සන්නිවේදකයාට භාෂාවේ වැදගත්කම – ක්‍රිසිල් සෙට් සිට රේඩියෝව දක්වා

| රසාන්දි විතාරණ |

ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහයන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරෙනි.

ක්‍රිසිල් සෙට් යුගය

“ජනසන්නිවේදන මාධ්‍ය” යන්න සිංහල ශබ්ද කෝෂයට ඒමට පෙර සිටම පුවත්පත හා ගුවන්විදුලිය තම   මාධ්‍ය වගකීම ඉටු කර ඇත. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය යනුවෙන් එකී මාධ්‍යන් නම් කර නොතිබූ යුගයක “ක්‍රිසිල් සෙට්” එක බොහෝ දෙනෙකුගේ  සන්නිවේදන මාධ්‍ය වී තිබුණි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සමකාලීනයකු වූ ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පී කරුණාරත්න අමරසිංහයන් පවසන පරිදි එතුමන්ගේ පළමු මාධ්‍ය අත්දැකීම් වන්නේ ද මෙම ක්‍රිසිල් සෙට් එක ය. “ක්‍රිසිල්” නැමැති කඩතොලු සහිත ගල් විශේෂයක් හා තඹ කම්බි සම්බන්ධ කර සැකසූ මෙම උපකරණය ප්‍රාථමික ගුවන්විදුලි යන්ත්‍රයක් විය.

මුල් යුගයේ ගුවන්විදුලියේ ගීත, නාට්‍ය, ළමා වැඩසටහන් ජනප්‍රිය මට්ටමක පැවතී ඇති අතර වෙසෙසින් ම “ළමා පිටිය” වැනි වැඩසටහන් ළමා ප්‍රජාව තුළ ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ ආශාව ඇතිකරවීමට සමත් වී ඇත. මෙම යුගය තුළ පටිගත කිරීමකින් තොරව සජීවීව ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කළ නිසාවෙන් එකල නිවේදන හා හඩකැවිම් ශිල්පීන් එකී ක්ෂේත්‍රයන්හි දක්ෂයන් බවට පත්වූ​හ. නමුදු කරුණාරත්න අමරසිංහයන් “සර් අයිසැක් නිව්ටන්ගේ” සංවාදයක් හරහා හඬකැවීම් ශිල්පියකු ලෙස ගුවන්විදුලි මාධ්‍යයට අත්පොත් තබන 1950 දශකය වන විටත්, ගුවන්විදුලියට සාපේක්ෂව පුවත්පත වැඩි මහජන ආකර්ෂණයක් ලබා ඇත. එයට ප්‍රධානත ම හේතුව වූයේ ගුවන්විදුලි යන්ත්‍ර හිඟකමයි.

ගුවන්විදුලි හා රේඩියෝ ඝට්ටණය සහ එකමුතුව

මුල් යුගයේ ගුවන්විදුලි වැඩසටහන් විවේචනය කරමින් පුවත්පත් ලිපි පළ කිරීමේ කලාවක් පැවතුණි. “ධර්මසිරි ජයකොඩි” නමැති ආරූඪ නාමයකින් ලංකාදීප පුවත්පතෙහි මෙම ලිපි පළ වූ අතර එම යුගයෙන් පසු එවැනි අත්දැකීමක් පාඨකයන්ට හිමි නොවී ය. කෙසේ වෙතත් “රේඩියෝ සිලෝන්” නමින් හැඳින්වූ මුල් යුගයේ ගුවන්විදුලිය තුළ ඉංග්‍රීසි භාෂා වැඩසටහන් වැඩි වශයෙන් දක්නට ලැබුණි.

පාසල් විෂය මාලාව තුළ හෝ මාධ්‍ය කලාව විෂයක්, ශාස්ත්‍රයක් ලෙස දක්නට නොලැබුණ ද මෙකල  ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රඡාව අඩුවක් නොවී ය. “මාධ්‍යකරුවා” නැමැති වචනයක් හෝ ශබ්දකෝෂයේ නොතිබූ හෙයින් වර්තමාන පුවත්පත් කලාවේදියා එවකට “පත්තරකාරයා” විය. එකල එය ගරු නාමයකි. ඉංග්‍රීසි භාෂාවේ එන “Artiste” නමැති වචනයේ සිංහල අනුවාදයක් ලෙස “ගුවන්විදුලි ශිල්පියා” කරලියට පැමිණෙන ලදි. එකල මනා භාෂා ඥානයකින් හෙබි  පුවත්පත් කලාවේදීන් ගුවන්විදුලි වැඩසටහන් සඳහා සහභාගී වූ​හ. ඒ අතර ඇතැම් පිරිස් ද්වී භාෂා, ප්‍රචීන භාෂා ඥානය හිමි පඬිවරුන්  බඳු විය. සිංහල භාෂාවේ වුවද මනා වූ ව්‍යාකරණ ඥානයන් ඇත්තවුන් ය. ඒ ඒ විෂයන්හි නිපුනත්වයටපත්, සමාජය වැදගත් යැයි සම්මත උගතුන්, වියතුන් හට ගුවන්විදුලි වැඩසටහන් සඳහා ආරාධනා කළ නිසාවෙන් ම මුල් යුගයේ ගුවන්විදුලිය තුළ අද නොමැති ප්‍රමිතියක් දක්නට ති​බී ඇත.

