ලිවිසැරියෙන් මැවූ ස්ත්‍රීත්වය

සුපුනි ප්‍රාර්ථනා කොඩිකාර |

ස්වභාවධර්මයේ අපූර්ව වූ නිර්මාණය කාන්තාවයි. ලෝකයේ පැවැත්ම රදා පවතින්නේ ඈ නිසා ය. දියණියක, තරුණියක, මවක ලෙස භූමිකාවන් රඟ දක්වන ඇය විඳින බාධක – කම්කටොළු පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත. දෙවියන් මිනිසා මැවූ බවත්, මිනිසාගේ තනිකමට කාන්තාව මැවූ බවත් පුරාතනයේ සඳහන් ය. ඒ අනුව ඕනෑම කවියෙකුගේ, ලේඛකයෙකුගේ, සිත්තරෙකුගේ සුන්දරම වස්තුව වී ඇත්තේ ස්ත්‍රීයයි.


පුරාතන සාහිත්‍ය විමසා බලන කල කාන්තාව යම් යම් දේට උපමා කරමින් සාහිත්‍ය නිර්මාණ රචනා වී ඇති බව පෙනේ. රණතිසර පියයුරු, අඩසඳවන් නළල, නා දළු මෙන් තොල් කාන්තාවන්ගේ එකී වර්ණනයට පාත්‍ර වී ඇත. රජවරුන් පවා කාන්තාවන්ගේ රූපශ්‍රීයට වශී වූ බවත්, ඔවුන්ගෙන් අසීමිත සතුටක් ලබාගත් බවත් රාහුල හිමියන්, වෑත්තෑවේ හිමියන්, අමාවතුරේ ගුරුළුගෝමීන් පවා වර්ණනයට ලක් කර ඇත.


සාහිත්‍යයට ඇත්තේ දිගු ඉතිහාසයකි. දැනට විද්‍යාමාන වන දෘශ්‍ය මූලාශ්‍ර අතර සීගිරි ගී අපට හමු වන්නේ එකල කාන්තාවන් යොදාගනිමින් ගෙන ගිය වෛශ්‍යා වෘත්තිය සමාජගත වී තිබූ ආකාරය පසක් කර දීමටයි. මෙම කාන්තාවන් අභිසරාලියන් ලෙස නම් කළ සාහිත්‍යකරුවා ඔවුන්ගේ හැසිරීම් පවා අප්‍රසන්න වූ බව එකී කවි මඟින් ගම්‍ය කරයි. තම ස්වාමියාගේ සම්පත් හිඟ වන විට අන් පිරිමින් සමඟ සුහදකම් පවත්වන්නට ගිය සීගිරි ළඳුන්ට චෝදනා කළේ එකල සමාජ තත්ත්වය පෙරදැරි කරගෙනයි. බුදුසිරිත පදනම් කොටගෙන සාහිත්‍ය නිර්මාණ ආරම්භ වීම ද එතැන් පටන් සිදුවිය. දොළොස් මහා කවීන්ගේ ආගමනයත්, ඒ අතර කාන්තා නියෝජනයක් ද සිටි බව දැක්විය හැකි ය.


සිංහල සාහිත්‍යයේ ගමන්මඟ යුගාන්තික වශයෙන් ගත් කළ දඹදෙණි යුගයේදී ස්ත්‍රිය පිළිබඳ දක්වන්නේ මෙසේ ය. දෙවන පරාක්‍රමබාහු රජුගේ කවිසිළුමිණ ගැහැණියගේ වේදනාව පිළිබඳ විවරණය කරයි. පූජාවලියේ එන යශෝධරාවන්ගේ කතා වස්තුවෙන් පතිවත රැකි කාන්තාවක් පිළිබඳ දෘෂ්ටියක් මවයි. එකී කෘතියේ එන ප්‍රජාපතී දේවියගේ කතාවේ දී තමන්ගේ දරුවා නොවී සුලු මව වුවත්, සිදු කරන මෙහෙය සාහිත්‍යකරුවා දක්වන්නේ මාතෘත්වය පෙරදැරි කොටගෙන ය.

සද්ධර්මරත්නාවලියේ එන උත්තරාවන්ගේ කතාවෙහි එම යුගයේ කාන්තාවන් අනාදිමත් කාලයක සිට නගර ශෝබනියක ලෙස කටයුතු කළ බවත් සඳහන් කරයි. එම කෘතියේ එන පටාචාරා කතා වස්තුවේදී ඇය කාලකණ්ණි ගැහැණියක් ලෙස නිරූපණය වන්නේ කතාවේ ඇති ස්වාමියා හා දරුවන් මිය යෑම, දෙමාපියන් මිය යෑම ආදී අවස්ථාවන් වලට අනුව ය. අවසානයේ ඇයට විනයධර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබීමත් කතුවරයා දක්වන්නේ කාන්තාවන්ට ආදර්ශයක් ලබාදෙමිනි.


කුරුණෑගල යුගයේදී ජාතක කතාව හරහා ගොඩනැඟෙන සාහිත්‍ය මඟින් කාන්තාව හරහා එකී සමාජ තත්ත්වය නිරූපණය කරයි. ගැහැණිය කටුකයි, චපලයි, අවිශ්වාසයි, බොළඳයි යන්න සාහිත්‍යකරුවා දක්වා ඇත. එකල ආගමික සාහිත්‍යයක් පැවති නිසා ස්ත්‍රියට ලැබුණේ අවම ස්ථානයකි. ඇයට නිර්මාණකරණය හා අධ්‍යාපනයට අවස්ථාව නොලැබුණි. ජාතක පොතේ එන කතා 65ක් ම පාහේ කාන්තාවගේ නුගුණ වර්ණනා කර ඇත. අන්ධභූත ජාතකය තුළ පුරුෂයාට සසරින් එතෙර වීමට නොහැකි විශාල බැම්ම කාන්තාව බවත්, ආසමන්ත්‍ර ජාතකයේ දී ස්ත්‍රීන් අසත්පුරුෂයන් බවත්, වයසට ගිය කල්හි පවා රාග සිත් ඇති කරගන්නා බවත් සඳහන් කරයි. කුස ජාතකයේදී පවා පබාවතියගේ රූපසොබාව නිසා රජවරු අතර යුද්ධයන් පවා හටගත් බව ඉතිහාසයේ සඳහන් ය. එහෙත් සම්බුලා ජාතකයේදී තම ස්වාමියා වෙනුවෙන් යුතුකම් ඉටු කරන භාර්යාවක්, පතිවත රැකි තැනැත්තියක් බව ගම්‍ය වේ. ඇයගේ මනෝභාවයන් සිල්වත් බිරිඳක් වීම හා බුදුදහමට ලැදි බව ඇයගේ චරිතය තුළින් ගෙන ඒමට සාහිත්‍යකරුවා උත්සහ දරයි.


දඹදෙණි යුගයෙන් පසු සාහිත්‍ය කලාවේ සුවිශේෂී යුගයක් වන්නේ කෝට්ටේ යුගයයි. කෝට්ටේ යුගය කියූ පමණින් අප කාටත් සිහි වන්නේ සන්දේශ කාව්‍යය යි. සන්දේශ සාහිත්‍ය තුළ ඇති කාන්තාවන් මනා රූ සපුවක් ඇත්තන් ය. ඒ යුගයේ සශ්‍රීකත්වය පෙන්වීමට එය කදිම නිදසුනකි. දුක් විඳින කාන්තාවන් සන්දේශ තුළ අපට හමුවන්නේ නැත. රති කෙළියේ යෙදෙමින් ඉතා සතුටින් කාලය ගතකරන කාන්තාවන් අපට රාහුල හිමිගේ සැළලිහිණි සන්දේශයෙන් ද හමු වේ.
වෙසඟන තුඟු තනයුග රොන් කොකුමඟර
විස එත මද පවන් හැදවිල් ලිහිණි සර
ගොස අලුයම් පස තුරා සවණතෙහි කැර
ඇස නිදි ගැට හැර නැඟ සිටු උදාකර


හංස, පරවි, ගිරා, කෝකිල සන්දේශ වලින් පවා කාන්තාවගේ සුන්දරත්වය මැවූ බව හා පාඨකයාගේ රස නහර පිනාගිය බව සඳහන් වේ. පැරකුම්බා සිරිත තුළ කාන්තාවන් ප්‍රේමයෙන් මුසපත් වී රජවරුන්ට ආදරය දැක්වූ බව ගම්‍ය වේ. රාහුල හිමියන් කාව්‍යශේකරය රචනා කරන්නේ උලකුඩය දේවියට පුතෙක් ලබාගැනීමටයි. අම්මා කියන උතුම් නාමයට අර්ථයක් ලබාදෙමින් අනවශ්‍යය සබඳතා වලට යොමු වීමෙන් ස්ත්‍රීන් හට සිදුවන දේවල් පිළිබඳව ද රාහුල හිමියන් මෙහිදී සඳහන් කරන්නේ කාන්තා සමාජයට ආදර්ශයක් සපයමිනි. ගුත්තිල කාව්‍යයේ ද කාන්තාව පිළිබඳව වර්ණනයට පාත්‍ර වන අතර, විටක කාන්තාව උපහාසයට ද ලක් කරයි.


සිංහල සාහිත්‍ය ගමන්මඟෙහි ස්ත්‍රීයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෑම සාහිත්‍යකරුවෙකු ම ස්ත්‍රියකගේ සුන්දරත්වය, චපල බව, කාමුකත්වය ශෘංගාරයෙන් මවා තම නිර්මාණ වලට පාදක කරගනී. එහෙත් ඇතැම් සාහිත්‍යකරුවෝ ස්ත්‍රීන්ගේ දුර්ගුණ විවරණය කරති. එහෙයින් අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් සාහිත්‍යධරයන් කාන්තාව වස්තු විෂය කරගෙන නිර්මාණ කරති. අතීතයේදී බුදුදහමින් පෝෂණය ලැබූ සංස්කෘතියක් උරුම සිංහලයෝ ඒ අනුව තම ජීවිතය හැඩගස්වා ගත්හ. නමුත් ලෞකික සුබවිහරණයේදී වාණිජමය සමාජ ක්‍රමයක් බිහි වීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීමය වශයෙන් වෛශ්‍ය වෘත්තියට මෙරට කාන්තාව යොමු වූ බව ඉහත සාහිත්‍ය කෘති අධ්‍යයනයෙන් විද්‍යාමාන වේ. එකල සාහිත්‍ය කෘති මඟින් සාහිත්‍යකරුවාගේ අපේක්ෂාව වී ඇත්තේ කාන්තාව හරහා වර්තමාන සමාජය නිරූපණය කිරීමයි. එහෙයින් සමකාලීන සමාජයේ කාන්තාවන්ට ආදර්ශයක් ලබා ගැනීමට පුරාතන සාහිත්‍ය උපකාර වූ බව මෙයින් විද්‍යාමාන වේ.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *