යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවහම පුළුන් මල්ල ගැන අහල වැඩක් නැහැ

නිරෝධ්‍යා සඳමිණි |

සමාජ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට අපි දන්නවා නූතනයේදී එය සම්බන්ධයෙන් ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක්. එතකොට අන්තර්ජාල ක්‍රමවේදය පහසුව ඒ වගේම එය විමධ්‍යගත වීමේ ස්වරූපයත් එක්ක බැලුවොත් අපි දන්නවා ආචාරධර්ම තුළ නියාමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් කියලා. ඒක ඕනේ කෙනෙක් විශ්වාස කරන මතයක්. මේ සම්බන්ධව ඔබ දරන මතය කුමක්ද?

මම කැමතියි කතාකරන්න නියාමනය කියන එකෙන්. ඇත්තටම ඉන්ටනෙට් එක ගත්තහම පුළුල් විදියට ඒකෙ අන්තර්ගතයේ එක පැත්තක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. තව ගොඩක් පැති, විවිධ හැඩයන්, විවිධ මානයන් ගොඩක් ඉන්ටනෙට් එකේ තියනවා කියල අපි දන්නවා. එතකොට සමාජ මාධ්‍ය පැත්තට ගියොත් ලෝකයේ මේ වෙලාවේ ඇත්තටම නියාමනය කියන එක ගැන සාකච්ඡා වෙන්නේ නෑ. ඒකට කාරණාවන් දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තාක්ෂණික කාරණාවක්. දෙවැනි කාරණාව තමයි ආචාර ධර්මීය කාරණාවන්. අපි නිකං සරලව කතා කළොත් එහෙම තාක්ෂණිකව යම් ගුණයන් සහ සෝෂල් මීඩියාවල තියෙන ගුණයන් නිසාම මේක නියාමනය කරන්න බැහැ. ඒකට අපේ රටේ උදාහරණ කීපයක් තියෙනවා. ලෝකයේ තියෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ, මානව හිමිකම් පිළිබඳ යම් තැකීමක් නොකරන ආණ්ඩු උත්සහ කරනවා සමාජ මාධ්‍ය නියාමනය කරන්න. නියාමනය කරන්න අපහසු වෙනකොට නියාමනය කරන්න බැරි වෙනකොට තාක්ෂණික විදිහට ඔවුන් කරන්නේ ඇත්තටම ඉන්ටනෙට් එක ශඩ්ඩවුන් කරන එක. මේක තමයි ලෝකයේ පුරා සිද්ධ වෙන දේ. අනිත් පැත්තෙන් ප්‍රතිපත්ති විදිහට ගත්තහම මේක යුසර් ජෙනරේට් කන්ටෙන්ට් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ භාවිතා කරන්නා තමයි මේකට අන්තර්ගත එකතු කරන්නේ. කර්තෘ කෙනෙක් නැහැ. සාම්ප්‍රදායික මාධ්‍ය වගේ බෙදාහරින්නෙක් නැහැ. මේකේ අපි ලියනවට හෝ අපි කන්ටෙන්ට් එකතු කරනවට අපිට කවුරුත් ගෙවන්නේ නැහැ. ඒ වගේ දේවල් හින්දම මේක ඇතුලේ විවිධත්වය වැඩිනේ. විවිධත්වය වැඩි වෙනකොට ප්‍රශ්න ටිකකුත් එනවා. එතකොට තමයි ඔය නියාමනය කියන නැත්නම් යම් විදිහකට පාලනය කරන්න ඕන කියන සාකච්ඡාව ලෝකයේ ඇවිල්ල තියෙන්නෙත්. එතකොට ප්‍රතිපත්ති විදිහට ගත්තහම විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඇතුලේ වැඩ කරන නිසා ඒවගේම සමාජ මාධ්‍ය ඇතුලේ විවිධාකාරයට අන්තර්ගත දාන නිසාම සෝෂල් මීඩියා කම්පැනිවලට වෙලා තියෙනවා යම් ගයිඩ්ලයින් කිහිපයක් යුසර්ස්ලට හඳුන්වල දෙන්න. මේක තමයි යම් විදියකට මේ වෙලාවේ තියෙන තත්ත්වය.

ඔය තත්ත්වයන්ට පරිබාහිරව තියෙනවා මේ වෙලාවේ විශේෂයෙන්ම මානව හිමිකම් පිළිබඳ වැඩ කරන එහෙම නැත්නම් ප්‍රකාශනයේ නිදහස ගැන සංවේදී සංවිධාන, ආයතන, පුද්ගලයින්, පර්යේෂකයින් සෝෂල් මීඩියා පිළිබඳ උනන්දුවක් දක්වමින් ඒක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයට බර, හිතකාර, සෞඛ්‍ය සම්පන්න අන්තර්ගතයක් තියෙන සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකක් සම්බන්ධයෙන් අදහසක් සමාජය තුළ මතු කරන්නේ කියලා. මේක තමයි ඔයා කිව්ව නියාමනය කොටසට මට දෙන්න පුළුවන් සරල උත්තරය. හැබැයි දැන් ඔයාගේ ප්‍රශ්නයට යම් කෙටි අදහසක් කිව්වොත් එහෙම අපි ඉන්නේ මේ කාලේ සෝෂල් මීඩියා, ඉන්ටර්නෙට්, වෙබ්, ඇප් මේ ඔක්කොම මේ කාලේ ඉන්නේ කෘතීම බුද්ධිය කියන අන්තර්ගතයන් එක්ක. එතකොට අපිට අපේ සාකච්ඡාව ටිකක් අමාරු වෙනවා. සෝෂල් මීඩියා වැඩ කරන්නේ කොහොමද, ඉන්ටනෙට් කොහොමද වැඩ කරන්නේ අපි මොනවද කරන්නේ, අපිට කළ හැකි දේවල් මොනවාද, හියුමන් කවුද, අපි කතා කරන දේකට දේශපාලන, සමාජ, සංස්කෘතික ගුණාත්මකභාවයන් අපිට ඉදිරියේදී ආරක්ෂා කරගන්න පුලුවන්ද, ඊට අමතරව මානවයා සෝෂල් මීඩියා එක්ක කොච්චර දුරට යයිද, ඉන්ටර්නෙට් එක  කොච්චර දුරට යයිද, AI කියන එකත් එක්ක. නැත්නම් තාක්ෂණයත් එක්ක.

එතකොට දැන් අපි ලංකාවට විශේෂිතව කතා කළොත් වර්තමානය වෙනකොට සමාජ මාධ්‍යයට ආචාර ධර්ම සංග්‍රහයක අවශ්‍යතාව තිබෙනවාද? ඒ ඇයි?

ඔව්. විශේෂයෙන් අපි ගත්තොත් ලංකාව දකුණු ආසියාතික රටක්. ලංකාව වගේ රටවල ජන විවිධත්වය වගේම සංස්කෘතික විවිධත්වය සහ දේශපාලන අදහස්වල විවිධත්වය වැඩි වෙනකොට ප්‍රශ්න වැඩිනේ. ඒක නිසාම අපේ වගේ රටවලට ඉතාම අත්‍යාවශ්‍යයි ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අපට තියෙනවා ප්‍රශ්නයක් ඉන්ටර්නෙට් එකට විතරක් නෙමෙයි, සෝෂල් මීඩියා එකට විතරක් නෙමෙයි අපේ සංස්කෘතික ජීවිතය පුරාම අපට තිබුණ ප්‍රශ්නයක් තමයි සාක්ෂරතාවය ගැන. ඒ සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්නය පරිගණකයේ සිට අද වෙනකොට සෝෂල් මීඩියා දක්වා ඇවිල්ල තියෙනවා. මගේ පුද්ගලික අදහස තමයි තාම අපිට පරිගණක සාක්ෂරතාවයක් නැහැ. අපේ රාජ්‍ය, අපේ ආණ්ඩු පරිගණක සාක්ෂරතාවය මේ වන විටත් මනින්නේ අපේ පුරවැසියන්ට ඩෙස්ක්ටොප් කියක් තියෙනවද, ලැප්ටොප් කියක් තියෙනවද වගේ බොහොම සරල තැනකින්. එතකොට සමාජ මාධ්‍ය සාක්ෂරතාවය ගැන සාකච්ඡා කරන්නට දෙයක් නැහැ ලංකාවේ. සාක්ෂරතාවය නැතිවීම නිසාම අපිට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒවගේම එන්න නියමිතයි. දැන් අනිත් පැත්තට ගත්තොත් එහෙම යුරෝපයේ සමහර රටවල්, ඇමරිකාවේ යම් රටවල් ස්ත්‍රීය පිළිබඳ, ළමයි පිළිබඳ කල්පනා කරන විදිහ සහ විශේෂයෙන් සමස්ත මාධ්‍යයේම සියදිවි නසා ගැනීම් වාර්තාකරණය වගේ දෙයක් වාර්තා කරන්නේ කොහොමද වගේ දේවල් ගැන ගොඩක් සංවේදී. උදාහරණයක් ගත්තොත් නවසීලන්තයේ බෝම්බයක් පිපිරුණු අවස්ථාවේ කොහෙවත් ලේ පෙන්නුවේ නෑ සෙරෙප්පු ටිකක් විතරයි අපි දැක්කේ. සෝෂල් මීඩියා වලත් එහෙමයි. ප්‍රධාන මාධ්‍යවලත් එහෙමයි. සෝෂල් මීඩියාවල කවුරුත් අපේ වගේ රටවල ඉන්න මිනිස්සු යම් විදිහකට ඒක ආචාරධර්ම විරෝධීව පාවිච්චි කළාට බහුතරයක් ඒ ප්‍රචණ්ඩත්වයන් පෙන්නුවේ නැහැ. අපි දැක්කා තුර්කිය සහ ඒ ආශ්‍රයෙන් බෝම්බ පිපුරුණු අවස්ථාවලදීත්. බහුතරයක් ඒ ඛේදවාචකය මිනිසුන්ට දරාගන්න බැරි ඛේදවාචකයක් කියලා පිළිඅරගෙන ඒක යම් විදිහකට ආචාරධර්මීයව සෝෂල් මීඩියාවල සහ සාම්ප්‍රදායික මාධ්‍යවල බෙදා හරින්න පටන් ගත්තා. හැබැයි අපේ ලංකාවේ අපිට එහෙම උදාහරණ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසාම දෙවෙනි කාරණය විදිහට ඒ සාක්ෂරතාවය නැති වීමත් අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා මේ වේලාවේ. කිසියම් විදිහකට ආචාර ධර්ම පද්ධතියක් අපට අවශ්‍යයි. හැබැයි මන් හිතන්නේ ඒවා තියෙනවා කියලා.

එතකොට දැන් පසුගිය කාලේ වුණ සිදුවීම් එක්ක බැලුවොත් ලංකාවේ පාස්කු ප්‍රහාරය අවස්ථාව වගේ අවස්ථාවල ගොඩක් වේලාවට අපට දක්නට ලැබුණා සමාජ මාධ්‍ය තහනමකට ලක් කරනකොට, වාරණයකට ලක් කරනකොට මිනිස්සුන්ගේ මතයක් තිබුණා අපේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් වෙනවා කියලා. මාධ්‍ය නිදහස ගැන කතා කළා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය?

ඔව්. ඒක දැනටත් සාකච්ඡා වෙන ප්‍රශ්නයක්. ඒකේ පළවෙනි එක තමයි අපේ රටේ කිසිම වෙලාවක ටෙක්නිකලි බ්ලොක් කරා ඇරෙන්න සම්පුර්ණයෙන් වසා දැමීමක් වුණේ නැහැ. අවහිර කිරීමක් තමා වුණේ යම් යම් විදියට. ඒ වගේ තාක්ෂණික කාරණාවක් තියෙනවා. හැබැයි අලුත්ගම සිදුවීමේ ඉදන් ගත්තොත් එහෙම දිගන සහ ඒ ආශ්‍රයෙන් ගියපුහම පාස්කු දින ප්‍රහාරය සහ ඊට අමතරව අම්පාර පැත්තේ මුස්ලිම්වරුන්ට එරෙහිව ඇතිවෙච්ච යම් යම් දේවල් හින්දා ගුගල් එකත් ෆේස්බුක් එකත් යම් විදිහකට ලංකාවේ තමන්ගේ ඇප් සම්බන්ධයෙන් තින්දුවක් ගත්තා. එයාලා නෙමේ ගත්තේ ලංකාවේ ආණ්ඩුව. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා ෆේස්බුක් එක තමයි යම් විදිහකට බ්ලොක් කළේ කියලා. ෆේස්බුක් එක නෙමේ ලංකාවේ ආණ්ඩුව තින්දුවක් ගත්තා මේ වේලාවේ මේක පවතින එක හොඳ නෑ කියලා. කාරණා දෙකක් තියෙනවා ඇත්තටම. එහෙම වුණහම මිනිස්සුන්ගේ ප්‍රකාශනයේ නිදහසට මොකද වෙන්නේ. ඔයා කිව්වා වගේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම්වල නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් මේ කාලේ ඉන්ටර්නෙට් එකත් එක්ක තමන්ගේ ආර්ථිකය සකස් කරගන්නවා. ඊ මාර්කටින් වගේ දේවල් හරහා. එතකොට ඉන්ටනෙට් එක යම් විදිහකට අවුල් වුනොත් එහෙම ඒ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වයට බලපානවා. ආර්ථික තත්ත්වයයි, මානව හිමිකමුයි අර්බුදයකට ලක් වෙනවා කියලා සාකච්ඡාවක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් තියෙනවා ඒක තිබ්බොත් එහෙම ඒක පාවිච්චි කරලා උදාහරණයක් විදිහට ෆේස්බුක්, යුටියුබ්, ට්විටර් පාවිච්චි කරලා ඇවිලෙන ප්‍රචණ්ඩත්වය තවදුරටත් අවුලන්න පුළුවන් කියලා. ඉතිං මේක තර්ක දෙකක්. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මේක අපි බේරගන්ඩ ඕනේ සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම් එකෙන් නෙමෙයි කියලා. මාක් සකර්බර්ග් නෙමෙනේ ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ. මේක ක්ෂණිකව පාවිච්චි කරන්න පුළුවන් නිසා ප්‍රචණ්ඩත්වය අවුලන කට්ටිය මේක වාහකයෙක් විදිහට ගන්නවා තමන්ගේ මැසේජ් එක යවන්න. ඒ මැසේජ් එක ගොඩක් ප්‍රචණ්ඩයි. ෆේස්බුක් නැත්නම් සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම්වලට බැනලා හෝ ඒවා වාරණය කිරීමෙන් මේක අඩු කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ නතර වෙන්නේ නෑ.

ආසන්නම උදාහරණයක් කිව්වොත් එහෙම අපි දන්නවා නුවර දිගන ඇතිවෙච්ච යම් කලබලකාරී තත්ත්වයක් මත ෆේස්බුක් එකයි යූටියුබ් එකයි යම් පැය ගාණකට බ්ලොක් කරලා තිබ්බා. එතකොට මොකද්ද කළේ VPN පාවිච්චි කරලා ගියා. ඒක ඉතාම වේගෙන් ගියා. මොකද අපේ පෙරදිග සංස්කෘතියේ තියෙනවානේ වහපු එකක් බලන්න කැමති කියලා. ඒකම තමා වුණේ. එහෙමනේ සාමාන්‍යයෙන්. මේ වේලාවේ තියෙන තාක්ෂණය හින්දා වාරණය කිරීමත්, බ්ලොක් කිරීමත් වගේ වචනවල තියෙන සැබෑ අර්ථයට සැබෑ වටිනාකමක් එන්නේ නෑ. තාක්ෂණය ඊට වඩා දුරයි. සෑහෙන ඈත ගිහින් තියෙන්නේ.  එතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ අනිත් පැත්ත හදන එක. අපි ඇයි ප්‍රචණ්ඩ වුණේ, අපි ප්‍රචණ්ඩ වෙන්නේ ඇයි? සෝෂල් මීඩියා හින්දද? නෑ. අපිට මොකක් හරි දේශපාලන සහ සංස්කෘතික නැත්නම් සමාජයේ යම් යම් ගැටලු තියෙන නිසා. ඒවට ආමන්ත්‍රණය නොකර ෆේස්බුක් එකටයි, ටුවිටර් එකටයි, නැත්නම් ගුගල් එකට, යූටියුබ් එකට වගේ ආමන්ත්‍රණය කිරීමේ තේරුමක් නැහැ. ඒක අතික්‍රමණය කරනවා යූසර්ස්ලා. ඒකට තාක්ෂණය තියෙනවා. ලෝකයේ ඕන තරම් ඒක පාවිච්චි කරනවා. දැනටත් වෙමින් තියෙන දේ තමයි කොහේ හරි රාජ්‍යයක්, කොහේ හරි ආණ්ඩුවක් සමාජ මාධ්‍ය වසා දැමීමක් කළොත් එහෙම මොකක් හරි ක්‍රමයකින් ඒක අතික්‍රමණය කරනවා. ඒකට ඕන තරම් තාක්ෂණය ලෝකයේ හැදෙනවා. ඉතිං තේරුමක් නැහැ. කරන්න තියෙන්නේ එකක් පරිශීලකයෝ විදිහට අපි කොහොමද ආචාර ධර්මීය වෙන්නේ. අනිත් පැත්තෙන් ආණ්ඩු කොහොමද ආචාර ධර්මීය වෙන්නේ. ඇත්තටම දෙකක් තියනවා. පරිශීලකයොයි, ආණ්ඩුවයි සමස්තයක් විදියට ගත්තහම රාජ්‍යයක් ආචාර ධර්මීය වෙන්නෙ කොහොමද. එකක් තාක්ෂණය පැත්තෙන්. අනිත් එක ප්‍රතිපත්තිමය පැත්තෙන්.

දැන් ආණ්ඩුවක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා නම් සමහර කණ්ඩායමක් ඉන්න පුළුවන් ඒකට යම් ප්‍රතිචාරයක් දක්වනවා. රාජ්‍ය දිගින් දිගටම රාජ්‍ය ඇතුළේ ඉන්න පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා නම් රාජ්‍ය ඇතුළේම ඒකට ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒක ස්වභාවිකයි. අපි කොහොමද ඒව වළක්වගන්නේ. මේක දේශපාලනික කාරණාවක්. දැන් ඇත්තටම සාම්ප්‍රදායික මාධ්‍යට වැඩිය සෝෂල් මීඩියා වල තියෙන ආචාර ධර්ම, තාක්ෂණය, එකේ හැඩරුව ගැන කතා කරන්න වෙන්නෙම ඒක හුදකලා කරලා. සන්නිවේදන මෙවලමක් විදිහට පමණක් අරගෙන නෙමෙයි. ඒ මෙවලම වැඩ කරන පොළවේ මොනවද තියෙන දේශපාලනය, ඒ දේශපාලනය ආචාර ධර්මීය ද, ඒ දේශපාලනය මානවීය පැත්තට බරයිද වගේ දේවල් එක්ක තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නෙ. ඒක මං අර කිව්ව දෙවෙනි කොටස මග ඇරලා අපිට සෝෂල් මීඩිය‍ෙවල විතරක් ආචාර ධර්ම හදන්න බැහැ. දැන් ඒක සාම්ප්‍රදායික මාධ්‍යයටත් එහෙම තමයි. ඒක සීයට බර ගාණක් ලාභය ලබන කර්මාන්තයක්. මේකත් කර්මාන්තයක් තමයි. අපිට කවුරු හරි කෙනෙක් ඉන්නවා ප්‍රාග්ධනය දෙන්න. පුද්ගල කණ්ඩායමක් ඉන්නවා, සංවිධාන ඉන්න පුළුවන්. මේකෙ බහුවිධ ප්‍රශ්න වැඩියි. ඒක නිසාම තමයි ලෝකයේ සෝෂල් මීඩියාවල අන්තර්ගතවලට සමහර රාජ්‍යයන්වල පාලකයන් බයයි. අපි ගත්තොත් ලිබියාව, මියන්මාරය, විශේෂයෙන් ඉන්දියාවේ මෝදි හැම වෙලාවෙම ඉන්දියාවේ ප්‍රාන්තවල ඉන්ටනෙට් එක වසා දමන්නේ ගොවීන්ගේ අරගලවලට ඉන්ටනෙට් එක පාවිච්චි කරන නිසා. සමහර වෙලාවට අයිතිවාසිකම් පිළිබඳ ඒ තරම් තැකීමක් කරන්නැති පාලකයන් දැන් වෙනකොට සෝෂල් මීඩියාවලට බයයි. ඒකයි මං කිව්වේ සෝෂල් මීඩියා ගැට ගැහිලා තියෙන්නෙම සෝෂල් මීඩියා එක කොහෙද තියෙන්නේ තියෙන තැන දේශපාලනයත් එක්ක. එතකොට අපට ආචාර ධර්ම ගැන කතා කරන්න වෙන්නෙම අර දේශපාලනයත් කතා කරමින්ම තමයි.

එතකොට මේ 2023 වර්ෂය වෙනකොට සමාජ මාධ්‍ය ආචාර ධර්ම වෙනුවෙන් අපේ රටේ ඉදිරිපත්වෙලා තියෙන ආචාරධර්ම සංග්‍රහයන් හෝ ඒ සම්බන්ධයෙන් ගොඩනැගිල තියෙන කථිකාවත් මොනවද?

ඒක වැදගත් ප්‍රශ්නයක්. අපි යම් විදිහකට මුලික වෙලා 2019 සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ආචාරධර්ම කියනවට වැඩිය සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් සම්බන්ධයෙන් අදහසක් ඇති කර ගත්තා. ඒකේ අපි මුලිකවම උත්සාහ කළේ මානව හිමිකම් එක්ක සෝෂල් මීඩියා භාවිත කරන්නේ කියලා. ඒක තමයි මුලික සරල අදහස. දෙවෙනි එක තමයි අපි ඒකේ කතා කරනවා කරුණු තුනක් ගැන. එකක් තමයි සමාජ මාධ්‍ය කර්මාන්ත ගැන. ඒවත් එක්ක කොහොමද වැඩ කරන්නේ, ඒවාගේ මාර්ගෝපදේශ අපිට වෙනස්කරන්න පුළුවන්ද? ඒවා දේශීය භාෂාවෙන් තියෙනවද? වගේ දේවල් ඒකේ කතා කරනවා. දෙවනුව අපි ලංකාවේ ආණ්ඩුවත් එක්ක යම් විදිහකට අදහසක් ඇති කරගන්න පුළුවන් ද කියලා උත්සාහ කරනවා. තුන්වෙනි එක තමයි ප්‍රධාන වශයෙන් යුසර්ස්ලා විදිහට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ කරුණු ටික තමයි ප්‍රකාශනයෙන් අපි යම් විදිහකට බලාපොරොත්තු වුණේ. ඒකෙදී මාර්ගෝපදේශ වගේ දේවල් විශේෂයෙන් මේකෙ හැදෙන්න විශාල වශයෙන් බලපාන්නේ පහුගිය කාලයේ. 2010 වගේ ඉදලා අපි ලංකාවේ සෝෂල් මීඩියා සම්බන්ධව යම් පර්යේෂණවල නියැලිලා ඉන්නවා. ඒ ගත්ත අත්දැකීම් එක්ක තමයි අපිට අවශ්‍ය කළේ මොකක් හරි ප්‍රකාශනයකට වඩා අපිට එකතු වෙලා යමක් කරන්න පුළුවන්ද කියලා. ඔයා කිව්වා වගේ සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝම්වල සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා කරගන්නේ සහ වැඩි දියුණු කර ගන්නේ කියන එකට ප්‍රකාශනයක් තමයි දැනට තියෙන්නේ. තව සංවිධාන කිහිපයක් මේ වෙනකොට සකස්වෙමින් පවතිනවා කියලා මට ආරංචියක් තියෙනවා. එතකොට අපි හදපු ප්‍රකාශනය කිසියම් විදිහකට දැන් මේ කාලේ යාවත්කාලීන කරමින් ඉන්නවා. AI එකත් ආවට පස්සේ අපිට ටිකක් අභියෝග වැඩි. සමහර වෙලාවට දුස්තොරතුරු ගොඩක් එන්න පුළුවන් අපේ වගේ රටවල්වලට අපිට ඒක හොයාගන්නත් බැරි විදිහට. එතකොට අපි කොහොමද ඒකට ආමන්ත්‍රණය කරන්නේ වගේ දේවල් ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. හැබැයි ඊට අමතරව ෆේස්බුක් එක පටන් ගන්නකොට මාර්ගෝපදේශ තියෙනවා. යුටියුබ් එක පටන් ගන්නකොට මාර්ගෝපදේශ තියෙනවා. ටික්ටොක් එකේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවා කියවන්නේ නෑ. අපිට ඒ ගැන අදහසක් නෑ. ලංකාවේ ඇතැම් කීපදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා ඒක දේශිය භාෂාවන්ට දාන්න. ඒත් පරිශීලකයින් ඒක කියවනවා අඩුයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ෆ්ලැට්ෆෝම් එකේ නෙමෙයි පරිශීලකයින්ගේ. ඒක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ හැමතැනම තියෙන එකක්. දැනුවත්භාවය අඩුයි.

ආචාර ධර්ම දෙකක් තියෙනවා. එකක් සමාජයෙන් එන ආචාර ධර්ම පද්ධතින් තියෙනවා. ඊට අමතරව සෝෂල් මීඩියා සමාගම්වලින් දියුණු කළ ආචාර ධර්ම පද්ධතින් තියෙනවා. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මම පුද්ගලිකව ටික්ටොක්වලට කැමති නැති වුණත් ටික්ටොක් එකේ ආචාර ධර්ම පද්ධතිය බලපුහම ඉතාම දියුණු ආචාර ධර්ම පද්ධතියක් තියෙන්නේ. එක හොඳයි. හැබැයි අපි කවුරුත් ඒක අනුගමනය කරන්නේ නෑ. ඒ චයිනිස් හින්දා වෙන්න පුළුවන්. කම්පැනියත් ඒ ගැන එච්චර සැලකිලිමත් නැහැ. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ෆේස්බුක් එකයි, ටුවිටර් එකයි, ගුගල් එකයි අරගෙන සාපේක්ෂව ටික්ටොක් එක ගත්තොත් එහෙම එයාලා තමන්ගේ පරිශීලකයෝ කොච්චරක් දුරට තමන්ගේ මාර්ගෝපදේශ කඩ කරනවද කියලා සංවේදීවීම සාපේක්ෂ්ව අඩුයි.

සමාජ මාධ්‍ය ආචාර ධර්ම ගැන කතා කරනකොට ලෝකයේ තත්ත්වය කොහොමද? චීනය, උතුරු කොරියාව වගේ රටවල්වල සමාජ මාධ්‍ය ආචාර ධර්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

ඒකත් වැදගත්. හැබැයි මේකට උත්තර දෙන්න වෙන්නේ ටිකක් පොදු අදහසකින්. ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව යුරෝපයේ විශේෂයෙන් ජර්මනියේ, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්ක්, ස්වීඩනය වගේ ස්කැන්ඩිනේවියානු රටවල් ගත්තොත් එහෙම සාපේක්ෂව ඉතා හොඳ මට්ටමක තියෙනවා. හැබැයි චීනය ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් චීනය කියන්නේ මගේ කියවීම අනුව මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැති රටක්නේ. මාධ්‍ය නිදහස පිළිබඳ ගත්තහම චීනය තියෙන්නේ සෑහෙන්න පස්සක. උතුරු කොරියාවේ ගත්තත් එහෙමයි. ඒවාගේම ඉරානය වගේ රටවල්. එතකොට ඒ වගේ කලාපවල ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවේ ප්‍රශ්න තියෙනවා. එතකොට ටික්ටොක් ඇප් එක හදන්නේ චීනයේ. එතකොට මගේ කියවීමට අනුව එයාලාගේ ඉලක්කය ආචාර ධර්මවලට වඩා තමන්ට කොච්චරක් ලාභය එනවද කියන එක. ගූගල් සමාගමත් සෑහෙන්න ලාභයක් හොයනවා. ෆේස්බුක් කියන්නේ ලොකු කම්පැනි එකක්. ට්විටර් කියන්නෙත් ලොකු කම්පැනි එකක්. හැබැයි ඊට සාපේක්ෂව ෆේස්බුක් එකේ මාර්ගෝපදේශ පිළිබඳ හා ටික්ටොක් එකේ මාර්ගෝපදේශ ප්‍රායෝගිකව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවහම ලොකු පරස්පරයක් තියෙනවා. චීනයේ එයාලා කම්පැනියේ සල්ලි විතරයි හොයන්නේ. අර කට්ටිය සල්ලිත් එක්ක යම් විදිහකට අයිතිවාසිකම් මූලික කරගෙන වැඩ කරන්න උත්සාහ කරනවා. අපිට පෙන්නේ ඒක.

එතකොට බ්‍රිතාන්‍ය, කැනඩාව වගේ රටවල දැන් මෑතක ඉදන් ටික්ටොක් තහනමකට ලක් වෙනවා. එකටත් හේතුව ආචාරධර්මීය පදනමක් වෙන්න පුළුවන් නේද?

ඔව් දැන් ප්‍රංශයේ තහනම් කළා. ප්‍රංශයේ තහනම් කිරීම සම්බන්ධයෙන් එයාලා නිල ලේඛන නිකුත් කරලා නෑ. හැබැයි ප්‍රංශයේ මාධ්‍ය කියන්නේ මේකේ ආචාර ධර්මීය ප්‍රශ්න තියෙනවා, අපේ ආර්ථිකයට හානි වෙනවා වගේ දේවල්. එතකොට ඇමෙරිකාව කියලා තියෙන්නේ ආචාර ධර්ම ප්‍රශ්නයක් වගේම එයාලගේ ෆෙඩරල් නීතිය ඒකට එතරම් ගැළපෙන්නේ නෑ කියලා. ඇමරිකාව සම්පුර්ණ තහනම් කරලා නැහැ. එයාලා ෆෙඩරල් සිස්ටම් එකේ තියන ඩිවයිස්වලට ඇප් එක පාවිච්චි කරලා කරන්න දෙන්නේ නැහැ. එතකොට අනිත් රටවල්වල නිශ්චිත හේතුවක් කියලා නැහැ. හැබැයි ඉස්සරහට ටික්ටොක් එකට ලොකු බලපෑමක් එන්න පුළුවන්. විශේෂයෙන් ඇමරිකාව සහ ස්කැන්ඩිනේවියන් වගේ රටවල්වලින්. දැන් ඉන්දියාව ගත්තහම ගොඩක් ප්‍රාන්තවල වැඩකරන්නේ නෑ. අපේ රටේ තාම තියනවා. මොකද අපි චීනෙට ඉතාම ආදරේ රටක් නිසා තාම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කියන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගහපුහම පුළුන් මල්ල ගැන හොයන්න ඕනේ නෑ වගේ අපිට දේශපාලනයේ, සමාජ ජිවිතයේ, පුද්ගලික ජිවිතවල ආචාරධර්ම නැති වුණාම අපි සමාජ මාධ්‍යයේ හෝ වෙන මාධ්‍යවල ආචාර ධර්ම හොයන්න යෑමක් වෙන්නේ නෑ. අපි හැමදාම කියන්නේ ෆේස්බුක් එක ගත්තහම මාර්ගෝපදේශය ළමයි, ස්ත්‍රීන් සහ වෙනත් ලිංගික නැඹුරුතාවයන් ගැන, මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් ගැන, සිංහල ආන්තික වෙච්ච දුප්පතුන් ගැන අන්තර්ගත කොයි විදිහට ද දාන්නේ. එතකොට ඒක ඒ සමාජවල අවධානයට ගන්න ඕන. අපේ ජිවිතවල ඒක නැති වුණාම ෆේස්බුක් එකෙත් එන්නේ ඒක තමයි. ඒක මඟහරින්න අපිට බැහැ. එතකොට ෆේස්බුක් එකේ නැත්නම් සමාජ මාධ්‍යවල ආචාර ධර්ම හදන්න නම් එක්තරා ආකාරයකට සමාජයේ ආචාර ධර්ම හදන්න ඕන. අපි ගත්තොත් සියදිවී නසාගැනීම් වාර්තාකරණය බලද්දී සාම්ප්‍රදායික මාධ්‍ය තාමත් කිසිදු ආචාර ධර්මයක් නැතිව තමයි වාර්තා කරන්නේ. සමහර අයගේ මුහුණ හොඳට දානවා, ළමයින්ගේ මූණවල් දානවා, ලේ පැල්ලම් දානවා, නම් ගම් එහෙමත් දානවා ගොඩක් වෙලාවට. ඒ නම් ගම් විතරක් නෙමෙයි සමහර වෙලාවට විශේෂණ පද දානවා භාවාතීෂයව. මොනවද කරලා තියෙන්නේ අවුරුදු දහයක් පහළොවක්. සමාජ මාධ්‍ය සමහර වෙලාවකට හොඳයි වගේ. ෆේස්බුක් එකේ මොකක් හරි මාර්ගෝපදේශයක් කඩ කරනව නම් ගොඩක් අය උත්සාහ කරනවා ඒක එහෙම නෙමෙයි කියන්න. ඒක දුස්තොරතුරු සහිත එකක් කියන්න ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් කඩ කරන එකක් කියන්න, ඒක ළමයින්ට හොඳ නෑ කියන්න උනන්දු වෙනවා. හැබැයි කොහොමද අපි පත්තරේකට කියන්නේ. නිවුස් එකක් ගියහම අපට කියන්න බැහැ. ඒ නිසා මේකේ යම් කිසි ගුණාත්මක භාවයක් නිසා සාම්ප්‍රදායික මාධ්‍යයට වඩා. මේක ඉක්මනින් නිවැරදි කරන එක ඉතා හොඳින් කරන්න පුළුවන් තාක්ෂණය නිසා.

එතකොට රාජ්‍ය මට්ටමින් මේකට තියෙන දායකත්වය කොහොමද?

අපි වෙනත් රටවල ගත්තොත් ඒ කියන්නේ ඉන්දියාව ගත්තත් ඉන්දියාවේ ආණ්ඩුව ඉන්ටනෙට් වසාදැමීමකට ගියත්, උදාහරණයක් හැටියට එයාලගේ තොරතුරු දැනගැනීමේ පනත ඉතාම ශක්තිමත් නිසා සමාජ මාධ්‍ය අන්තර්ගත සම්බන්ධයෙනුත් ඒ විදිහට වැඩ කරනවා. හැබැයි අපේ රටට ආවොත් අපි එහෙම නෑනේ. දැන් අපි ගත්තොත් එහෙම ලේක්හවුස් එකේ පත්තර ටික. දවසට ආචාරධර්ම කොච්චර කඩ වෙනවද. ඒක යම් විදියකට කිව්වොත් මහජන මුදල්වලින් යන්නේ. ITN එක, ජාතික රූපවාහිනිය ගත්තොත් ඒවා කොච්චර කඩ වෙනවද? එතකොට සමාජ මාධ්‍ය ගැන අහන්න දෙයක් නැහැ. විශේෂයෙන් ලංකාවේ පසුගිය අවුරුදු 10 විතර ගත්තොත් ලංකාවේ ගොඩක් පාලකයින් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉතාම දරුණු විදිහට කතා කරනවා. ඒකේ පැති දෙකක් තියෙනවා. සංවේදී වීමේ දී, බයකට සංවේදී වෙනවා. අනිත් පැත්තෙන් සතුටකට සංවේදී වෙනවා. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා එයා දිනුවාට පස්සේ “මගේ ජනාධිපතිවරණය ජයග්‍රහණයට සමාජ මාධ්‍ය ඉතාම හොඳින් බලපෑවා” කියලා. ඒවගේම පරාජයට පත්වුණ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා “මගේ පරාජයට සමාජ මාධ්‍ය හේතු වුණා” කියලා. අපිට ඒ ප්‍රකාශ දෙකෙන්ම හරියට කියවගන්න පුළුවන් ලංකාවේ පාලකයන්, දේශපාලනඥයින් සමාජ මාධ්‍ය ගැන හිතන්නේ කොහොමද කියලා.

දෙවෙනි එක තමයි අපිට ප්‍රතිපත්ති තිබ්බට සෝෂල් මීඩියා සහ ඉන්ටනෙට් නැත්නම් සයිබර් අපරාධ ගැන වැඩ කරන ඒකක තිබ්බට ඒවා තාම යාවත්කාලීන නෑ. ඒවගේ ඉන්නේ පරණ අදහස් තියෙන මිනිස්සු. දැන් අපි ගත්තොත් ස්ත්‍රියකට මොකක් හරි සෝෂල් මීඩියාවල හිංසනයක් එකක් වුනොත් පොලිසියේ පැමිණීල්ලක් දාන්න ගියහම වෙන අලකලංචිය අරකට වැඩිය වැඩියි. එයා තවදුරටත් පීඩාවට පත්වෙනවා. ඒ වගේම කිසිම යාවත්කාලීන කිරීමක් නෑ, නූතනයේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා, ප්‍රශ්න අහන්න ඕනේ කොහොමද කියලා, මේකේ වැඩ කරන්නේ මොකක්ද වෙලා තියෙන්න ඕන කියන එක හොයාගන්න තාක්ෂණිකව කිසිම අදහසක් නැහැ. ඉතින් ඔය දෙක තමයි ප්‍රශ්නවලට තියෙන්නේ. ඊට අමතරව තුන්වෙනි එක ඇත්තටම අපේ මූලික සාකච්ඡාවේ මාර්ගෝපදේශ නැත්නම් ආචාරධර්ම පිළිබඳ පාසල්වල උගන්වන්න, විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන්න, සාකච්ඡා කරන්න ඕන වගේම විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ වෙන්න ඕන කියලා ප්‍රතිපත්තියක් නැහැ. එහෙම ප්‍රතිපත්තියක් නැති රටක අපට තවදුරටත් හම්බවෙන්නෙ ආචාර ධර්මීය නොවන අන්තර්ගතයන් තමයි. ඒ කියන්නේ සමාජය හා පුද්ගලයා මැදිහත් වීම හැරෙන්නට ආණ්ඩුව කිසිදු උත්සාහයක් ගන්නේ නැහැ සෝෂල් මීඩියාවල සෞඛ්‍යසම්පන්නභාවය දියුණු කරන්න. එයාලා උත්සාහ ගන්නවා යම්කිසි විදිහකට. එයාලා අකමැති සත්‍යයන් අන්තර්ගතයන් විදිහට එනවනම් සමාජ මාධ්‍යවල ඒක බ්ලොක් කරන්න හරි, ඒක අයින් කරන්න හරි උත්සාහ කරනවා. තමන් කැමති සත්‍යයන් එනවනම් ඒක එයාල ප්‍රමෝට් කරනවා. ඒක තමයි ඇත්ත.

ඒ සම්බන්ධයෙන් රජයේ යම් යම් අවස්ථාවලදී අමාත්‍යංශයේ එක් විෂයක් හැටියටත් වෙනත් යාන්ත්‍රණ හරහාත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියනවා. ඒවා මඟින් මේකට ප්‍රගතිශීලී පිළිතුරක් ලැබිලා නැද්ද? ආචාර ධර්ම කිව්වහම පුළුල් වපසරියකට යන එකක්නේ. අපි ගත්තොත් පෞද්ගලිකත්වයට හානි වෙන ඒවා, අපහාසයන්, වෛරී කථනයන්, ඊට පස්සේ දුස්තොරතුරු. මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් දකින්න තියනවද? නැත්තං කොහොමද මැදිහත් විය යුත්තේ කියන එක?

නෑ. ඒක වැදගත් ප්‍රශ්නයක්. මට ඒක දකින්න නැහැ. මට දකින්න ලැබෙන ඒවා ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා කිව්වා වගේ වෛරී කථනය වගේ දේවල්වලට මැදිහත් වෙනවා සහ මේ මැදිහත් වෙන විදිහ. ඒක නඩු පනතටත් තියෙනවා. ශක්තික සත්කුමාර කියන ලේඛකයා තමන් කෙටි කතාවක් ලියලා ෆේස්බුක් එකේ දැම්මට පස්සේ ඒකට නඩු දාන්නේ ICCPR යටතේ. ඒ කියන්නේ ප්‍රතිපත්ති පරාද වෙනවනේ. දැන් තව උදාහරණයක් ගත්තොත් දත්ත පෞද්ගලිකත්ව නීතියක් ගැන අදහසක් තියෙනවා. ඒකේ නිල වශයෙන් නැති වුණාට අපට ආරංචි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ සියලු දත්ත එකතු කරලා එක තැනකට. ආරක්ෂක අමාත්‍යාංශය මෙහෙයවන එකකින් තමයි ඒ වැඩේ වෙන්නේ කියලා. සමස්තයක් විදිහට ගත්තහම ලංකාවේ හැම ආණ්ඩුවක්ම හැම ප්‍රතිපත්තියක්ම සමාජ මාධ්‍යයට තියෙන බය හින්දා යම් ප්‍රතිපත්ති ගේනවා මිස මේක ආර්ථිකයට, සමාජයට, අධ්‍යාපනයට, ලංකාවේ දියුණුවට වැදගත් යැයි උපකල්පනය කරමින් සහ කල්පනා කරමින් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා කියලා අපට පේන්නේ නැහැ.

දත්ත සොරා ගැනීම විශේෂයෙන් රාජ්‍ය ආයතනවලිනුත් සිද්ධ වෙනවා. අපේ පෞද්ගලික ඊමේල් ලිපින වෙන්න පුළුවන්, අපේ දුරකථන අංක වෙන්න පුළුවන් මොකක් හරි හේතුවකට එකතු කරගන්නව රජයේ මොකක් හරි අවශ්‍යතාවයකට කියලා. පස්සේ ඒක යනවා පෞද්ගලික අංශයට. ඊට පස්සේ එයාලගේ ප්‍රමෝශන්වලට අපිට SMS, EMAIL එවන්න පාවිච්චි කරනවා. මේ වගේ දේවල්වලදී නෛතිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද?

ඇත්තටම අපිට නීතියක් නැනේ. නීතියක් තිබිලා මේවා කරන්නත් බැහැ. අපි කැමති නැහැ නීතියට. ඒකත් ආචාර ධර්මීය තමා. අපි දන්නවනේ පහුගිය කාලේ ජනාධිපතිවරු අපට අවුරුදු සුභ පැතුම් එව්වා. සාමාන්‍යයෙන් සන්නිවේදනය දන්න කෙනෙක් දන්නවනේ මේකට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව තියෙන්න ඕනිනේ. හැබැයි මේකට ප්‍රතිචාර දක්වන්න බෑනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක කරන්නේ දේශපාලන වුවමනාවකටනේ. එතකොට හැමදාම මේක පාවිච්චි කළා. පහුගිය කාලේ අඩු වුණා ඒක. හැබැයි මේවට නීති නැහැ. නීති ගෙනල්ලා ඒ වැඩේ කරන්නත් බැහැ. හැබැයි ජනාධිපතිවරු, ඇමතිවරු කල්පනා කරන්න ඕනේ සම්පත් සමරකෝන් කියන කෙනාට සුබ පතලා වැඩක් නෑ කියන එක. ඒක මම දන්නේ නැනේ. මොකක්හරි තියෙන්න ඕනිනේ. ගුඩ් මොර්නින් කියන්න එහා පැත්තේ ගුඩ් මෝර්නින් කියන්න කෙනෙක් ඉන්න එපැයි. ප්‍රතිචාර දක්වන්න ඕන. හැබැයි එහෙම නැතුව ඇයි මෙහෙම කරන්නේ. එතකොට අපිට පේනවා මේක දේශපාලන අදහසක් මේකේ තියෙනවා. ඉතිං මං මුලින් කිව්වා වගේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවහම පුළුන් මල්ල ගැන අහල වැඩක් නැහැ.

අපි පත්තරවල සිරස්තල යොදද්දි යම් කාලෙක යම් යම් විදිහට සිරස්තල යොදපුවා විවේචනය වෙලා තිබුණා. අපි සෝෂල් මීඩියා අන්තර්ගත ගත්තහම මිනිස්සු නිවුස්වලට ඈදාගන්න, ලිපිවලට ඇද ගන්න පාවිච්චි කරන සිරස්තල එහෙම තියෙනවනේ?

යම් විදිහකට ව්‍යසනකාරී තත්ත්වයක් තියෙනවා. ඇත්තටම දැන් ෆේස්බුක් එකේ, විශේෂයෙන් යුටියුබ් එකේ සල්ලි හොයාගන්න නරඹන්නන් වැඩි කරගන්න, පේජ් එකේ බලන ප්‍රමාණය වැඩි කරගන්න වගේ දේවල්වලට තමයි කරන්නේ. ඉතිං මේක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට ඇත්තටම අපිට උත්තරයක් නැහැ. සෝෂල් මීඩියාවල ගොඩක් තියෙනවා අපිට උත්තර නැති ඒවා. රටේ කලබලකාරී තත්ත්වවලදී වට්සප් හරහා හඬ පට හුවමාරු වුණා. පහුගිය කාලේ පුරාවට ඒ වගේ තත්ත්වයක් තිබ්බා. දැනටත් තියෙනවා. මං කිව්වේ ඒකයි අපි ඉන්නේ ටිකක් භයංකාර ලෝකෙක. ආචාර ධර්ම අනුගමනය නොකර සල්ලි පස්සෙම යන කට්ටිය හෙට මොනව කරයිද? මම කලින් කිව්ව AI ෆ්ලැට්ෆෝම් එක දියුණු වීමත් එක්ක. දැන් අපට පොඩ්ඩක් අඳුනගන්න පුළුවන් ෆේක් නිවුස් එකක්, වෛරී කථනයක් යම් විදිහකට බලපුහම බොරු වගේ කියලා අඳුරගන්න පුළුවන්. හැබැයි AI පාවිච්චි කරන්න ගත්තොත් අපේ වගේ ඉන්න රටවල අපිට කිසිම දෙයක් අඳුරගන්න බැරි වෙනවා. එතකොට අපි කොහෙද වැටෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක ඇත්තටම මේ කාලේ අපිත් යෝජනා කරමින් ඉන්නේ මේ සංවාදේ ඉතා වැදගත් කියලා. මොකද මේ ෆ්ලැට්ෆෝම් එක නිසා සමහර සෝෂල් මීඩියා කම්පැනිස්වලටවත් එයාලගේ කම්පැනිවල තියෙන කන්ටෙන්ට් හසුරුවාගන්න අමාරු තත්ත්වයකට එන්න පුළුවන් කියලා සාකච්ඡාවක් තියෙනවා. එයාලටත් හඳුනගන්න බැරිවෙයි එයාලගේ මාර්ගෝපදේශ කඩවෙන තැන. කඩවෙන්නේ කොහොමද කියලා. දැන් අපිට ෆොටෝ එකක් නැත්නම් විඩීයෝ එකක් දාලා ඒක ඇත්තද බොරුද කියන එක කියන්න පුළුවන්නේ යම් විදිහකට. තාක්ෂණිකව ඒක ගත්තේ කොහෙන්ද, කැමරාව මොකද්ද, ලෙන්ස් එක මොකද්ද, පාවිච්චි කරපු වර්ගය මොකද්ද වගේ ඔක්කොම බලාගන්න පුළුවන්නේ. හැබැයි ඉස්සරහට ඒක අභියෝගයට ලක් වෙන්න පුළුවන්.‍ෙ

සමාජ මාධ්‍යවල තියෙන්නේ තරඟය. මුදල් ඉපයීමට හෝ මොකකට හරි වඩාත් ආචාරධර්මීය වීම තුළ ඒ තරඟය ජය ගන්න බැහැ. සමහර විට යොදන්න වෙන පින්තූර නිරුවත් පින්තූරයක් වෙන්න පුළුවන් වගේ මතයක් තියනවා. මුදල් උපයන්න නම් එහෙම මේ ෆ්ලැට්ෆෝම් එකේ ලීඩ් කරන්න නම් අපි මේ දේවල් පාවිච්චි කරන්න වෙනවා කියන අදහසක් තියෙනවා. මොකද්ද ඒකට ඔබ දෙන උත්තරය?

මට ඒකට තියෙන්නේ පොදු අදහසක්. දැන් ඒක කියන්නේ අපේ වගේ රටවලනේ. අපේ වගේ රටවල තමයි තාම කකුල සහ බුරිය මාර්කට් වෙන්නේ. හැබැයි අපි ගත්තොත් යුරෝපයේ නැත්නම් ඇමරිකානු අර්ධද්වීපයේ ඉන්දියාවෙත් සමහර තැන්වල එහෙම මාකට් එකක් නැහැ. මොකද ඒක ජිවිතේ එක කොටසක්. ස්ත්‍රීන් නිදහසේ පාරේ යනවා. ගල් ගහන්නේ නෑ. LGBTIQ ප්‍රජාව කොච්චර නිදහසේ තමන්ගේ අරගලවල ඉන්නවද! විශේෂයෙන් ලංකාව වගේ රටවල් තාම බලන්නේ ස්ත්‍රීය සහ ළමයි සම්බන්ධව පරණ රාමුවෙන්. තාම විශ්වාස කරනවා ඒක ඇත්තෙන්ම ලංකාවේ සිනමාවෙත් තියන එකක්. ස්ත්‍රීය අපට අලෙවිකරලා ලාභයක් ගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම හෙණ නරුම අදහසක්. ඒ නරුම අදහසට තාම තටු තියනවා, ඒක බරයි ලංකාවට. ඉතිං ඒක සෝෂල් මීඩියා ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන මම ඇතුළු පිරිමින්ගේ ප්‍රශ්නයක්. මෙතන එහෙම ජෙන්ඩර් ප්‍රශ්නෙකුත් තියෙනවා. පිරිමි කොහොමද ඒක දිහා බලන්නේ. මොකද ලංකාවේ වැඩිපුරම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ ස්ත්‍රීන් වුණාට, ඒවයේ සක්‍රීය වෙලා ඉන්නේ පිරිමි. ඉතිං ඒක ඇත්තටම අපේ ප්‍රශ්නයක්. මට සම්මන්ත්‍රණ වලදී සෝෂල් මීඩියාවල වැඩකරන අය හම්බ වෙනකොට නේපාලයේ, ඉන්දියාවේ වගේ අපේ රටේ අහන්න වෙන දේ නෙමෙයි එහෙ සාකච්ඡා වෙන්නේ. එහේ කතා වෙන්නේ තාක්ෂණය වර්ධනය කර ගැනීම වගේ දේවල්. අපි තාම ඉන්නේ මම ඉස්කොලේ යන කාලේ පත්තරේ වගේ. ඇත්තටම පිරිමි මුලික මාධ්‍යකරණයක් තාම සිද්ධ වෙන්නේ. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා පිරිමි නිසා. මම කියන්නේ නැහැ සමස්ත පිරිමිම කියලා. මීඩියා කියලා කියන්නෙම පිරිමි මූලික වුණ දෙයක්. සෝෂල් මීඩියා ගත්තහම මොකක් හරි කාන්තාවක් දාපුහම ඒකට තියන ප්‍රතිචාරය සමහර වෙලාවට හරිම පසුගාමී ප්‍රතිචාර. මේ ඉතාම දියුණු ෆ්ලැට්ෆෝම් එකේ තාම 50 ගණන්වල 60 ගණන්වල කැළෑ පත්තර වගේ අතිශය නපුරු දේවල් තියෙන්නේ.

ඔබට අවසාන වශයෙන් මේ පිළිබඳව කියන්න තියෙන්නේ මොකක් ද?

අවසාන වශයෙන් කිව්වොත් මේක ආණ්ඩුවකට කරන්න බැරි එකක්. හැබැයි ආණ්ඩුවකට පුළුවන් පහසුකම් සපයන්න. ඒ කියන්නේ සෝෂල් මීඩියා එක යම් විදිහකට ප්‍රජාතන්ත්‍රියකරණය කරන්න එහෙමත් නැත්නම් සෞඛ්‍ය සම්පන්න කර තියාගන්න පහසුකම් සපයන්න පුළුවන්. ඒකට වැඩකරන්න ඕන පරිශීලකයෝ. අපි කොච්චර ආචාර ධර්මීය වෙනවද, අන්න එදාට සෝෂල් මීඩියා එක ආචාර ධර්මීය වෙයි. නැත්නම් වෙන්නේ හැමවේලාවෙම අපි බලාගෙන ඉන්නවා කවුරුහරි අපිට ආචාර ධර්ම කියලා දෙනකම්. ඇත්තටම අපි ආචාර ධර්ම දන්නවා. ගොඩක් ලංකාවේ අය ආචාර ධර්ම දන්නවා. හැබැයි ඒකෙ ප්‍රායෝගිකව යෙදෙන්න අපේ වටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එදිනෙදා හමුවන ප්‍රශ්න තියෙනවා. පාරේ ගියපුහම ප්‍රශ්න තියෙනවා, කන්ඩ ගියපුහම ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න නිසා අපේ ජිවිතේ ආචාර ධර්මවලින් පිරිහෙනවා. අපේ ජිවිතේ ආචාර ධර්මවලින් තොර වීම නිසාම සෝෂල් මීඩියා ලයිෆ් එකත් ආචාර ධර්මවලින් පිරිහෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා අපිට පුළුවන් අපේ ජිවිතේ ආචාර ධර්මානුකූලව හදාගන්න. දෙකම යම් විදිහකට සමබර කරගන්න බැරිනම් සෝෂල් මීඩියාවල ඉන්න එපා කියලයි මගේ යෝජනාව. සෝෂල් මීඩියාවල ඉන්නව නම් අඩු ගානේ සෝෂල් මීඩියාවල තියන මාර්ගෝපදේශ ටික, අපි දෙන මාර්ගෝපදේශ නෙමේ සමාගම්වලින් දෙන මාර්ගෝපදේශ ටිකවත් අනුගමනය කරන්න.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *