ලංකාව හා ජපානය අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා එයින් බැහැර යන්නට බැරිව මේ අවුල් දික් ගැහෙනවා

| එම්. ජේ. ආර්. ඩේවිඩ් |

ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සිට අද දක්වා විකාශනය කොහොම ද සිදු වුණේ?

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භය සිදුවන්නේ පර්යේෂණාත්මක කාර්යයක් විදිහට. තාක්ෂණය අත්හදා බලන්න උනන්දු වෙච්ච පිරිසක් හිටියා, ඔවුන් අතර විදේශිකයන් විශාල පිරිසක් හිටියා, (බ්‍රිතාන්‍ය ජාතිකයින්) මේ අයගේ උනන්දුව මත ඇතිවෙනවා. ඉන් අනතුරුව මේක විශාල වශයෙන් භාවිත වන්නේ සංස්කෘතික කාරණා සඳහා, විශේෂයෙන් එවකට ජාතික සංස්කෘතිය අනන්‍යතාවය තහවුරු කිරිමේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ වෙලා තිබුණා. මේ සමාජ ව්‍යාපාරයේ ප්‍රකාශන මාධ්‍යයක් විදිහට තමයි ලංකාවෙි ගුවන් විදුලිය ව්‍යාප්ත වන්නේ මුල් අවධියේ දී. නමුත් ඉන් අනතුරු කාලවල දී එය රජයේ දේශපාලන උපකරණයක් හැටියටත් පාවිච්චි වෙනවා. මේ දෙකේ සංකලනයක් අතරතුර එක ම ගුවන් විදුලි මාධ්‍යයක් පැවතීම නිසා ඒ කාලේ පෞද්ගලික මාධ්‍ය නොතිබූ නිසා, මෙහි යම්කිසි පොදු සේවා ලක්ෂණත්, ඒ කියන්නේ හැමෝට ම වැඩක් ගන්න පුළුවන් හැමෝට ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහේ දැනුම විනෝදය ලබා දෙන මාධ්‍යයක් හැටියට මෙය වර්ධනය වෙන්න පටන් ගන්නවා.

වෙළඳ සේවයේ ආරම්භයේ සිට සේවායෝජක ගුවන්විදුලි සේවා රැසක් ආරම්භ වෙලා තියනවා. වර්තමානයේ දක්වා එම ගුවන්විදුලි වැඩසටහන් නාලිකාවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන්යෙන් ඔබගේ අදහස මොකක් ද?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් පරිබාහිරව මුලින් ම සිරස ආයතනයට ගුවන්විදුලි පවත්වගෙන යාමේ බලපත්‍රයක් ලබා දෙනවා. එතැන් පටන් නාලිකා විශාල ප්‍රමාණයක් මූලික වශයෙන් විනෝදාංශය මුල්කර කරගෙන තමයි ක්‍රියාත්මක වන්නේ. යම් යම් සමාජ සත්කාර ක්‍රියාවෙනුත් දැනුම ප්‍රචලිත කරන ක්‍රියාමාර්ගත් පෞද්ගලික ගුවන්විදුලි තුළ ඇතිවෙනවා. නමුත් මෙහි ප්‍රධාන අරමුණ තමයි ලාභ ඉපයීම. නමුත් ප්‍රායෝගික වශයෙන් ලාභ ඉපයීම වගේ ම, තමන්ගෙ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගැනීමත් මෙම පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍ය මගින් කෙරෙනවා. වැඩසටහන්වල ප්‍රමිතිය ගැන වාද විවාද කරන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන් ම මේ සඳහා නියාමනයක් හෝ සම්මත ප්‍රමිතියක් නැහැ. එතකොට ඒ ආයතනවලින් තමන්ගේ උවමනා පරිදි හා නැණ පමණට තමයි වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. මෙහිදී එක විදියකට අපි සතුටු වෙන්න ඕනේ මේ නාලිකා ඇති වීම සම්බන්ධයෙන්. යම්කිසි ප්‍රජාතන්ත්‍රීකරණයක් තිබීම නිසා.  ඒක පූර්ව ප්‍රජාතන්ත්‍රීකරණයක් නොවන්නේ ඒ බලපත්‍ර කොන්දේසි පැහැදිලි නැති බැවින්. ඒ වගේම ගුවන්විදුලි බලපත්‍රයක් ලබා ගන්නේ කොහොම ද කියන කාරණටත් විනිවිද පෙනෙන ආකාරයේ දැක්මක් නැහැ. ඒ නිසා ඒ පූර්ව ප්‍රජාතන්ත්‍රීකරණය වුණා කියන්න අමාරුයි.  කෙසේ උනත් ගුවන්විදුලි නාලිකා සංඛ්‍යාව  වැඩි වෙනවා. මෙහි යහපත් ලක්ෂණයක් තමයි අලුත් සන්නිවේදන පරපුරක් මෙරටට බිහිවෙනවා. අලුත් මාධ්‍ය අන්තර්ගතයන් බිහිවෙනවා. පර්යේෂණශීලීභාවයක් ඇතිවෙනවා. ඉතින් සමහරු නගන චෝදනාව තමයි මේකෙන් සංස්කෘතියට යම්කිසි දැනුවත් ආකාරයේ මැදිහත්වීමක් වෙන්නේ නැහැ. මීට වඩා යමක් කරන්න පුළුවන් ඒක වෙන්නේ නෑ කියන චෝදනාව පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවලට තියෙනවා. විනෝදාස්වාදය පැත්තෙන්, දේශපාලන පැත්තෙන් සමහරු යෝජනා කරනවා, මොවුන්ට එක එක දේශපාලන න්‍යාය පත්‍ර තියෙනව, වෙළෙඳ අරමුණු තියෙනවා කියලා. මේවා ඉටු කරන්න යාමේ දී ග්‍රාහකයාගේ අවශ්‍යතාවයන් නොතකා හරින තත්ත්වයක් තියනවා කියලා. මේක ගැටලුවක් වෙන්නේ ගුවන් විදුලි තරංග කියන්නේ පොදු දේපළක් හින්දා. උදාහරණයක් හැටියට ගංගාවක් ගත්තොත් ඔරුපාරුවලට යාත්‍රා කිරීමට හැකි විය යුතුයි. යම්කිසි පාලනයන්ට යටත්ව. ඒ ආකාරයෙන් පොදු දේපළ පොදු අයිතිය සඳහා, උවමනාවන් සඳහා පාවිච්චි කිරීමේ වගකීම එහි විකාශකයන්ට හමුවී තිබෙනවාද නැද්ද කියන කාරණය ප්‍රශ්නාර්ථයක්

මෑත කාලයේ ගුවන් විදුලිය ගැන කතා කරද්දී, ප්‍රාදේශීය ගුවන් විදුලි සහ ප්‍රජා ගුවන් විදුලි මෙහෙයුම් කටයුතු නතර කරන්න යෝජනාවක් ආවා. මේ තත්ත්වය ගුවන්විදුලි අනාගතයට කොයිතරම් දුරට බලපායි ද?

ශ්‍රී ලංකා ගුවන් විදුලිය සතු ප්‍රජා ගුවන්විදුලි සමූහයක් තිබුණා. ඒවායෙන් බොහෝමයක් අඩපණ වී හෝ වැසී ගොස් තිබෙනවා. ඒ වගේ ම ප්‍රාදේශීය සේවාවන් කිහිපයකුත් තිබුණා. නමුත් ආරම්භයේ පටන් ම මේ ආයතන එච්චර සැලැස්මක් සහිතව නෙවෙයි පටන්ගත්තේ. ඒ කියන්නේ මේවා පවතින්නේ කොහොම ද?  ආරම්භ කරාට මොකද මං හිතන්නේ ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රජා ගුවන්විදුලි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ දී මම කොයි ආකාරයකට හෝ සම්බන්ධ වෙලා තියෙනවා. එවකට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව හිටි සරත් අමුණුගම පසුගියදා පැවැති රැස්වීමක දී  ප්‍රේමකීර්ති සමරු රැස්වීම්ක දී කියා සිටියා, ඇත්ත වශයෙන් ම ප්‍රාදේශීය ගුවන්විදුලි ආරම්භ වන්නේ ඒ අවස්ථාවේ විකාශන පහසුකම් තිබූ නිසා. ග්‍රාහක අවශ්‍යතාව තේරුම් ගැනීමට වඩා ඒ කණු ටික තිබුණ නිසා. ගුවන්විදුලි තරංග විකාශනය කරන කණු තිබුණා හැම තැන ම. මේ කණුවලින් වැඩක් ගන්න ඕන කියලා හිතලාලු මේක මුලින් ම ආරම්භ කරන්න යෝජනා කළේ. අනිත් එක මේවට විශාල ශ්‍රවණ කලාප තිබුණා, ඇහෙන්න ඕන තැනයි ඇහෙන්න ඕන නැති තැනයි. ඒ නිසා ප්‍රාදේශීය බව කියන දේ රැක ගන්න බැරි වුණා. විසරණය කරපුහා ම විශාල පරාසයකට සමාජ අන්තර් ක්‍රියාව හරියට සිදුවන්නේ නැහැ. ඉතින් මේ ගැටලු හමුවේ ප්‍රාදේශීය හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් රාජ්‍ය විසින් පවත්වාගෙන යෑම දුෂ්කර වෙලා තියෙනවා. මෙය මම එක්තරා විදිහකට නරක දෙයක් විදියට දකින්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට මෙය පවත්වාගෙන යෑමට නොහැකි නම්, ගැටලුවක් තිබෙනවා නම්, හිතන්න ඕන වෙනත් විකල්ප ගැන. එක් විකල්පයක් තමයි මෙය ප්‍රජාවන්ට භාරදීම. මෙම විද්‍යුත් තරංග මාලාව ඒ ඒ ප්‍රජාවන්ට ලබාදෙන්න ඕනේ. මේ සඳහා දැන් තාක්ෂණය ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණය යටතේ වැඩි විකාශන ධාරිතාවයක් ලැබෙනවා.  විකාශන ධාරිතාවය භාවිත කරන්න කැමති ඕනෑ තරම් පිරිසක් ලංකාවේ සිටිනවා. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ සංවේදනි නමින් අන්තර්ජාල ගුවන් විදුලියක් පවත්වාගෙන යනවා. අපිට පේනවා මේකේ වැඩ කටයුතුවලට ගියාම මේකට සම්බන්ධ වෙන්න, මේකට සවන්දෙන්න, මේ ඔස්සේ තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න, විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඉතින් මේ පිරිස අතට මේක මාරු කරන්නේ කොහොම ද කියන දේ තමයි තියෙන අභියෝගය.

ගුවන් විදුලි සංඛ්‍යාත ඩිජිටල්කරණය වීම මේකට හොඳ විසඳුමක් වෙයි ද?

ඔව්. මං හිතන්නේ කොයි ආකාරයට හෝ අපිට ගුවන්විදුලි විකාශනය සඳහා ඩිජිටල් මාධ්‍ය භාවිත කරන්න වෙනවා. මොක ද ලෝකයේ ඇනලොග් කියන මාධ්‍ය පාවිච්චි කරනවා වෙනුවට ඩිජිටල් මාධ්‍ය ඇවිල්ල තියෙනවා. ලංකාවේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවුල නිසා මේක දවසින් දවස කල් යනවා. සමහරු කියනවා ජපන් ප්‍රමිතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය සඳහා භාවිත කළ යුතුයි කියලා.  තවත් සමහරු කියනවා ජපන් ප්‍රමිතියට වඩා යුරෝපීය ක්‍රමය වඩා කාර්යක්ෂමයි කියලා. මගේ දැනුමවත්කම් ආකාරයෙන් ලංකාව හා ජපානය අතර අත්සන් කරපු ගිවිසුමක් නිසා එයින් බැහැර යන්නට බැරිව මේ අවුල් දික් ගැහෙනවා. ඉතින් මේක අපි නිරාකරණය කරගත යුතුයි. මොකද ඩිජිටල් මාධ්‍යයට නොගිහිල්ලා අපි analog මාර්ගයෙන් ම ගුවන් විදුලිය විකාශන කටයුතු කරගෙන යනවා කියන එක හරියට දුම්රිය සඳහා වාෂ්ප එන්ජිමෙන් ඉදිරියට යන්න බලනවා වගේ වැඩක්.  මොක ද අපි අනිවාර්යෙන් ඒ තාක්ෂණයට යා යුතුයි. ඒ වගේ ම ඩිජිටල් මාධ්‍යයට ගොඩක් පහසුකම් ලැබෙනවා. පරිගණකය නිසා අපේ ජීවිතයට කොයි තරම් පහසුවක් ලැබිලා තිබෙනවා ද. පරිඝණයකින් කළ හැකි කාර්යයන් රාශියක් තිබෙනවා. ඒ වගේම තමයි ඩිජිටල් සංඛ්‍යාත භාවිතය නිසා අපිට සියුම් ශබ්ද විකාශනය කිරීමට අවස්ථාව ලැබෙනවා. අපිට virtual reality, augmented reality ඒ තාක්ෂණයෙන් අත්දකින්න පුළුවන්. ඔග්මන්ටඩ් රියලිටි කියන්නේ අපි සවන් දෙන දේ අපිට දැනෙන්න ක්‍රමයක් තියෙනවා. virtual reality කියන්නේ වෙනස් යථාර්ථයකට ගෙනියන්න පුළුවන්. මේ දෙකත් අපිට එක්කර භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ගුවන් විදුලි මාධ්‍ය හැඩරුව අපිට වෙනස් කරන්න පුළුවන්. ගුවන් විදුලි මාධ්‍යය, බොහෝ පැරණිය වන රමණිය බව සනාථ කරන මාධ්‍යයක්. හැමදාම අළුත් වෙනවා. මාර්කෝනිගේ ගුවන්විදුලිය අද නව හැඩරුවක් දරමින් තිබෙනවා. විශේෂයෙන් අපේ අලුත් පරිසරය තුළ අපි ගත්තොත් ඉන්ටනෙට් රේඩියෝ, වාහනයක් ඇතුළේ යනකොට අපිට ඉන්ටර්නෙට් එක තියෙනවා නම් අපිට ඕනෑම ඉන්ටනෙට් රේඩියෝ එකකට සවන් දෙන්න පුළුවන්. එතකොට විද්‍යුත් තරංග මාලාව ඔස්සේ පමණක් එන ගුවන්විදුලියට අමතරව ගුවුවන්විදුලි දස දහස් සංඛ්‍යාවක් අපේ ශ්‍රාවකයින්ට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා.  

නූතනයේ ගුවන්විදුලි ක්‍රියාකාරීත්වය තුළ දැකගන්න පුළුවන් දෙයක් තමයි වෙළඳ සමාගම් මගින් ගුවන්විදුලි සංඛ්‍යාත මිලදී ගැනීම් ඒක අභියෝගයක් වෙන්න පුළුවන් ද, ගුවන්විදුලියේ ගුණාත්මකභාවයට කොයි තරම් බලපායි ද?