ගුවන්විදුලිය පිරිහීමට හේතු

විශේෂයෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ දක්නට නොලැබෙන ඇතැම් තත්ත්වයන් එකල තිබී ඇත. ආධුනික ශිල්පීන්හට එකල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉතා හොඳ සහයක් ලැබී ඇති බවට සාක්ෂි ඇත. කරුණාරත්න අමරසිංහයන් වැඩිදුරටත් පවසා සිටියේ ඔහුගේ ගුවන්විදුලි ගමන මෙතරම් දුරකට පැමිණීමට හේතුව එකල ජේෂ්ඨයන්ගේ මඟපෙන්වීම  බවයි.  එනම් මුල් පරපුරෙන් පසු පරපුර පෝෂණය කළ සංස්කෘතියක් පෙර යුගයන්හි ගුවන්විදුලි මාධ්‍යය තුළ තිබුණි. පසුකාලීනව දේශපාලන අතපෙවීම් මත පිරිහීමට ලක්වූ මාධ්‍ය කලාව තුළ දේශපාලන ප්‍රතිරූප  ප්‍රචාරක මාධ්‍යක් ලෙස ගුවන්විදුලිය යොදාගෙන ඇත. ඒ අනුව එදා සිට ප්‍රඥාවන්තයින් අද සිටින පිරිස සමග සංසන්දනය කිරී​ම නොවටී. මුල් යුගයේ ද දේශපාලනය තිබූ නමුත් එකල දේශපාලනඥයා මනා කියවීමක් සහ ශිෂ්ටකමක් සහිත උගතුන් වූ බැවින් මෙවැනි ඉරණමක් මුල් යුගයේ මාධ්‍ය කලාවට අත් නොවී ය.

ප්ලේටෝට අනුව, “රටක නායකයෙක් විය යුත්තේ දාර්ශනිකයෝ ය.” කවන්ද පරපුරක් දේශපාලන පුටුවල බැබළෙන යුගයක මාධ්‍ය කලාව තුළ දියුණුවක් රසවින්දනයක් ඇති  කිරීමට උත්සාහ දැරීම නිෂ්ඵල ය. අතීතයේ පැවති මාධ්‍ය කර්මාන්තයට සාපේක්ෂව වර්තමාන මාධ්‍ය කර්මාන්තයේ යම් පිරිහීමක් දක්නට ලැබේ. ඕනෑ ම පුද්ගලයකුට තමන්ගේ ම වූ මතයක්, පිළිවෙතක්, නිර්මාණ ශක්තියක් තිබිය යුතු ය. මුල් යුගයේ පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන් තුළින් ශ්‍රාවක, පාඨක මනස පෝෂණය කළ අතර “ළමා පිටිය” වැනි වැඩසටහන් ඊට දෙස් දෙයි. අද එවැන්නක් දක්නට නොමැත.

ඌණ භාෂා භාවිතය

වර්තමාන මාධ්‍යවේදියා හට ඇති භාෂා දැනුම ඉතා අල්ප ය. භාෂාවක් කතා කිරීමට හැකි වූ පමණින් මාධ්‍ය වැඩසටහන් කිරීම උපහාසයට කරුණකි. විද්‍යුත් හෝ වේවා මුද්‍රිත හෝ වේවා ඕනෑ ම මාධ්‍යක් තුළ කටයුතු කිරීමට නම් භාෂාව හදාරා තිබිය යුතු ය. ඒ හාරහා පැරණි භාෂා සාහිත්‍ය, සම්භාව්‍ය භාෂා සාහිත්‍ය, ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ ප්‍රාමාණික දැනුම් ප්‍රමාණයක් ලබාගත හැකි අතර එවැනි භාෂා දැනුමකින් තොරව සාර්ථක සන්නිවේදකයෙක් වීමට නොහැකි ය.

සීමා සහිත වාග්කෝෂයක් සහිත වත්මන් මාධ්‍යවේදයා අච්චු ගඩොල් වැනි ය. ඔවුන් තමන්ගේ ම වූ අනන්‍යතාවයක් නොමැති පිරිසකි. අනුකරණයෙන් වැළකී තමන්ගේ ම වූ ශෛලියක්, රීතියක් ගොඩනගාගන්නට මාධ්‍යවේදියාට හැකි විය යුතු ය. ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ ම වූ සහජ කුසලතාවයන් ඇත. එනම් ආබාධිත පුද්ගලයකුට වුව තමන්ට ආවේණික වූ සහජ කුසලතාවයක් ඇත.

සංස්කෘත සාහිත්‍ය විචාරකයෙකු වූ දණ්ඩීන් විසින් රචනා කරන “කාව්‍යාදර්ශය” ග්‍රන්ථයේ සිංහල අනුවාදයක් වන දෙවන සේන රජුගේ සියබස්ලකරෙහි මෙකී සහජ කුසලතාව පිළිබඳව සඳහන් වේ. සහජ කුසලතාව තිබූ පමණින් කිසිවක් කළ නොහැකි ය. ඕනෑ ම පුද්ගලයෙක් තමන්ට ඇති කුසලතා පිළිබඳව දැනුවත් විය යුතු ය. තමන්ගේ සීමාව හඳුනාගැනීමත්, හැදෑරීමත් හරහා එකී කුසලතා පෝෂණය කළ යුතු ය. කියවීම, ඇහුම්කන්දීම, ලිවීම මෙන් ම වර්තමානයේ නැරඹීමට ද අවස්ථාව ඇති අතර ඕනෑ ම ක්ෂේත්‍රයක් ප්‍රායෝගිකව අත්හදා බැලීම වටී. නර්තන ශිල්පියකු වීමට නම් නර්තනයේ යෙදිය යුතු ය. ගායකයෙකු වීමට නම් ගීත ගායනා කළ යුතු ය. ඒ අනුව තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගත යුත්තේ තමන් විසින් ය.

භාෂාව දාන්නා උගතුන්ගේ ඇසුර මෙහි දී වඩාත් උපයෝගී වේ. ඥානවන්ත ඇසුර හා සමානව පොත්පත් පරිශීලනය වැදගත් වේ. ඥානවන්තයෙකු සමග කරනු ලබන කෙටි කතාබහක් වුව වසර ගණනාවක දැනුමක් ලබා දෙයි. එබැවින් ඥානවන්තයාට හැමදාමත් මිනිසුන්ගේ ගෞරවය හිමිවිය. එසේ ම පෙර නිෂ්පාදනයක කොපියක් මාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නැත. ඕනෑම ක්ෂේත්‍රයකට වටිනාකමක් ගෙන දෙන්නේ නව නිශ්පාදනයකි. මාධ්‍ය ක්ෂේත්‍රයට ද අවැසි වනුයේ අනන්‍යතාවය තුළින් ආකර්ෂණය ගොඩනගාගත් නව මාධ්‍යකරුවෙකි. 

නව මාධ්‍යයක් වූ සමාජ මාධ්‍ය ද  වර්තමානයේ නව ප්‍රවණතාවයක් වන්නේ ඒ නිසාවෙනි. සාම්ප්‍රදායික මාධ්‍යකරුවා ද අද වන විට නව මාධ්‍යයට අභිසාරීකරණය වී ඇත. මෙහි දී සමාජ මාධ්‍ය භාවිතයේ දී වුව භාෂා ඥානය අවශ්‍ය වේ. පවතිනුයේ මාධ්‍යයේ වරදක් නොව එය භාවිතය නොදැනුවත්භාවයයි. යම් ආයුධයකින් පුද්ගලයෙකු තුවාල කර ගැනීමෙහි වරදකරු ආයුධය නොවේ තුවාල කරගත් තැනැත්තා ය. විය යුත්තේ මාධ්‍යයට දොස් නැගීම නොව එය නිවැරැදි ලෙස භාවිතයට ඉගෙනීම ය. මක්නිසාදයත් ඉදිරියට මෙකී මාධ්‍යයන් ද පසුකර යන්නාවූ මාධ්‍යයන්  බිහිවිය යුතු නිසාවෙනි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *