සිව්වන ආණ්ඩුවට RTI රතු එළියක්

තොරතුරු සැඟවූ දේශයකට එම අයිතිය ලබාදී මේ ගෙවී යන්නේ අටවන වසරයි.
තොරතුරු මහජනයාට වැදගත් වුවත් එය ඉල්ලා සිටියේ මහජනයාගේ පාර්ශවයෙන් නොවේ. සිවිල් බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ ජනමාධ්‍ය එකතුවකින් කරන ලද දීර්ඝ මැදිහත්වීමකි.
එහෙත් එහි ක්‍රියාත්මකභාවය තුළ වැඩි වාසි හිමිවනුයේ පොදු මහජනතාවට ය. නමුත් පොදු ජනතාව එහි වාසිය තවමත් නිසි පරිදි ලබා නොගන්නා බැවින් ජනමාධ්‍ය ඒ කාර්යය ඉටු කිරීමට පෙරමුණ ගෙන සිටී.
වසර අටක් ගත වුණත් තවම අප තොරතුරු බෙදා හදා ගැනීමේ ක්‍රියාවලියට නිසි ලෙස හුරු වී නොමැත. කල්තබා තොරතුරු දැනුම් දීමට පොදු අධිකාරිය තවමත් සමත් වී නොමැති බව පෙනේ. බොහෝ රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි හි ඇතුළත්ව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයකි. තම ආයතනයට අදාළ වාර්ෂික වාර්තාව පිළියෙල කර ඉක්මනින් ම එය සමාජගත කිරීමටවත් අදාළ ආයතන උනන්දුවක් දක්වන බව නොපෙනේ.
තත්ත්වය මෙසේ තිබියදී තොරතුරු කොමිසම ඉදිරිගාමී වැඩ කටයුතු ප්‍රමාණයක යෙදී සිටින බව පෙනේ. එය තොරතුරු අයිතියේ සුබවාදී ලක්ෂණයකි.
ඒ සඳහා කදිම උදාහරණයක් පසුගිය ජුනි විසිවන දින තොරතුරු කොමිසම මගින් සපයා දී තිබුණි. ඒ තොරතුරු කොමිසම හමුවට ඉදිරිපත් වූ අභියාචනයකට තීන්දුව ලෙසිනි.
තොරතුරු ඉල්ලා ඇත්තේ සාමාන්‍ය පුරවැසියෙකි. තොරතුරු ඉල්ලා ඇත්තේ පෞද්ගලික සමාගමක් වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් නමින් හඳුන්වන හිරු මාධ්‍ය ජාලය වෙතිනි.
එම තොරතුරු ලබා දිය නොහැකි බව අදාළ ආයතනය දැනුම් දී ඇත්තේ එය පොදු අධිකාරියක් නොවන බවත් සියයට සීයක් පුද්ගලික හිමිකරුවෙක් සතුව පවතින පෞද්ගලික ආයතනයක් බවත් දන්වයි. කොමිසමේ තීන්දුව වූයේ අදාළ ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත් එය ක්‍රියාත්මක වන්නේ රජය මගින් ලබාදී ඇති තරංග Frequency මත තොරතුරු විසුරුවා හරින ආයතනයක් බැවින් පොදු අධිකාරියක් යන අර්ථකථනයට ඇතුළත් කළ හැකි බවයි. ඒ තරංග මහජන දේපලක් බවට වන පූර්ව අධිකරණ තීන්දු අනුව යමිනි. මහජන කාර්යයක් සිදුකරන ආයතනයක් බැවින් අදාළ තොරතුරු ලබාදීමට ඉඩකඩ පවතින බව කොමිසම දැනුම් දී තිබුණි.
ආයතනය පොදු අධිකාරියක් බවට තහවුරු කරනු ලැබුවද ඉල්ලා ඇති තොරතුරු සියල්ල ලබාදීම සම්බන්ධයෙන් කොමිසම එකඟත්වයක් පළ නොකිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රවෘත්තියක මූලාශ්‍රය කුමක්ද යන්න ඉල්ලා ඇති කොටස් හැර එම අවස්ථාවේ ආයතනයේ සේවයේ නියුතු කාර්යභාර නිලධාරීන්ගේ නම් පමණක් තොරතුරු අයිතිය යටතේ ලබාදීමට කොමිසම සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත්කර තිබුණි. මෙය එක් අතකින් පොදු දේපළක් වන තරංග භාවිත කරන ආයතන පොදු අධිකාරියක් යටතට ගැනෙන බවට වන ඓතිහාසික තීන්දුවක් වන්නා සේම ජනමාධ්‍යයන්හි තොරතුරු මූලාශ්‍ර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කොමිසම ලබා දුන් වැදගත් තීන්දුවක් ලෙසද සැලකිය හැකි ය. ඒ අර්ථයෙන් මෙය මහජනයාගේ පමණක් නොව ජනමාධ්‍යයේ ද ජයග්‍රහණයක් ලෙස වටහා ගත යුතු යැයි හැඟේ.
-සංස්කාරකවරු-