මං හිතන්නේ ලෝකයේ ඕනෑ ම රටක ගුවන් විදුලිය වෙළඳ සමාගම්වලට ලබා දීමේ ස්වරූපයක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රටවල් කීපයක් තියෙන්න පුළුවන් වෙළඳ සමාගම්වලට සංඛ්‍යාත ලබා දෙන්නේ නැති. නමුත් පොදුවේ අපි දකිනවා ගොඩක් රටවල්වල වෙළඳ සමාගම්වලට මේක ලබා දෙනවා. මේක වෙළඳාම සම්බන්ධ කාරණයක්. ඒකේ වරදක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නේ මේක නියාමනයක් නැතුව වෙළඳ සමාගම්වලට ලබා දීම. තමන්ගේ දේශපාලන හිතවත්කම් මත ලබාදීම. කිසිදු ප්‍රමිතියක් නැතිව සංඛ්‍යාත පරාස භාවිත කිරීම. ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි වැදගත් වෙන්නේ. මේක රජය කළත්, වෙළඳ සමාගම් කළත් පුද්ගලයෙක් කළත් මේකට යම්කිසි නියාමනයක්, හැඩරුවක්, ප්‍රමිතියක් තිබෙන්න ඕනේ. මොක ද එහෙම නොවුනොත් තාක්ෂණික වශයෙන් අපි කියන දෙයක් කාටවත් ඇහෙන්නේ නැතුව යනවා හැමෝම මේකෙ කතා කරන්න පටන් ගත්තොත්. ඒක නිසා සංඛ්‍යාත පරාසවල යම් බෙදීමක් කරලා ඒවා ලබා දෙන්න ඕනේ තාක්ෂණික වශයෙන්. ඊට අමතරව මේක පොදු දෙයක්. උදාහරණයක් විදියට ගුවන් විදුලියක් දැම්මට පස්සේ හැමෝට ම ඇහෙනවා. පොඩි ලමයින්ට සුදුසු දේවල් තියෙනවා, නුසුදුසු දේවල් තියෙනවා. අපේ දවසේ කාලසටහන් අනුව බැලුවහම සමහර අවස්ථාවල නුසුදුසු දේවල් තියෙනවා. ඒවගේම අපේ ඉටු නොවූ අවශ්‍යතාවයන් තියෙනවා. මේ අවශ්‍යතාවයන් ඉටුකර ගන්න පුළුවන් මාධ්‍යයක් හැටියට මේක භාවිත කිරීම අපේ සමාජයේ වගකීමක්. ඒ නිසා වෙළෙඳ සමාගම්වලට ලබා දීම තුළ යම්කිසි අභියෝගයක් තියෙනවා.  පොදු දේපළක් යම්කිසි සමාගමකට ලාභය පිණිස ලබාදීම තුළ අභියෝගයක් තිබෙනවා. හැබැයි මේ අභියෝග ජය ගත යුතුව තිබෙනවා. හරියට නිකම් පාරේ යන නිසා හැප්පෙන්න වෙන්න පුළුවන්නේ,  ඒක ප්‍රශ්නයක්, මිනිස්සු හැප්පිලා මැරෙනවා. ඒක පාලනය කරන්න යම්කිසි නියාමනයක් තියෙනවා. මාර්ග නීති රීති. නීති කඩ කරන අය සම්බන්ධයෙන් කටයුතු කරන්න රථවාහන පොලිසියක් තිබෙනවා. උසාවි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප තුළ ආචාරධර්ම තිබෙනවා, වාහන පැදවිය යුතු ආකාරය පිළිබඳව. ඒ ආකාරයට ගුවන්විදුලි මාධ්‍ය වඩා ඵලදායි මාධ්‍යයක් ලෙස භාවිත කිරීම සඳහා නියාමනයක්, වැඩපිළිවෙළක්, ආචාරධර්ම, සමගාමි නියාමනයක් තිබිය යුතුයි.  සමගාමී නියාමනය කියන්නේ මේක නියාමනය කරගන්නවා එක්තරා ක්‍රම ප්‍රමාණයකට පනවනු ලද නීති රීතිවලින්. තවත් ප්‍රමාණයකට මේක නියාමනය වෙනවා සමගාමී නියාමනය තුළින් සහ පුළුල් වැඩපිළිවෙලක් තුළින්. මේ අභියෝගය ජයගත යුතුව තිබෙනවා.

විද්‍යුත් විකාශන අධිකාරි පනතත් යෝජනාවත් එක්ක ගුවන්විදුලි අන්තර්ගතයට සහ මාධ්‍ය නිදහසට කොයි විදියට බලපෑමක් සිද්ධ වෙයි ද. අපිට ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් ද? 

දැන් මෑත කාලයේ විද්‍යුත් විකාශ අධිකාරි පනත කියලා සංවාදයක් ඇති වෙලා තියෙනවා. නමුත් මට තාම දැනගන්න තිබෙන විදියට මේක පනතක් හැටියට ඇවිල්ලා නෑ. පොදු ලියවිල්ලක් විතරයි. කෙටුම්පතක් කියන්නත් අමාරුයි. ඒ තියා අපි සිංහල, දෙමළ ප්‍රකාශන දැකලා නැහැ. අනිත් එක විවාදාත්මක අවස්ථාවල දී ඉංග්‍රීසි පිටපතේ සඳහන් වෙන්නේ සිංහල ලියවිල්ල තමයි ප්‍රයෝජනයට ගන්නෙ කියලා. ඒ නිසා කියන්න පුළුවන් දැනට මේක තියෙන්නේ සාකච්ඡා මට්ටමේ කියලා. සාකච්ඡා මට්ටමේ තියෙන ලියවිල්ලේ තියෙන ප්‍රධාන ම ගැටලුවක් හැටියට මං දකින්නේ,  විකාශන හිමිකරුවන් සහ  රාජ්‍ය ගනුදෙනු  තමයි මේක ඇතුළෙ කතා වෙන්නේ. මෙතන දි අපිට අත්දැකීමක් තියෙනවා ලංකා විකාශන අධිකාරියක්, ස්වාධීන විකාශන අධිකාරියක් පිහිටන්නේ කොහොම ද කියලා යෝජනා කළා මමත් තවත් කිහිප දෙනෙකුත් 2015න් පස්සේ පත්වෙච්ච යහපාලන ආණ්ඩුව මගින්, මංගල සමරවීර අමාත්‍යවරයා පත්කළ කමිටුවකින්. එහි සභාපතිවරයා හැටියට කටයුතු කළේ මහාචාර්ය රොහාන් සමරජීව. යුනෙස්කෝවේ හිටපු අධ්‍යක්ෂක විජයානන්ද ජයවීර, කොළඹ  විශ්වවිද්‍යාල ආචාර්ය  ප්‍රදීප්  වීරසිංහ, ගුවන් විදුලි සංස්ථාවේ  හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු වන විජයදාස හේවගේ මහතාත් එහි සාමාජිකයන්. අපි ඇත්ත වශයෙන් ම අපේ පරිමාණයෙන් අංග සම්පූර්ණ ලියවිල්ලක් සකස් කර ජනමාධ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. අපේ අරමුණ වුණේ 19 වන ආණ්ක්‍රම විවස්ථා සංශෝධනයේ ප්‍රකාශිත වඩා නිදහස්කාමී සහ ස්වාධීන කොමිෂන් සභාවල නිර්මාණ නිර්ණායක අනුව යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන්න.  අපි යෝජනා කෙරේ ස්වාධීන විකාශන අධිකාරියක්, නමුත් දැන් යෝජනා වෙලා තියෙන්නේ ජනාධිපති විසින් පත් කරනු ලබන ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය ලබන විකාශන අධිකාරියක්. එහිදී නිල බලයෙන් පත් වෙනවා අමාත්‍යංශ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා. එහෙම උනාම වෙන්නේ මොකද! රජය මේක පාලනය කරන්න පටන් ගන්නවා. රජයේ පාලනය වැඩියි. ඒ වගේ ම පුද්ගලික හිමිකරුවන් හා රජය අතර යම්කිසි ගනුදෙනුවක් යන්න පටන් ගන්නවා. මොකද හැමදාම මේකේ විකාශය අලුත් කරන්න ඕනනං, මොකද ලංකාව වගේ රටක ආණ්ඩුව සහ රජය කියන එක දෙකක් වගේ පෙනුනට එකක් වගේ තමයි වැඩ කරන්නේ. විශේෂයෙන් අපේ ආණ්ඩුව සහ මහජනතාව අතර තිබෙන වියෝවීම දැඩියි. රජය සහ ආණ්ඩුවට පුළුවන් මහජන කැමැත්ත නොතකා යම් යම් වැඩ කරගෙන යන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ගැටලුවක් මේ නිසා අපි කල්පනා කරේ වඩා ස්වාධීනව විකාශන අධිකාරියක්. මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබෙන, මේ පිළිබඳ විවිධ සුදුසුකම් සපුරන පුද්ගල මණ්ඩලයක් විසින් රජයේ න්‍යායපත්‍රයට හෝ වෙළඳ න්‍යාය පත්‍රයට යට නොවී තමන් කටයුතු කරගෙන යා හැකි ආකාරයේ ගුවන්විදුලි විකාශනාගරයක් තමයි අපි යෝජනා කරලා තිබුණේ. වාර්තාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා නමුත් ගුවන්විදුලි අමාත්‍යාංශය මොකද කළේ! එම යෝජනාව යොමු කළා මාධ්‍ය හිමිකරුවන් වෙත. දැන් අපේ යෝජනාව සාකච්ඡා කරන්න ඕන ප්‍රධාන වශයෙන් ජනතාවත් එක්ක. මොකද මේ රජයියි විකාශන හිමිකරුවෝයි විතරක් එකතුවෙලා විකාශන අධිකාරියක් පනත හදන එක එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රධාන කොට ම ග්‍රාහකයා මේකෙ ඉන්න අවශ්‍යයි. ග්‍රාහකය මොකද කියන්නේ, ඔවුන්ගේ යෝජනාව මොනව ද, ඔවුන්ගේ අදහස් මොනව ද, ඒවත් බලලා මේ කෙටුම්පත සම්පූර්ණ කරන්න කියන එක තමයි අපි යෝජනා කළේ. නමුත් අවාසනාවකට මේ යෝජනාව ඒ ආකාරයෙන් සාකච්ඡාවට පත්වුණේ නැහැ. අපිට පුළුවන් මේ පිළිබඳ රජයත් එක්ක මැදිහත්වෙලා සාකච්ඡා කරලා ඒ බලධාරීන් එක්ක සාකච්ඡා කරලා මාධ්‍යය හිමිකරුවන් එක්ක සාකච්ඡා කරලා ඉදිරියට යන්න. මේ ආකාරයට විද්‍යුත් තරංග මාලාව සකස් කර ගත යුත්තේ කෙසේද ඒ නියාමනය කරගත් යුත්තේ කෙසේද ඒ තුළ කවර අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කළ යුතු ද කියන එක ගැන ග්‍රාහකයන්ට වැදගත් වන සංවාදයක් අවශ්‍යයි. මෙය හුදු රජයේ පාලනය යටතේ ම පවත්නා ආයතනයක් වීම ගැටලු සහගතයි. මේ ගැටලුව අපි දකිනවා දැනට ඉදිරිපත් කරල තියෙන ලියවිල්ල අනුව. 

ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය පරිවර්තනය වෙලා තියෙනවා තාක්ෂණයේ දියුණුවත් එක්ක. ලංකාවේ විශ්වවිද්‍යාල පවා ආරම්භ වන වෙබ් රේඩියෝ සංකල්පය, අපි බලා බලාපොරොත්තු වන ගුවන් විදුලියේ අනාගතයක් කරා යන්න හේතුවක් වෙයි ද?

ගුවන් විදුලිය වගේ ම වෙනත් කවර කාරණයක් සම්බන්ධයෙන් ගත්තත් විශ්ව විද්‍යාලය කියන්නේ දැනුම් උල්පතක්. දැනුම් උල්පත් කියන්නේ මොකක් ද! මුලින් ම වතුර උනන තැනනේ. මේ උල්පත් තමයි දැන් මතු වෙලා තියෙන්නේ. මං හිතන්නේ ගුවන්විදුලි මාධ්‍ය හැඩරුව වෙනස් වෙමින් තිබෙනවා. උදාහරණයක් හැටියට එදා ශ්‍රවණය පමණක් තිබූ ගුවන් විදුලියට අද පින්තූරත් එකතු කරගෙන තිබෙනවා. අද අපි කතා කරනවා පින්තූර රේඩියෝවක් ගැන, visualization එහෙමත් නැත්නම් දෘශ්‍ය කරණය ගැන කතා කරනවා.   මේ ආකාරයේ පර්යේෂණාත්මක ගුවන්විදුලියක් මට මතකයි ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ ආරම්භ කරනකොට අපි ගුවන්විදුලියක් පිහිටවන්න යෝජනාවක් තිබුණා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කැළණිය විශ්වවිද්‍යාලය ඉතාමත් සාර්ථක ආකාරයෙන් වෙබ් මාධ්‍යයත් අනෙකුත් මාධ්‍යයත් එකතු කරගෙන පවත්වාගෙන යනවා. තවත් විශ්වවිද්‍යාල ගණනාවක් තමන්ගෙ පොඩි ගුවන් විදුලි නාලිකා පටන් ගෙන තිබෙනවා. මටත් මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන්න ලැබුණා. ඔවුන් අතර අපූරු උනන්දුවක් තිබෙනවා. ශිෂ්‍යයන් අතරත් උනන්දුවක් තිබෙනවා ඉතින් මා හිතනවා මේ අනාගත ගුවන් විදුලිය ලංකාවේ මේ මොහොතේ බිහි වෙමින් තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ත්‍රිකුණාමල මණ්ඩපය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය මේ වගේ විශ්වවිද්‍යාලවල මෙවැනි ජාලයක් ඇති වෙන එක යහපත්. ඇත්ත වශයෙන් ම විශ්වවිද්‍යාලයෙ ඉතා ම නිර්මාණශීලී බුද්ධි ගවේෂණයේ යෙදෙන පිරිස් ඉන්නවා. ඉතින් මං හිතනවා මේ ඉතාමත් යහපත්. තාක්ෂණික අතින් ගත්තොත් දැන් වාහනවලට වයිෆයි ආවට පස්සෙ, නිවසට වයිෆයි ආවට පස්සෙ, වැඩ කරන තැන්වලට වයිෆයි ආවයින් පස්සේ, ඒ වගේම ඕනෑම ගුවන් විදුලියක් ඒකේ අහන්න පුලුවන් වෙන්න ඔනේ. එතකොට විද්‍යුත් තරංග මාලාව ඔස්සේ එන ඒවා විතරක් නොවේ මේ විශ්වවිද්‍යාලවල රේඩියෝ වාහනවලින් අහන්නත් පුළුවන්.  ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ශව වැඩි සංඛ්‍යාවක් තිබෙනවා.  ඉතින් මේ වාසි අපි ප්‍රයෝජනයට ගත යුතුයි. ජංගම දුරකථන පරම්පරාව සමගින් ගුවන්විදුලි ජාලයක් බිහිවෙයි. ජාලය තුළ අපිට දැනුම, විනෝදය සහ වඩා වැදගත් සංවිචාරනීය ලෙස යමක් සාකච්ඡා කිරීම කළ හැකියි. සංවිචාරනීය කියන්නේ තර්කානුකූලව බුද්ධිමත්ව කරුණු කාරණා එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එවිට අපේ විශ්වවිද්‍යාල දරුවන් කඳුළු ගෑස්වලට, ජල ප්‍රහාරවලට, තුවක්කු උණ්ඩවලට ලක්වවෙන එක වළක්වලා, ඔවුන් මේ රටේ සංවර්ධනයට හවුල් වෙන, අලුත් දේ හොයාගන්න පරම්පරාවක් වේවි. මේක තුළ බිහිවන මුල් සංවාදයේ කළල රූපය මා මෙහි දකිනවා. මෙහි වඩාත් ම වැදගත් දේ තමයි අපි කියනවා බොහෝවිට තරුණයන්ට නායකත්වය දිය යුතුයි කියලා. එහෙම කිව්වට අපේ සමාජයේ ඒකට වැඩපිළිවෙළක් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මොකක් හරි වැරැද්දක් කරපුවහම ඔවුන්ව විවේචනය කරන කොටසක් ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන් ම මේ අයට නායකත්වය ගන්න පුළුවන් වැඩපිළිවෙළක් අපේ වැඩිහිටි පරම්පරාව හදලා තියෙනව ද කියලා අපි අහන්න ඕනි. ඉතින් ඔවුන්ව නව සංවාදයකට නව මාවතකට ගෙන්වා ගැනීමේ අපූරු මෙවලමක් විදියට විශ්වවිද්‍යාල ආශ්‍රිතව බිහි වන web radioව මා දකිනවා.

සටහන | සෙව්මිණි සිසිරගේ

ඡායාරූප | සුපිපි කාවින්දි විහඟිකා

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *