මානුෂවාදි මාධ්‍යකරණය

සඳුනි දිසානායක |

50000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසු ගිය කාල වකවානුව තුළ තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන මාලාව ලෝකයම දැඩි වේදනාවකට පත් කරන ලද්දකි. ජාති, ආගම්, භාෂා, සීමා මායිම් ආදී කිසිදු භේදයකින් තොරව මනුෂ්‍යත්වය මත ජීවිතයක ඇති වටිනාකම දැඩි ව දැන වූ මොහොතක් බවට එය පත් විය. මානව මෙන් ම දැඩි භෞතික හානියක් ද සිදු වූ එකී ඛේදවාචකය තුළ මනුෂ්‍යත්වය සහ මාධ්‍යකරණය අතර ඇති සබඳතාව මනාව පෙන්නුම් කළ ඓතිහාසික අවස්ථාවක් බවට එරට ජනමාධ්‍යකරුවන්ගේ ක්‍රියා කලාපය හරහා සමස්ත ලෝකය පුරාම කතා බහට ලක්වන්නට විය. ජනමාධ්‍යකරණය වගකීම් විරහිත  “ජඩමාධ්‍යකරණයක්” බවට පත් ව ඇති නූතනයේ එය සැබවින්ම කතා බහට ලක් කළ යුතු අවස්ථාවක්  විය.

මාධ්‍ය යනු සන්නිවේදනය මත පදනම් වූ මානව සමාජයේ ආශ්චර්‍යයකි. එනම්, මිත්‍රත්වය මත ගොඩනැඟී ඇති සමාජ වපසරිය තුළ සන්නිවේදනය නිසාම මිත්‍රත්වය සුරක්ෂිත වන අතර සමාජ සබඳතාවල විවිධත්වය ඇති වීම ද සිදු වේ. මේ සියල්ල සඳහා නූතනය තුළ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය සහ හැසිරීමේ විශේෂතා බලපායි. ජනමාධ්‍ය මෙන් ම ඩිජිටල් මාධ්‍ය ද එක ලෙස නූතනය තුළ  සන්නිවේදන කාර්‍යභාර්‍ය සිදු කරමින් පවතිනු දැකගත හැකි ය.

එසේ ම තොරතුරු පාලනය කිරීමේ හා ඒ මත සිය ආධිපත්‍යවාදී බලය හා බලපෑම පවත්වාගෙන යමින් සමස්ත රාජ්‍යකරණ,සමාජකරණ ක්‍රියාවලියට තීරණාත්මක ව මැදිහත් වීමේ උපකරණයක් මෙන් ම ,එම ක්‍රියාවලියේ අවියෝජනීය පැතිකඩක් ලෙසට ද නූතනය තුළ මාධ්‍ය ක්‍රියාත්මක ය. එනිසා ම මාධ්‍ය හුදු තොරතුරු සම්ප්‍රේෂණ මාධ්‍යකට වඩා සමාජ,දේශපාලන,ආර්ථික,සංස්කෘතික ක්‍රියාවලියට බද්ධ වූ සමාජ බලවේගයක් ලෙස දැක්විය හැකි ය. තොරතුරු, දැනුම පමණක් නො වන අතර එය උපක්‍රමශීලී ව පුද්ගලයා වෙනස් කිරීම හරහා සමාජය උඩු යටිකුරු කළ හැකි බුද්ධිමය මෙවලමකි. හදිසි තත්ත්වයක් තුළ මාධ්‍යකරණයට  ඉතා දැඩි වටිනාකමක් ලැබෙන්නේ එබැවිනි. ලෝකය ම වචන කිහිපයකින් උඩු යටිකුරු කිරීමට මාධ්‍යට අවැසි වනුයේ, තත්ත්පර කිහිපයක් පමණි. 

ගෲන්වෝල්ඩ් නම් යුනෙස්කෝවේ මෙහෙයවීමෙන් පැවැත් වූ සම්මේලනය මඟින්, 

“මාධ්‍ය සතු ව විශ්වාස කළ නො හැකි තරමේ බලයක් ඇත. ලෝකය විනිවිද යන්නා වූ ප්‍රබල බලපෑමක් හා ඝට්ටණයක් මාධ්‍ය මඟින් සිදු කරන බව අප පිළිගත යුතු ය.”  ලෙස ප්‍රකාශ කරන්නේ ද මේ නිසාම ය.  

නමුත් ,ලෝක ඉතිහාසය තුළ මෙන් ම ලාංකේය ඉතිහාසය පුරාවට සිදු වූ විවිධ විශේෂ අවස්ථා තුළ මෙම විශිෂ්ඨ විය යුතු මාධ්‍ය වාර්තාකරණය ඉතා බරපතල ලෙස වගකීම් පැහැර හැරීම සිදු කර ඇත.

ඉතා ආසන්නතම සිදු වීමක් ලෙස 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී මාධ්‍යකරණයේ අවස්ථාවාදී සහ වගකීම් විරහිතභාවය ඉතා හොඳින් දැක ගැනීමට හැකි විය. අන්තවාදී කණ්ඩායම් අවුළුවන සුළු ප්‍රචාර මෙන් ම බෝම්බ පිපිරීමෙන් සිදු වූ ලේ වැගිරීම්, මස් වැදලි සහිත මෘත දේහ කිසිදු වාරණයකින් හෝ පාලනයකින් තොරව ප්‍රචාරය කරන ලදී. එහි දී ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකා සියල්ල මෙන් ම පුවත්පත් සියල්ලම වගකීම් විරහිත ලෙස ඔවුනොවුනට වාසිදායක න්‍යායපත්‍ර මත එම ඛේදජනක සිදුවීම වාර්තා කරන ලදී.  මනුෂ්‍යත්වයට වඩා දේශපාලන කුඩුකේඩුකම් සඳහා මුල් තැනක් ලබා දී තිබිණි . එහි ප්‍රතිඵලයක් ලෙස ජන කණ්ඩායම් අතර ඇති වූ අවිශ්වාසය සහ අපැහැදීම් ගැටුම් දක්වා දුර ගෙන යන ලදී. විපතට පත් වූවන් පිළිබඳ සැලකිලිමත් වීමට සමාජය යොමු කිරීමට වඩා බියවැද්දීම සහ ජනකණ්ඩායම් ඇවිලවීම් එවකට ලාංකේය මාධ්‍ය මඟින් ඇඟ පතට නොදැනී සිදු කරන ලදී.  

කොවිඩ් 19 කාල සීමාව තුළ ද මාධ්‍ය ක්‍රියාකාරීත්වය වෙනසක් නැත. කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා නමැති තැනැත්තා විසින් සකස් කරන ලද පැණිය පිළිබඳ ලබා දුන් ප්‍රචාරය ආදී සියලු සිදුවීම් නිසි සෙවිල්ලකින් බැලිල්ලකින් තොරව කරන ලද්දකි. ජනතාවගේ බලාපොරොත්තු සමඟ සහ සෞඛ්‍ය සමඟ කළ සෙල්ලමක් බඳු විය.

හෘද සාක්ෂියට එකඟව මනුෂ්‍යත්වය සමඟ ගනුදෙනු නොකළ සහ නොහැකි වූ අවස්ථා රැසක් ජනමාධ්‍යකරණ ඉතිහාසය තුළ වැඩි වශයෙන් දැකගත හැකි ය. කෙවින් කාටර් නම් ඡායාරූප ශිල්පියාට ද තම සිය දිවි හානි කර ගන්නා තත්ත්වයට පත් වූයේ  එවන් සිදු වීමක් නිසාම ය. මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක් වන ඔහු 1993 මාර්තු 26 වන දින New york time පුවත්පතේ පළ කරන ලද ඡායාරූපය එයට හේතු විය. සුඩානයේ දී  කුසගින්න නිසා අසීමිත වේදනාවකින් සහ මිය යාමට ආසන්නව සිටින දරුවකුගේ අසලට ගිජුලිහිණියෙක් පැමිණ වසා සිටින ඡායාරූපයක් ඔහුගේ කැමරාවේ සටහන් විය. එහි දී දරුවාට උදව් කිරීමට අවස්ථාවක් ඔහුට අවිගත් කණ්ඩායමක් විසින් ලබා නොදුන් අතර ඡායාරූපය පළ වීමත් සමඟ ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එහි පීඩාකාරි බව සහ තම අද්දැකීමෙන් හෘදසාක්ෂියෙන් ගැලවීමට ඇති නොහැකියාව මත ඔහු සිය දිවි හානි කරගන්නා ලදී. මාධ්‍ය ඡායාරූපකරණය යනු සැබැවින් ම පීඩාකාරී ක්ෂේත්‍රයක් බව සැබෑය. මන් ද, තම ඇස් අද්දර බොහෝ අපරාද, පීඩාකාරී දෑ සිදුවන විට එයට මැදිහත් නොවී වෙනත් පාර්ශවයක් වෙනුවෙන් එම අවස්ථා ඡායාරූපකරණය කිරීමට සිදු වීම ම සැබැවින් ම අමිහිරි අත්දැකීමකි.

නමුත් තුර්කි – සිරියා භූකම්පන මඟින් විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම තුළ මාධ්‍ය ඡායාරූපකරණයට නව අරුතක් සහ මානුෂීය පැතිකඩක් ලබා දීමට එරට මාධ්‍යවේදීන් සමත් විය. තුර්කියට සහ සිරියාවට 2023 පෙබරවාරි 06 වන සදුදා දින බලපෑ රික්ටර් මාපක 7.8ක භූමිකම්පාවෙන් පසු අවස්ථාව කළමණාකරණය සඳහා පහසු වූයේ එම මාධ්‍යකරණයේ පැවති වගකීම් සහගතභාවය සහ මානූෂීයත්වයයි.

එහි දී ඉහළ යන මරණ සංඛ්‍යාව, තුවාල ලැබූවන් සහ අවතැන් වූවන් පිළිබඳ තොරතුරු, ගොඩනැගිලි සහ නගර වලට වූ හානි, සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා ඉක්මනින්  මෙන් ම නිවරැදි ව සමාජ ගත කරන්නට මාධ්‍ය සමත් විය. සාම්ප්‍රදායික සහ ඩිජිටල්  යන මාධ්‍ය දෙක හරහාම මෙම ක්‍රියාවලිය සිදු විය. 

භූමිකම්පාව පිළිබඳ වාර්තා කිරීමේදී බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාව (බීබීසී), අල්ජසීරා, ස්කයි නිවුස් සහ සී.එන්.එන් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ද ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.  විනාශයේ තත්ත්වය, වේදනාත්මක  හා බලාපොරොත්තු සුන්වීම් පිළිබඳ ව සංවේදී බව  හා බේරා ගැනීම සඳහා අවශ්‍ය විධි විධාන මොනවා ද යන්න  පිළිබඳ  මාධ්‍ය මඟින් කළ ආවරණය හරහා ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩායම්වල ප්‍රයත්නයන් ඇතුළුව ගලවා ගැනීමේ මෙහෙයුම්වල අවධානය අදාළ සිදුවීම වෙත යොමු කරවා ගැනීම පහසු විය. අල් ජසීරා වැනි නාලිකා ස්වේච්ඡා සේවකයන්ගේ සහ ගලවා ගැනීමේ ක්‍රියාකරුවන්ගේ හඬට වැඩි ඉඩක් තම ගුවන් කාලය මඟින් ලබා දුණි. දිවි ගලවා ගත් අයට උපකාර කිරීම සඳහා භූමියේ සිටින සේව් ද චිල්ඩ්රන්, ආපදා හදිසි කමිටුව (ඩී.ඊ.සී) සහ රතු කුරුසය වැනි විවිධ ජාත්‍යන්තර ,රාජ්‍ය නොවන සංවිධානවල (INGOs)  ද අවධානය මෙම ඉතා දැඩිව යොමු කරවන ලදී.

එසේ ම මෙම භූ කම්පන පිළිබඳ වාර්තා කිරීමේ දී ඩිජිටල් තාක්ෂණය ද බරපතල ව භාවිතා කරන ලද අතර Twitter, TikTok සහ Facebook වැනි සමාජ මාධ්‍ය වේදිකා , මානුෂීය අර්බුද වාර්තා කිරීමේදී ඩිජිටල් වේදිකාවල කාර්යභාරය පෙන්නුම් කරමින් දිවි ගලවා ගත් සහ ඔවුන්ට උපකාර කරන NGO ක්‍රියාකාරීන්ගේ හඬ වැඩි වශයෙන් ප්‍රචාරය කර ඇත.  නිදසුනක් වශයෙන්, දිවි ගලවා ගත් අයගේ කතා ප්‍රචාරය හරහා ඔවුන්ගේ ආදරණීයයන් සුන්බුන්වලට යට වී සිටින බවත්, භූමිකම්පාව සිදු වූ දා සිට ආධාර නොලැබුණු අවස්ථා ඉතා පැහැදිලිව හඳුනා ගැනීමට උපකාරී විය. මීට අමතරව, තම ඥාතීන් ආපසු ලබා ගැනීමට බලා සිටින පවුල් පිළිබඳ වාර්තා, දෝෂ සහිත ගොඩනැගිලි සහ විනාශයේ තත්ත්වය , සජීවී යාවත්කාලීන කිරීම්, චන්ද්‍රිකා ඡායාරූප මෙන් ම කඩා වැටුණු ගොඩනැගිලි සහ හානි වූ යටිතල පහසුකම් පිළිබඳ ඩ්‍රෝන වීඩියෝ ද මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලදී. මේ සියල්ල හරහා සුන්බුන් මැද අතරමං ව ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමින් සිටි ජනතාවට ඉතා ඉක්මන් ප්‍රතිචාර ලබා දෙන්නට අවස්ථාව උදා විය. එලෙස මාධ්‍යවේදීන් ඉතා සංවේදී ව සහ අවස්ථානුකූලව කටයුතු කළ ආකාරය ඉතා ප්‍රශංසනීය ය. 

මෙම ආපදාවේ දී තම නාලිකාව සඳහා එම අවස්ථාව හසු කරගනිමින් සිටි එක් මාධ්‍යකරුවකු තම මාධ්‍ය කටයුතු පසෙකලා සුන්බුන් අතර සිර වී සිටි දරුවෙකු බේරා ගැනීමට යාම ලෝකය පුරා කතා බහට ලක් වූ පුවතක් විය. එම සුන්බුන් අතර තම දරුවෙකු සිටීනම් ඔබ කෙසේ ක්‍රියාත්මක වේවි ද? තව දුරටත් මාධ්‍යවේදියෙකු ලෙස කැමරාව ඉදිරිපිට සිටිමින් එම අවස්ථාව හසු කර ගනීවිද? තම දරුවා  වෙනුවෙන් සියල්ල අතහැර ඉදිරිපත් වේවිද! මනුෂ්‍යත්වය තුළ සියලු දරුවන් තම දරුවාට සම නොවේ ද ? සැබෑ මාධ්‍යකරණය පීඩනයට පත් වන්නන් ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කර සමාජයට මුදා හැරීම පමණක් ද? මේ සියල්ලට මෙම සිදුවීම පිළිතුරු ලබා දී ඇත.

සැබැවින් ම මාධ්‍යවේදියා යනු කවුරුන් ද? ඕනෑම කුණු ගොඩක් තම මාධ්‍ය අවශ්‍යතාවන්ට අනුව පමණක් හැඩගස්වන්නෙක් පමණක් නොවන බවට පැහැදිලි කරවන අපූරු අවස්ථාවක් මෙම සිදුවීම හරහා සමාජ ගත විය. ලෝකය පුරා වගකීම් විරහිතව සිදුවන මාධ්‍යකරණයට එහා ගිය මානූෂීයත්වය හා සංකලනය වූ මාධ්‍යකරණයක් පවතින බවට මෙය ම සාක්ෂියක් නොවන්නේ ද? මේ සැබෑ මාධ්‍යකරණය පිළිබඳ ලෝකය ඇස් ඇරිය යුතු කාලයයි!

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *