ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය ආචාර ධර්ම වර්තමානයට ගැලපෙන්නෙ නෑ

නිපුනි සචින්තනි |

ලංකාවේ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒ පිළිබඳ දැනුවත් කිරීමට පවතින පර්යන්තයක් ලෙස වෙරිටේ රිසර්ච් ආයතනයේ Ethics Eye පර්යන්තය පෙන්වා දෙන්න පුළුවන්. ලංකාවේ එදිනෙදා පුවත්පත් වාර්තාකරණය තුළ තිබෙන ගැටලුකාරී තත්ත්වයන්, ආචාර ධර්ම උල්ලංඝණය කිරීම පිළිබඳ මාධ්‍ය හැසිරිය යුත්තේ කෙසේද යන්න Ethics Eye පර්යන්තය මගින් සාකච්ඡා කිරීමක් සිදු කරනවා. ඉතින් අද කතාබහ ගොඩනැගෙන්නේ වෙරිටේ රිසර්ච් පර්යන්තයේ මාධ්‍ය පර්යේෂණ ප්‍රධානි දීපාංජලි අබේවර්ධන සමඟ.

මාධ්‍ය කියන්නේ මානව ජීවිතයේ සෑම පැතිකඩකටම බලපාන ප්‍රපංචයක්. ඒ නිසා මාධ්‍ය හා සම්බන්ධ නීතිරීති වගේම ආචාර ධර්ම ගොඩනැගිලා තියෙනවා. ඇත්තෙන්ම මේ ආචාර ධර්ම පවතින්නේ ඇයි? මොකක්ද එහි උපයෝගීතාව?

සරල උත්තරය සිදුවිය හැකි හානිදායක තත්ත්වයන් අවම කර ගැනීමයි. හානිය අවම කර ගැනීම යනු යම් වාර්තාකරණයක් ඔස්සේ යම් පාර්ශවයක් අගතියට පත් වෙනවානම්, විශේෂයෙන් යම් ජන කණ්ඩායමකට අයත් පුද්ගලයකු අනිසි ලෙස ඉස්මතු කරනවානම් නැතහොත් යම් කාන්තාවක් ලිංගික භාණ්ඩයක් ලෙස සැලකෙනවා නම් ඒ වගේ ම නිවැරදි තොරතුරු වෙනුවට යම් වැරදි තොරතුරක් සමාජගත කිරීම ඔස්සේ යම් අගතියක්, හානියක් සිදුවෙනවා නම් ඒවා වළක්වා ගැනීමට මාධ්‍ය ආචාර ධර්ම නිර්මාණය වී පවතිනවා. විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ කතා කරන මාධ්‍යන්හි වගකීම අතිමහත්. යම් ලෙසකට ප්‍රජාතන්ත්‍රවාදය අවහිර වන ආකාරයෙන් මාධ්‍ය හැසිරෙන බව අප දකිනවා. නමුත් මේ කියන හතරවෙනි ආණ්ඩුව වන මාධ්‍යයේ කාර්යභාරය වඩාත් හොඳින් සිදු වීමට නම් මෙම මාධ්‍ය ආචාරධර්මවල උපයෝගීතාව අතිශය වැදගත්.

ඒ ගැන උදාහරණවලින් විග්‍රහ කරන්න පුළුවන් ද?

උදාහරණ ලෙස මැතිවරණ කාලයේදී මාධ්‍ය හැසිරීම පිළිබඳ ගතහොත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට රූපවාහිනී නාලිකා පුවත් ප්‍රකාශනවල කොපමණ ඉඩක් වෙන් වෙනවාද? මෙහිදී අනාවරණය වූ එක් දෙයක්නම් ඇතැම් අපේක්ෂකයන්ට විශාල කාලයකුත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ට අඩු කාලයකුත් ලබා දි තිබුණා. නමුත් මැතිවරණ කොමිසම පවා පවසන්නේ සමාන කාලයක් ලබාදිය යුතු බවයි. මේ ආකාරයට විවිධ කාල පරාසයන් තුළ සිදුවන අන්තර්ගතය විවිධාකාර වෙනස්කම් වගේම නිවැරදි නොවන තොරතුරු පළවීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට අනිසි ඵලවිපාක ඇති විය හැකියි. ඒ නිසා තමයි ජනමාධ්‍යවේදයට ආචාරධර්ම අවශ්‍ය බව පවසන්නේ.

ලංකාවෙ මාධ්‍ය පද්ධතියට බලපාන ආචාර ධර්ම මොනවද ?

මොන විදිහටද මාධ්‍ය ආචාර ධර්ම රැකෙන්නේ, උල්ලංඝනය වෙන්නෙ කියන එක බරපතල ප්‍රශ්නයක්. මෙහිදී ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අප හඳුනාගෙන තියෙනවා මාධ්‍ය  විශාල වශයෙන් ගැටලුකාරි වන අවස්ථා, එයිනුත් කාන්තාව පිළිබඳ වාර්තාකරණයේ දී සිදුවන අනිසි බලපෑම් පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. කාන්තාව ගතහොත් ලිංගික භාණ්ඩයක් ලෙස බොහෝ වෙලාවට මාධ්‍යයන් තුළ උලුප්පා පෙන්නවා. මෑතකදී අලවතුගොඩ එක්තරා කාන්තාවක් ඝාතනය වුණා. එයට මාධ්‍යන්හි පවා විශාල ප්‍රචාරණයක් ලැබුණා. අපේ නිරීක්ෂණයන් හිදී වැටහුණේ සිංහල මාධ්‍ය වාර්තාකරණයේදී ඇගේ බාහිර ස්වරූපය උලුප්පා පෙන්වීම. රූමත් කාන්තාවක් ඝාතනය වීම යනාදී ලෙසට ප්‍රකාශනයන් තිබුණා. එවැනි ප්‍රකාශ පුවතට අදාළ නොවෙනවා වගේම ඒ තුළින් කාන්තාව ලිංගික භාණ්ඩයකට ලඝු කෙරෙනවා.

කාන්තාව හා සම්බන්ධ වාර්තාකරණ පිළිබඳ වැඩි අවධානයක් ඔබේ ආයතනය යොමු කර තිබෙනවා. කාන්තාව අගතියට පත්වන වෙනත් අවස්ථා තියෙනව ද?

කාන්තාවක් වාර්තාකරණයට යොදා ගැනීමේදී ඔවුන් ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වනවා පමණක් නෙවෙයි, විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන කාන්තාවන් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමේ දී යොමු කරන ප්‍රශ්න හා ඒ ක්ෂේත්‍රයේ නියැලෙන පිරිමින්ට යොමුකරන ප්‍රශ්න වෙනස්. උදාහරණයක් ලෙස කාන්තාවන්ගෙන් අහන ප්‍රශ්න තමයි ඔබට මේ කටයුතුවල නියැලෙන කොට ඔබේ සැමියාගෙන් අවසර තියනවද කියන එක. හැබැයි ඒ ක්ෂේත්‍රෙය්ම පිරිමින්ගෙන් අහන්නේ ඔබේ ඊළඟ ඉලක්කය කුමක්ද? නිර්මාණය වීමට පවතින ඊළඟ ගීතය කුමක්ද? චිත්‍රපටය කුමක්ද? මෙන්ම මෙවැනි දෑ තමා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ. කාන්තාවගෙන් තව අහනව ඉවුම් පිහුම් කරන්නෙ කොහොම ද, ළමයි බලාගන්නෙ කොහොම ද කියලත්. කාන්තාවකට සමාජය ලබා දී තිබෙන භූමිකාවට අමතරව අනෙකුත් සියල්ලටම අවසර ලබා ගත යුතුයි. නමුත් පිරිමින්ට මේ කිසිත් අදාළ වෙන්නේ නැහැ. මේ ගැටලුව තමයි අපි සාකච්ඡාවට ලක් කළ යුත්තේ. සමාජයේ තිබෙන විභේදනය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය අනුව වෙනස් වීමේ භූමිකාව තව තවත් තීව්‍ර කිරීමත් මාධ්‍ය වාර්තාකරණයේදී සිදුකරනවා. ඇත්තටම මාධ්‍ය සතු වගකීම විය යුත්තේ මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න කිරීම.

මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය වීම නිසා බොහෝ විට අගතියට පත්වන වෙනත් අය කවුරුන් ද?

බහුතරයක් නොවන ජන කණ්ඩායමුත් මෙයට විශාල වශයෙන් භාජනය වෙනවා. විශේෂයෙන් ඍණාත්මක සන්දර්භයක් තුළ දී, මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වාර්තාකරණයකදී  යම් ජනවර්ගයක් සම්බන්ධ නම් ඔවුන්ගේ ජාතිය මුල් කර ගැනීම මූලික වශයෙන් සිදුකරනවා. මෙය පැහැදිලිවම පවතින ගැටළුවක්. එහිදී පැහැදිලිවම ජන කණ්ඩායම් පිළිබඳ අගතීන් පෝෂණය වීමක් සිදුවෙනවා. කිසිම පදනමක් නොමැති අගතීන් ප්‍රචලිත කිරීමට මාධ්‍ය දායක වීමක් සිදුවෙලා තිබෙනවා. එවැනි අවස්ථාවල දී පැනනඟින ගැටලුව නම් මාධ්‍ය තුළ එය වාර්තා කිරීම මොනතරම් දුරට සාධාරණීකරණය කළ හැකිද?

ලංකාවේ දැනටත් ක්‍රියාත්මක ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ තියෙනව. ඒවා සෑහෙන්නෙ නැද්ද මේ කියන ආචාර ධර්ම කඩවීම් අඩුකරගන්න? 

ලංකාවේ ආචාරධර්ම පද්ධතිය පිළිබඳව කතා කිරීමේදී පුවත්පත් මණ්ඩලය සහ කතෘ සංසදයේ හඳුන්වා දී තිබෙන ආචාර ධර්ම මාලාව ක්‍රියාත්මක වෙනවා. නමුත්මේ සියල්ල කොපමණ දුරකට යාවත්කාලීන වෙලා තියෙනවද කියන දේ පිළිබඳ පැහැදිලිවම කතාකළ යුතු දෙයක්. ආචාර ධර්ම පිළිබඳ කතා කිරීමේදී බොහෝ දුරට ලංකාවේ තිබෙන්නේ ස්වයං පාලන ක්‍රියාවලියක්. එය  වඩාත් පහසු කරගැනීමට නම් මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි.

ලංකාවේ තවමත් ප්‍රබල ම ජන මාධ්‍යය රූපවාහිනියනේ. ඉතින් රූපවාහිනියට ආචාර ධර්මානුකූල භාවිතයක අවශ්‍යතාවයක් තිබෙනවාද?

බොහෝ අවස්ථාවන්හි ආචාර ධර්ම පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවෙනවා. නමුත් එහිදී සිදුවන අගතීන් පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදු වෙන්නේ නැ. රූපවාහිනි මාධ්‍යයට පැමිණීමේදී ආචාර ධර්ම වලංගු නෑ කියන එක  එතරම් සුදුසු කරුණක් නොවේ. Ethics Eye facebook page එක වෙත ගියහොත් දැකගන්නට පුළුවන් රූපවාහිනි මාධ්‍ය තුළ කොපමණ දුරකට ආචාර ධර්මයන්හි ගැටලුකාරී තත්ත්වයන් පවතිනවාද කියන වග. උදාහරණ ලෙස, සියදිවි නසාගැනීමක් ඔස්සේ ඒ වාර්තා කිරීම තුළින් තවත් පුද්ගලයෙකු සියදිවි නසා ගැනීමට උත්ප්‍රේරණයක් නැතහොත් පෙළඹවීමක් සිදුවෙන්න පුළුවන්. ඒ ඔස්සේ විවිධාකාර ලෙස එය අනුගමනය කර සියදිවි නසාගැනීම් සිදුවෙනවා විය හැකි. සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා සියදිවි නසා ගැනීම් වාර්තා කිරීමෙන් පසු එවැනි ම සිද්ධීන් දාමයක් සිදුවෙන බව. ඒ නිසා තමයි සියදිවි නසාගැනීම් පිළිබඳ විශාල අවධානයක් යොමු කරන්න වෙලා තියෙන්නෙ. බොහෝ අවස්ථාවල දී රූපවාහිනියේ දකින කරුණක් නම් සියදිවි නසාගැනීම පිළිබඳ ප්‍රධාන සිරස්තලයේ පළ විම. එසේ ප්‍රකාශ කිරීම තුළ නැවතත් නැවතත් එවැනි ම සිදුවීම් ක්‍රියාත්මක වීමට තිබෙන ප්‍රවණතාව වැඩියි. එවැනි දෑ විකාශනය වීමේ දී එවැනි දේකට උත්සහ කරන පාර්ශවයන්ට සහාය ලබාගත හැකි ආයතනවල දුරකථන අංක පල කිරීමත් සිදුවිය යුතුයි. ඒ ඔස්සේ ඔවුන්ට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවලදී සමාජයට වන අගතිය අවම වන ලෙස වාර්තාකරණයේ නියැලීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කළ යුතුයි.

පසුගිය වසර කිහිපය මුළුල්ලේම Ethics Eye පර්යන්තය මාධ්‍ය ආචාරධර්ම නිරීක්ෂණය කරනවා. මේ වනකොට ප්‍රගතියක් තියෙනව ද?

2016 දී ආරම්භ වී මේ වන විට වසර කීපයක් ඉදිරියට පැමිණිලා තිබෙනවා. මෙහි දැකගන්න තිබෙන ප්‍රධානතම දේ විශාල වශයෙන් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයන් අඩුවී තිබිම. ආචාරධර්ම උල්ලංඝණය අඩු බව සංඛ්‍යාත්මක ලෙස කතා කිරීමට හොඳම උදාහරණය නම්, කොඩිඩ් වෛරසය ශීඝ්‍රයෙන් පැතිර වීම පිළිබඳ ජනකොටසකට දෝෂාරෝපණයක් එල්ල වුණා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. සමාජ මාධ්‍ය තුළ අපි සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය උදාහරණයට ගෙන බොහෝ පිරිස් ඒ පිළිබඳ සාකච්ඡා කළා. අවසානයේ දී එයින් ලැබුණු ප්‍රතිඵලය නම් ආරක්ෂක අමාත්‍යාංශය වගේ විවිධ ආයතන කිහිපයක් මුල් වි මේ කොවිඩ් වෛරසය පවතින සමයේ මාධ්‍ය තුළ පැවතිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒම. එහිදී ඔවුන් පෙන්වා දෙනවා අනිසි ලෙස කොවිඩ් වෛරස් තත්ත්වය තුළින් වාර්ගිකත්වය හුවා නොදැක්විය යුතු බව. මෙලෙස යම් ආකාරයකට සහායක් ලබා දීමේ හැකියාවක් අපට හැකිවුණා. බොහෝ අවස්ථාවල දී මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණයේ යෙදීමට අත්වැලක් නැහැ. එබැවින් අපටද අවශ්‍ය වන්නේ එවැනි මාධ්‍යවේදයෙන්ට උදව් කිරීමට ඔවුන්ට සහයක් ලබාදීමට. විටක පෞද්ගලිකව ඔවුන් අපගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ පුවත්පතේ මාධ්‍ය ආචාරධර්මයක් උල්ලංඝනය වෙලා තිබෙනවා අපි එය දැක්කද? ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට හැකිද යන්න. බොහෝ අවස්ථා වලදී මෙමගින් අනෙකුත් පුද්ගලයන් ලබා ගන්නා පන්නරය වැඩි. මේ වන විට අපි නොමැතිව පවා සියලුම දේ පිළිබඳ සාකච්ඡා කිරීමට වෙනම පිරිසක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපගේ වැඩ කටයුතු නිසා ප්‍රගමනය පැති දෙකකින් සිදු වෙලා තියෙනවා. එක මාධ්‍ය නිවැරදිව ඉදිරියට රැගෙන යාම, දෙක, මාධ්‍ය භාවිත කරන්නන් තුළ විචක්ෂණ චින්තනයක් ඇතිව භාවිතයට යොමු කිරිම.

මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ සාකච්ඡා කරන සෑම අවස්ථාවෙම මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සිතන්නේ මාධ්‍ය නියාමනයක් පැමිණෙන බව, ඒවාට අනවශ්‍ය ඇඟිලි ගැසීමක් සිදු කරන බව, ඒ ගැන මොකක්ද ඔබේ අදහස?

බොහෝ අවස්ථාවලදී මාධ්‍ය නියාමනය වන්නේ වාරණයෙන්. එක් පාර්ශවයක් කියනවා ස්වයං පාලනය දිගින් දිගටම පැවතිය යුතුයි. තවත් පාර්ශ්වයක් ප්‍රකාශ කරනවා ස්වයං නියාමනය සෑහෙන කාලයක් තිබුණත් එයින් බලපෑමක් සිදුනොවුණු බව.
නමුත් රාජ්‍ය යන සංකල්පය මාධ්‍ය තුළට පැමිණීමත් සමඟ බොහෝ අවස්ථාවලදී ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන් ඒ ඔස්සේ මාධ්‍යයන්ට ඇඟිලි ගැසීමක් සිදු වෙනවා. නමුත් මාධ්‍යන්ට ස්වයං නියාමන පද්ධතියක්ද පවතිනවා. එය ප්‍රයෝජනවත්. රාජ්‍ය යන සංකල්පය හරහා ලබාදෙන තොරතුරු පැතිරවීමේ දී විශ්වාස කළ නොහැකි අවස්ථා ගැටළුකාරී තැන් තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ දී වඩාත් උපකාරී වන්නේ ඔවුන්ට අනුගමනය කළ හැකි පද්ධතියක් මිස වෙනයම් ආකාරයකට ඔවුන්ව හසුරවන පද්ධතියක් නොවේ.

මාධ්‍ය ආයතන ලාභ ලබන්නනම් ආචාර ධර්මවලට අනුගත වෙලා කටයුතු කරන්න බෑ කියලා මතයකුත් තියෙනවානේ. ඒ පිළිබඳ ඔබේ අදහස?

මෙහිදී පැන නැගෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා. ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වය ගතහොත් එය මොනතරම් දුරට දේශපාලනිකද සහ ලංකාවේ එක් පුද්ගලයකුට මාධ්‍ය කිහිපයක් අයිතිකර ගැනීමට තිබෙන හැකියාව. මෙය වැළැක්වීමට නීතියක් නිර්මාණය වෙලා නෑ. උදාහරණ ලෙස රාජ්‍ය යන සංකල්පය තුළ රාජ්‍ය රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත්  යනාදී ලෙස විශාල වපසරියක් තුළ කටයුතු කරනවා. පෞද්ගලික නාලිකා තුළත් එවැනි වපසරියක් අපි දකිනවා. නමුත් එවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය හිමිකාරීත්වය පිලිබද පාරිශුද්ධභාවය තිබෙනවාද යන්න ප්‍රශ්න කළ යුතුයි. අපි ඒ පිළිබඳව 2018 දී පළ කෙරු Media ownership monitor වාර්තාව තුළින් අධ්‍යනය කිරීමේ හැකියාවක් පවතිනවා ඒ ගැන. මේ මාධ්‍ය හිමිකාරීත්වය නිසා ඇතිවන ගැටලු බොහෝ දුරට අත්දැකීමේ හැකියාවක් තිබෙනවා මැතිවරණ කාල සීමාවේ. අනෙක් අතට වෙළෙඳපොළ ඉල්ලන දේ ලබා දිය යුතු ද? යම් ප්‍රශ්නයේදී යම් කාරණාවකට තමන් සම්මුඛ වන මේ පුවත මොනතරම් දුරට නිවැරදිද යන්නත් එහි මූලාශ්‍ර පිළිගත හැකිද යන්නත් සොයා බලන තැනට මාධ්‍ය භාවිත කරන්නන් නිර්මාණය කළ යුතුයි. ඉල්ලන දේම ලබාදීම මාධ්‍ය තුළින් සිදු කළ යුතුද නැතහොත් ඉන් එහා ගිය දෙයක් සිදු කළ යුතු ද යන්න ප්‍රශ්න කිරීම වැදගත්.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *