පොදු ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ලබා ගැනීමයි. මාර්ග ඉදිකිරීම්, පාසල් ගොඩනැඟිලි සහ ප්‍රජා මධ්‍යස්ථාන වැනි දේශීය යටිතල පහසුකම් ව්‍යාපෘතිවල අරමුදල් වෙන් කිරීම, ව්‍යාපෘති කාල නියමයන් සහ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයන් පිළිබඳව පුරවැසියන් බොහෝ විට විස්තර ඉල්ලුම් කොට ඇත. කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභාවෙහි මුරුගන් ජනාවාස කරා ගමන් කරන මාර්ගයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇණහිට තිබූ කාලවකවානුවක එම ප්‍රදේශයෙහි තරුණ පිරිසක් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතුවල අනාගත සැලසුම් පිළිබඳව තොරතුරු ඉල්ලා කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී. එහි ප්‍රතිඵල වශයෙන් අදාළ තොරතුරු ලැබුණු අතර මාස දෙකක් යන්නට මත්තෙන් මාර්ගයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට අදාළ පාර්ශවයන් කටයුතු කරන ලදී. මේ ආකාරයට මහජන මුදල් ඵලදායි ලෙස පරිහරණය කිරීම සහ ව්‍යාපෘති නියමිත කාලවකවානු තුළ අවසන් කිරීම සහතික කරන්නේද යන වග දැනගැනීම උදෙසා මෙම පනත සාමාන්‍ය ජනයා විසින් ඵලදායි ලෙස භාවිත කර ඇත.
එසේම විවිධ රාජ්‍ය සේවාවන්හි තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත පුද්ගලයන් විසින් නිරන්තරයෙන් භාවිත කරනු ලැබේ. උප්පැන්න සහතික, හැඳුනුම්පත්, ඉඩම් ඔප්පු, සහ අනෙකුත් අත්‍යවශ්‍ය ලියකියවිලි සඳහා අපේක්ෂිත අයදුම්පත් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ආදිය ද එයට ඇතුළත් ය. තම ඉඩම් ඔප්පු ලබා ගැනීම සඳහා මාස ගණනක් බලා සිටින පුරවැසියන් විසින් එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව යාවත්කාලීන දත්ත ලබා ගැනීමට පනත භාවිතා කරනු ලැබේ. එසේම සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් ඔවුන්ගේ උපදේශන කටයුතු සඳහා සහාය වන දත්ත ලබා ගැනීම සඳහා RTI පනත භාවිත කරයි. රජයේ වියදම්, සෞඛ්‍ය සංඛ්‍යාලේඛන, අධ්‍යාපනික ප්‍රතිඵල සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය ගැටළු ඉස්මතු කළ හැකි වෙනත් ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ඉල්ලිම් ද එකී භාවිතාවට ඇතුළත් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක දිනේෂිකා ජයසේකර මෙනවිය අවධාරණය කළේ “රාජ්‍ය ආයතනවල විනිවිදභාවය සහ වගවීම පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් තොරතුරු දැනගැනීමේ පනත මඟින් ඉටු කරන” බවයි.
විවිධ රජයේ දෙපාර්තමේන්තු ක්‍රියාකාරීත්වය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියන් තොරතුරු දැන ගැනීමේ පනත භාවිත කරයි. මෙය රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ ක්‍රියාවන් සහ තීරණ සඳහා වගකිව යුතු බව සහතික කිරීමට උපකාරී වේ. මෙහිදී රාජ්‍ය ආයතන මගින් පුද්ගලයින්ට සිදුවන්නා වූ අසාධාරණයන් විසඳීමට පෞද්ගලිකව තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරයි. ප්‍රතික්ෂේප කරන ලද අයදුම්පත් හෝ සේවා සැපයීමේ ප්‍රමාද සඳහා පැහැදිලි කිරීම් සෙවීම මෙයට ඇතුළත් විය හැකි ය. නාවින්න ග්‍රාමයෙහි වාසය කරන නස්මියා මහත්මියගේ සොයුරියට අසාධාරණ ලෙස අහිමි කරන ලද ජලය ලබා ගැනීමේ අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට තොරතුරු දැන ගැනීමෙහි පනත යටතේ ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන ලදී. අදාළ අංශයන් විසින් දිගින් දිගටම ලබාදීමට ප්‍රතික්ෂේප කළ ජල පහසුකම මෙම තොරතුරු ඉල්ලීමත් සමඟ ඇයට ලබාගැනීමට හැකියාව ලැබිණි. මේ ආකාරයට සිය පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා තොරතුරු පනත භාවිතා කළ අවස්ථා බොහෝමයක් ඇත.
මීට අමතරව පුත්තලම රත්මල්යාය ප්‍රදේශයෙහි උග්‍රව පැවති ජල අර්බුදය හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි සේ පීඩාවට පත්විය. අපිරිසිදු ජලය පානය කිරීම හේතුවෙන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ ඔවූහු ප්‍රජා කණ්ඩායමක් වශයෙන් සංවිධානය වී ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ පුත්තලම කාර්යාලය වෙතින් තොරතුරු ඉල්ලීමක් සිදුකළ අතර එම ස්ථානයෙහි තොරතුරු නිලධාරියකු නොමැති වීම නිසා කුරුණෑගල කාර්යාලය වෙත යාමට ඔවුනට සිදුවිය. එහි ප්‍රතිඵල වශයෙන් ප්‍රදේශයට පිරිසිදු පානීය ජල පහසුකම ලබා ගැනීමට අදාළ ප්‍රජා කණ්ඩායමට හැකියාව ලැබිණි. මේ ආකාරයට ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් සහ පදිංචිකරුවන්ගේ සංගම් විසින් තම ප්‍රජාවන්ට බලපාන්නා වූ තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත භාවිත කොට ඇත. එමඟින් ප්‍රාදේශීය පාලනය තුළ ප්‍රජා සහභාගිත්වය වර්ධනය වී ප්‍රජාවගේ අවශ්‍යතා නියෝජනය වීමට ඉඩකඩ සැලසේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි නීතිරීතිවලට යටත්ව ලබාගන්නා ඇතැම් තොරතුරු ඔස්සේ යම් යම් ආයතන, පුද්ගලයින් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ජනතාවට හැකියාව ඇත. එලෙස ලබා ගන්නා ලද තොරතුරු පොදු සමාජය තුළ සංසරණය කොට ජනතාව බල ගන්වමින් දූෂිත ක්‍රියාකලාපයන් මර්දනය කිරීමට මාධ්‍යවේදීන් හැරුණු කොට පොදු ජනතාව උත්සහ දැරූ අවස්ථා පවතිනුයේ බෙහෙවින් අල්ප වශයෙනි.
මේ පනතින් පුරවැසියාට හිමිවන බලය දිනේෂිකා ජයසේකර මෙනවිය විග්‍රහ කළේ මෙලෙසිනි. “කිසියම් පුද්ගලයෙකු විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් ලබාගන්නා තොරතුරු ඔස්සේ සනාථවන්නා වූ පොදු අධිකාරීන් හි විනිවිදභාවය පිළිබඳව සමස්ත සමාජයම දැනුවත් කරන්නට හැකියාව ලැබෙනවා. පොදු අධිකාරීන් හි විනිවිදභාවය සනාථ කිරීමටත් ප්‍රජාව ඒකරාශී කර ගනිමින් ඔවුන්ව බලගැන්වීමටත් මෙම පනත භාවිත කරන්න පුළුවන්. මෙය ඔබේත් මගේත් අයිතියක්. එය භාවිත කරන්න.”
සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නිලධාරින්ගේ සහ මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට 1975 අංක 01 දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත භාවිත කළ හැකි මුත් එමගින් ලබාගන්නා තොරතුරු ප්‍රසිද්ධ කිරීමකින් තොරව හුදෙක් පරිශීලනය සඳහා පමණක් යොදාගත යුතුවේ. නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතෙහි වත්කම් බැරකම් පිළිබඳව ලබාගන්නා තොරතුරු ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් ඇත. ගාල්ල ප්‍රදේශයෙහි එක්තරා ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිතුමියකගෙන් වත්කම් බැරකම් පිළිබඳව සහතික කළ පිටපතක් සහ අදාළ වර්ෂය තුළ සහ තවත් පාසල් කිහිපයකටම දරුවන් ඇතුළත් කරගැනීමේ විස්තර ඉල්ලුම් කොට ඇත. කෙසේ හෝ දෙවැනි නඩු වාරය තුළ අදාළ තොරතුරු ඉල්ලුම්කරුට ලබා ගැනීමට හැකියාව ලැබිණි. බොහෝ අවස්ථාවන්හිදී රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ අයතා උපයා ගැනීම් පිළිබඳව හෙළිදරව් කිරීමට සාමාන්‍ය ජනතාව මෙම පනත භාවිත කොට ඇත.
එපමණක් නොව ඉතිහාසඥයින්, පර්යේෂකයන් සහ සිසුන් රජයේ ලේඛනාගාරය සතු ඓතිහාසික වාර්තා සහ දත්ත වෙත ප්‍රවේශ වීමටද මෙම පනත භාවිතා කරයි. මෙමගින් ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා සහය විය හැකි අතර රටේ ඓතිහාසික උරුමය සුරැකීමට උපකාරී වේ. මීට අමතරව ඉඩම් පරිහරණ වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයක් සඳහා ඉඩම් හිමිකම සහ කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධ යටත් විජිත යුගයේ ලියකියවිලි වෙත ප්‍රවේශ වීමටද තොරතුරු ඉල්ලීම් ගොනු කළ අවස්ථා බොහෝ ය.
තොරතුරු දැන ගැනීමේ පනතෙහි භාවිතය එහි භාවිතය රාජ්‍ය ව්‍යාපෘති සහ සේවාවන් අධීක්ෂණය කිරීමේ සිට ප්‍රතිපත්ති වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීම දක්වා පුළුල් පරාසයක විහි දී ඇත. එමඟින් පොදු අධිකාරින් පිළිබඳව තොරතුරු සෙවීමට සහ රාජ්‍ය බලධාරීන්ට වගවීමට පුරවැසියන් වෙත බලය ලබාදී තිබේ. එම බලය ප්‍රජාවෙහි එක් පිරිසක් මඟින් ප්‍රශස්ත ලෙස භාවිතා කරන අතරම තවත් පිරිසක් මෙම පනතෙහි භාවිතය පිළිබඳව අඩු අවබෝධයකින් පසු වන බවක් දක්නට ලැබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතාට අනුව තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රයෝජන ගන්න ඒ පිළිබඳ මනා දැනුමක් පුරවැසියාට අවශ්‍යයි. “යම් යම් පුද්ගලයින්ට තිබෙන ප්‍රශ්නවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා මෙම පනත භාවිත කරන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවන්හිදී අවශ්‍ය තොරතුරු සොයමින් සිටින අවස්ථා, වෙනත් ක්‍රමවලින් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථා අපි දකිනවා. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවන්හිදී අනවශ්‍ය ලෙස අදාළ ආයතනවලින් තොරතුරු නොවන දෑ ලබා ගැනීමට තොරතුරු පනත භාවිත කිරීමට උත්සාහ දරන අවස්ථා තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ තොරතුරු පනතෙහි භාවිතය පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ පවත්නා දැනුවත්භාවය අවම මට්ටමක පවතින බවයි.”
අවසන් වශයෙන්, වඩාත් විනිවිද පෙනෙන, වගවීම සහ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන්නා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීම මහජනයා සතු වගකීමක් බව අවධාරණය කළ යුතු වේ.

