සිතුවමක ඇතුළාන්තය

පසිඳු පෙරේරා |

චිත්‍ර කලාව යනු මිනිස් සිත තුල හට ගන්නා අපූර්ව වූත් විශිෂ්ට වූත් හැඟීම් සමුදායන් අනෙකා උදෙසා සම්ප්‍රේෂණය කර හැකි කලා මාධ්‍යයක් ලෙසින් පෙන්වා දිය හැකිය. සිතුවමක ඇතුලාන්තය ස්පර්ශ කිරීමට නම් එකී ඇතුලාන්තය පිරික්සන්නා තුළ පුද්ගල සංජානනමය හැකියාව පැවතීම යෝග්‍ය වේ. එය සිතුවමක පවත්නාවූ යටිපෙළ අර්ථය මනාව අවබෝධ කර ගැනීම උදෙසා ඉවහල් වේ.

යුරෝපා කලාව පිළිබඳ පිරික්සීමේදී අපට දැකගත හැකිවනුයේ විවිධ වූ සිතුවම් ශෛලීන් ඔස්සේ නිර්මාණකරුවන් විසින් තම නිර්මාණ ඉදිරිපත් ඇති බවයි. එහිදී 1880 ගණන්වල අග භාගයේ චිත්තවේගීවාදයේ ස්වාභාවික භාවයෙන් මිදෙමින් තරුණ චිත්‍ර ශිල්පීන් කණ්ඩායමක් ගැඹුරු සංකේතවාදයේ තේමාවන් කෙරෙහි අවධානය යොමු කරමින් හුදෙක් දෘෂ්‍ය හැඟීම් පමණක් නොව හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ස්වාධීන කලාත්මක විලාසයන් සොයමින් සිටියහ. චිත්තවේගීවාදයට ප්‍රතිචාර දක්වන නවක කලාකරුවන්ගේ පරම්පරාව අව්‍යාජ බුද්ධිමය හා කලාත්මක ජයග්‍රහණ සෙවීම සඳහා විවිධාකාර ශෛලීය මාවත් අනුගමනය කළහ. එහිදී උපස්ථිතිවාදයේ ඉදිරි පියවරක් ලෙස පශ්චාත් උපස්ථිතිවාදය හඳුන්වා දිය හැකිය.

උපස්ථිතිවාදීන් ආලෝකයේ වෙනස් වන ස්වභාවය අධ්‍යයනය කරමින් චිත්‍රකරණයේ යෙදුන ද එයින් ඔබ්බට චිත්‍ර කලාව රැගෙන යාමට අවශ්‍යතාවක් නො දැක්වීය. වෙනසක් සොයන අනුගාමික ශිල්පීන්ට අවශ්‍ය වූයේ පශ්චාත් උපස්ථිතිවාදය ඊට වඩා ඉහළම මට්ටමකට ඔසවා තැබීමට ය.

චිත්‍රයේ වස්තු විෂයට වඩා වර්ණයට බලයක් ඇති බව පවසන උපස්ථිතිවාදීන් කිසියම් වස්තුවක ඇසට පෙනෙන සාමාන්‍ය වර්ණයේ ප්‍රභේද ගණනාවක් ඇති බව පිළිගනී. එසේම එවැනි වස්තුවක් මතට වැටෙන ආලෝකය පරාවර්තනය වෙමින් වර්ණවත් ඡායාව වෙනත් වස්තුවක් මතට වැටීමෙන් එම වස්තුවේ ද වර්ණය වෙනස් වෙයි. එසේ වෙනස් වන වර්ණයේ  ඡායාව  පින්සලෙන් හා වර්ණයෙන් චිත්‍ර තලය මත මැවීම පශ්චාත් උපස්ථිතිවාදීන්ගේ උත්සාහය විය. එවකට ඔවුන් සාමූහික ව්‍යාපාරයක කොටසක් ලෙස නොසැලකුවද, විචාරකයෙකු හා කලාකරුවෙකු වූ රොජර් ෆ්‍රයි (1866-1934) පුළුල් ලෙස ඔවුන්වා “පශ්චාත්-උපස්ථිතිවාදීන්” ලෙස වර්ගීකරණය කළේ. මෙම පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පීන් අතර “වින්සන් වැන්ගෝ”හට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. 

Vincent Van Gogh , Born:1853       

වින්සන් වැන්ගෝගේ සිතුවම් අතර සුවිශිෂ්ට වූ කලා නිර්මාණයක් ලෙස “අර්තාපල් බුදින්නෝ” සිතුවම හඳුනාගත හැකිය. නිවැරදි ව්‍යුහ විද්‍යාව හෝ තාක්ෂණික පරිපූර්ණත්වයට වඩා සිතුවමේ පණිවිඩය වැන්ගෝට වැදගත් විය.  මෙම සිතුවම නිර්මාණය වූ 19 වන සියවසේ අවසාන භාගය, ගොවියාට ඉතාමත් අවාසනාවන්ත අවධියක් විය. නව සොයාගැනීම්වල සහය ලබමින් ධනේශ්වර ක්‍රමය ශීඝ්‍ර ගමනක යෙදී සිටි අතර එහිදී පන්තියක් වශයෙන් ගොවීන් සූරා කෑමටත්, පීඩනයකටත්  ලක්විය. ජර්මන් ගොවි යුද්ධය නැමති සිය කෘතියෙහි ලා ෆෙඩ්රික් එංගල්ස් යුරෝපීය ගොවියාගේ දුෂ්කර ජීවන තත්ත්වය හොවා දක්වද්දි අයර්ලන්ත හා ජර්මානු ගොවියා තුළ දුටු දුක්ඛිත තත්ත්වය වැන්ගෝ ඕලන්ද ගොවියා තුළ ද එලෙසින්ම දකී. ඉතා දිළිඳු ජීවිතයක් ගත කළ ඕලන්ද ගොවියෝ හිම පතනය සහිත සීතලේ පවා වගා කටයුතුවල යෙදෙන්නෝ වූහ. ඔවුන්ගේ ප්‍රධාන බෝගය වූයේ අර්තාපල් ය.                   

මෙම සිතුවමින් නිරූපණය වනුයේ රාත්‍රී ආහාර වේලට අර්තාපල් අනුභව කොට කෝපි උගුරක් පානය කරන ගොවි පවුලක සාමාජිකයන් හා ඔවුන්ගේ සංකීර්ණ මනෝභාවයන් ය. එනයින් ඔවුන්ගේ දුක්ඛිත භාවය මවන්නෙකු ලෙස නොව අනුභව කරන්නෙකු ලෙස මෙම සිතුවමින් නිරූපිතය. “අර්තාපල් බුදින්නෝ ”සිතුවමෙහි රාත්‍රී දර්ශනයක් නිරූපණය වන අතර එය වූ කලී රාත්‍රීය තුළ පහනක් යට ගොනු වූ පවුලකි. සිතුවමේ තිරස් අතට හරි අඩකටත් වඩා පෙර බිම තුළ රූප සංරචනය කර ඇති අතර ඔවුන්ගේ  ජීවිතවල පවතින්නාවූ කඨෝර ගති ස්වභාවය ඉස්මතු කොට දක්වා ඇති බවත් රළු පින්සල් පහර මගින් හැඩතලවල ත්‍රිමාණ බවක්ද දැකගත හැකිය.

සිතුවම අඳුරු වර්ණ තුළින් ආධිපත්‍ය ලැබුවද, ගොවීන්ගේ මුහුණේ ඉරියව් ඔවුන්ගේ මිශ්‍ර අභ්‍යන්තර හැඟීම් ආදිය හෙළි කරමින් දීප්තිමත් ලෙස බැබළේ. මෙම සිතවු ම කෙයාරස් – කූරෝ සිද්ධාන්තයට අනුගතව චිත්‍රණය වී ඇති බවක් දැකගත හැකිය. (එනම් සිතුවම තුළ අඳුර මත තීව්‍ර වූ තද ආලෝකයක් පැවතීම) මෙම සිතුවම නිර්මාණයේ දී වැන්ගෝ විසින් අඳුරු කොළ පැහැය මුඛ්‍ය වර්ණය ලෙස යොදාගෙන ඇති අතර එය ගොවියාගේ රාත්‍රියේ වර්ණය ලෙස අතිශයින්ම සංකේතාත්මක ය.

චිත්‍රය තුළ විද්‍යමාන කොල, නිල් හා දුඹුරු යන වර්ණ තුනම අඳුරුය.  දුගී බව සහ දුක නියෝජනය කරන ප්‍රධාන වර්ණය දුඹුරු ය. මෙය සිතුවමට මානසික අවපීඩනයක් හා ශෝක ජනක හැඟීමක් ගෙනෙයි. මෙහි සංගත වර්ණ භාවිතයක් දැකගත හැකි අතර සිතුවම තුළ ත්‍රිමාණ ලක්ෂණ මතුවන අයුරින් වර්ණ ගැන්වීමක් ද දැකගත හැකි ය. සිතුවමේ සංයුතිය ප්‍රවේශමෙන් සකස් කර ඇති අතර රූප ස්ථානගත කර ඇති ආකාරයන් පාහේ සමමිතික වේ. මෙලෙසින් ගත්කල සිතුවමක ඇතුලාන්තය කියවීම තුළ සිතුවමෙහි රසාලිප්ත බව හා කලාත්මක ස්වීයත්වය අවබෝධ කරගත හැකිය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *