මීඩියා මතක

විජයානන්ද රූපසිංහ |

සන්නිවේදකයා ග්‍රන්ථ විචාරය සඳහා මෙවර තෝරාගනු ලැබුවේ මාධ්‍යවේදි කපිල එම්.ගමගේගේ කෘතියක් වන මීඩියා මතක MEDIA MATHAKA (2020) ග්‍රන්ථයයි.

කතුවරයා මීඩියා මතක නම් කර ඇත්තේ තීරු ලිපි එකතුවක් වශයෙනි. ඒ 2017 වසරේ සිට ලේක් හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ රැස පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ තීරු ලිපි 50ක් එක් කොට කෘතියක් ලෙස සම්පාදනය කිරීම හේතුවෙනි.

එහෙත් පාඨකයෙකු ලෙස මට නම් මෙම කෘතිය කපිල එම්. ගමගේ නම් ජනමාධ්‍යකරුවාගේ ස්වයං ලිඛිත චරිතාපදානයක ස්වරූපයක් ඉස්මතු කෙරේ.

කෘතිය කොටස් දෙකකි. මුල් තීරු ලිපි 25 ප්‍රත්‍යක්ෂය ලෙසත් දෙවන තීරු ලිපි 25 අවලෝකනය ලෙසත් නම් කර ඇත.

පුවත්පතකට ලිපියක් ලියූ දිනයේ සිට පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනි මාධ්‍ය ඇසුරින් ඔහු ගෙවූ ජීවිතයේ අත්දැකීම් මුල් තීරු ලිපි 25 තුළ සංගෘහිත වේ.

එහි වැඩි ඉඩකඩක් වෙන් කර ඇත්තේ ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සම්ප්‍රදාය පිළිබඳ සාකච්ඡාවටයි. මහවැලි ප්‍රජා ගුවන්විදුලියේ සිට මහනුවර සේවය හරහා තේ ශක්ති රේඩියෝව ආරම්භ කිරීමට දැක්වූ දායකත්වය දක්වා වූ ගමන සිත්ගන්නාසුලු ආකාරයකින් පැහැදිලි කර ඇත.

ඔහු ගුවන්විදුලියට පිවිසි මුල් කාලයේ අත්දැකීම් ලබාගත් විජයානන්ද ජයවීර, තිලක් ජයරත්න හා එම්. ජෙ. ආර්. ඩේවිඩ් වැනි ප්‍රවීණයන්ග‍ෙන් ලැබුණු ගුවන්විදුලි භාවිතය පිළිබඳ දැනුම කෘතිය තුළ පැහැදිලි කර තිබේ.

ප්‍රජා විදුලිය ඇසුරේ ලැබූ අත්දැකීම්, අත්හදාබැලීම් එම විෂය පිළිබඳ පර්යේෂකයෙකුට ඉතා ප්‍රයෝජනවත් වන ලෙස විස්තර කර තිබේ. කාන්තා ඉතුරුම් කැට ව්‍යාපෘතිය ඊට එක් උදාහරණයකි. (පි.44)

ජාතික ගුවන්විදුලියෙන් ප්‍රාදේශීය ගුවන් විදුලියෙන් හා ප්‍රජා ගුවන්විදුලියෙන් ඔහු ලැබූ අත්දැකීම් එකිනෙකට වෙනස් වුවද  සියල්ල තුළ රේඩියෝ මාධ්‍යකරුවෙකුගේ භූමිකාව පිළිබඳ අවබෝධයකින් හා පැහැදිලි දර්ශනයකින් වැඩ කටයුතු කළ ආකාරය මේ තුළ විස්තර කෙරේ.

රාජ්‍ය ගුවන් විදුලියෙන් සමුගෙන වෙනත් ආකාරයක රේඩියෝ ආකෘතියක් අත්හදාබැලීමට ගත් අවසාන උත්සාහය එනම්, තේ ශක්ති රේඩියෝවේ ආරම්භක අවස්ථා නිවේදන හා මාධ්‍ය අධ්‍යයන පර්යේෂකයෙකුට වැදගත් කරුණු රැසක් පෙන්වා දෙයි.

ගුවන්විදුලියෙන් මිනිසුන් හැඩ වීමේ අවදානම යන තීරු ලිපියෙන් ලංකාවේ විද්‍යුත් මාධ්‍ය හා ආචාරධර්ම පිළිබඳ පවත්නා ගැටලුව සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ.

කෘතියේ දෙවැනි අඩ සැලකිය හැක්කේ මෙරට ජනමාධ්‍ය පිළිබඳ විවේචනාත්මකව බැලීමට ගත් උත්සාහයක් ලෙසිනි.

ජන මාධ්‍ය භාවිතය තුළ පවත්නා ගැටලු ජනමාධ්‍ය තුළින් සාකච්ඡා කිරීම මෙරට අතිශය ගැටලු සහගත තත්ත්වයකි. මව්බිම පුවත්පතට ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කර ඔහු පුවත්පතේ ගැටලු පුවත්පත් තීරුවක සාකච්ඡා කිරීමට යාමෙන් මතු වූ අර්බුදය ඔම්බුඩ්ස්මන්වරයාට රැකියාවෙන් ඉවත් වීමට සිදු වීම දක්වා දිගු විය.

මේ අභියෝගය යම් පමණකට ජයගත්තේ රාවය පුවත්පතේ පළකරන ලද තීරු ලිපියක් මගින් රටේ මාධ්‍ය භාවිතය විවේචනාත්මකව ඇගයීමට ලක් කළ අරුණ ජයවර්ධන ට පමණි.

කපිල එම් ගමගේ මාධ්‍ය විචාර කටයුත්තට දක්වා ඇති දායකත්වය සුවිශේෂ වන්නේ එහෙයිනි. ප්‍රවෘත්ති වාර්තාකරණයේ  ගැටලු විවිධ උදාහරණ ඇසුරින් පෙන්වා දී තිබේ. මෙරට මාධ්‍යකරණයේ ඇති තවත් ගැටළුවක් වන සම්මුඛ සාකච්ඡාවේදී සම්පත්දායකයාව ප්‍රශ්න කරන ආකාරය පිළිබඳ වැදගත් මැදිහත්වීමක් 156 වන පිටුවේ දක්වා ඇත.

“සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ ඝට්ටනයක් නොවේ. එය නිරායාසයෙන් ඉදිරියට ගලා යන කතාබහක් වෙන්න ඕන. ආරාධිතයා නැත්තම් සහභාගීවන්නා , මෙහෙයවන්නාගේ ප්‍රතිමල්ලවයා වෙන්නේ නැහැ. මෙහෙයවන්නා සිදුකරන්නේ ග්‍රාහකයා හා අලිඛිතව, නිර්නාමිකව පැවරූ කොන්ත්‍රාත්තුවක්. ඒ කොන්ත්‍රාත්තුව වන්නේ ග්‍රාහකයාට සම්මුඛ නොවන ආරාධිතයාගෙන් ග්‍රාහකයාට අවශ්‍ය තොරතුරු එළියට අරගෙන දීම පමණයි…,”

මෙම කොටස පමණක් වුවද මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාකරුවන්ට වැදගත් පණිවිඩයක් සපයනු ඇත.

ජනමාධ්‍ය පිළිබඳ විවේචනාත්මකව අදහස් දැක්වූවද කෘතිය තුළ ඊට අදාළ මාධ්‍ය නම් නොකරයි. එක්තරා ජනමාධ්‍යයක්, එක් පුවත්පතක් යනාදී වශයෙන් යෙදීම මාධ්‍ය අතර පවත්නා තරඟයේ දී හිතකර භාවිතයක් වුවද විවේචනාත්මක කරුණක දී අදාළ ආයතනයේ නාමය දැක්වීම වැදගත් වන බව මගේ අදහසයි. (පිටුව 134, 143, 155)

සමස්තයක් වශයෙන් ගත් කල මීඩියා මතක කෘතිය 1980 දශකයේ අග භාගයේ සිට මෑත කාලය දක්වා ලංකාවේ මාධ්‍ය භාවිතයේ හා කර්මාන්තයේ හරස්කඩක් නිරූපණය කරන බව පෙන්වා දිය හැකිය. එබැවින් ජනමාධ්‍යකරණයේ නිරතවන්නන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳ පර්යේෂණවල යෙදෙන්නන්ට එකසේ වැදගත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *