හොඳ Reader කෙනෙක් වෙන්නෙ නැතුව හොඳ Leader කෙනෙක් වෙන්න බැහැ

පෘථිවි අයේශ්මන්ත |

සන්නිවේදනය කියන දේ  සරලව ම හඳුන්වනවා නම් පාර්ශවයන් දෙකක් අතර සිද්ධ වෙන තොරතුරු හුවමාරු වීම කියලා කියන්න පුළුවන්. ඒක උත්සාහික ව හෝ නිරුත්සාහිකව සිදු වෙනවා. සන්නිවේදනය කියන විශය පද්ධතිය ඇතුළෙ තියෙන ප්‍රධාන සන්නිවේදන ක්‍රමයක් විදිහට ‘නිර්මාණාත්මක සන්නිවේදනය’ හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් සන්නිවේදනය කරන්න හැම කෙනෙක්ට ම පුළුවන් වුණාට නිර්මාණාත්මක සන්නිවේදය හැම කෙනෙක්ටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාහිත්‍ය, කලාව වගේ දේවල් අයිති වෙන්නෙ මේ නිර්මාණාත්මක සන්නිවේදනයට. නිර්මාණාත්මක සන්නිවේදනයේ යෙදෙන්නේ නිර්මාණකරුවන්. ඒ අය තමන්ට තියෙනෙ පරිකල්පනය සහ ප්‍රතිභාව කියන හැකියාවන් යොදාගෙන විවිධ නිර්මාණ ලෝකයට දායාද කරනවා. මේ කියන නිර්මාණාත්මක සන්නිවේදනය කවි, කෙටිකතා, නවකතා, වේදිකා නාට්‍ය, ගීත, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වගේ කලා අංග විදිහට ග්‍රාහකයා අතට පත් කරන්න මේ නිර්මාණකරුවන්ට හැකියි. මේ අතරින් පොත් පත් කියන්නේ නිමාණාත්මක සන්නිවේදනයේ ප්‍රධාන කොටසක්.

මේ ලිපියෙන් මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ පොත් ලියන එක ගැන නම් නෙවෙයි. පොත් කියවීම සහ මගේ ජීවිතයේ හොඳම සහකරුවා පොත් බවට පත් වීම පිළිබඳව. හැම මනුස්සයෙකුටම ජීවිතය තුළ හමුවෙන හුදෙකලා, කාංසාමය කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ වගේම ඒ අය ඒ හුදෙකලාව මග හරවා ගන්න විවිධ දේවල් කරනවා. මම උසස් පෙළ විභාගය පළවෙනි පාර ලිව්වත් මට කැම්පස් යන්න ලකුණු මදි වෙනවා. ඒක මට ඒ අවධියේ විශාල වේදනාවක් වුණා. සාමන්‍ය පෙළ ගණිතය විශය දෙවනි පාරටත් අසමත් වීම නිසා උසස් පෙළ විභාගයට පාසල් අපේක්ෂකයෙක් විදිහට නො ලියා පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට පෙනී සිටින්න මට සිද්ධ වෙනවා. ඒ කාලය තුළ ඇති වුණ ආදර සම්බන්ධතා කිහිපයක් බිඳ වැටීමේ වේදනාවෙනුත් මම හුඟක් බැට කෑවා. මගේ ජීවිතයේ මම වඩාත්ම කාංසාවෙනුත්, හුදෙකලාවෙනුත්, වේදනාවෙනුත් ගත කරපු කාලයක් ඒක. ඒ වේදනාව මාත් එක්ක බෙදාහදාගන්න මගේ ළඟ හිටපු අයගෙන් හොඳම මිතුරා වුණේ පොත්. එක්තරා ලේඛකයෙක් පොත් කියවීම ගැන මේ විදිහේ දෙයක් කියනවා.

පොත් කියවන පුද්ගලයෙකු මිය යාමට පෙර ජීවිත දහස් ගණනක් තුළ ජීවත් වන අතර පොත් නො කියවන පුද්ගලයෙකු මිය යාමට පෙර ජීවත් වන්නේ එක් ජීවිතයක් තුළ පමණි.”

මේ කාරණාව කොයි තරම් ඇත්තක්ද කියනවා නම් මගේ ජීවිතයේ උදාවෙන හැම හුදෙකලා මොහොතක් ම වේදනාවක් කර නොගෙන ඒ පොත්පත්වල ඉන්න චරිත එක්ක ගත කරන්න මම හුරු පුරුදු වුණා. ඒක හරිම මිහිරි සෞන්දර්යයක්. ඒ වගේම ඒ කියැවීම්වලින් ජීවිතයට ලැබෙන ආලෝකය විශාලයි. නිර්මාණකරුවෙකුගේ ප්‍රධාන කාර්‍යය භාර්‍යය වෙන්නෙත් පාඨකයා මේ කියන ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම.

මම දෙවන වරට උසස් පෙළ විභාගයට දේශපාලන විද්‍යාව ටියුෂන් පන්ති යනකොට අපිට උගන්වපු ගුරුවරයා මට පොත් කියවන පුරුද්ද ජීවන ලාලසාවක් කරගන්න ලොකු පන්නරයක් වුණා. අපිට උගන්වලා විවේකයක් ලැබුණ ගමන් එයා කළේ පොතක් කියවන එක. එයා කියවන ඒ පොත් ගැන අපිට සමහර දේවල් කියලා දුන්නා. සර් නිතරම කිව්වේ “හොඳ Reader කෙනෙක් වෙන්නෙ නැතුව හොඳ Leader කෙනෙක් වෙන්න බැහැ” කියලයි. ඒ කතාව ඇත්ත කියල මම විශ්වාස කරනවා. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්, බ්‍රිතාන්‍යයේ වින්ස්ටන්ට් චර්චිල්, කාල් මාක්ස්, ඒබ්‍රහම් ලින්කන්, මැක්සිම් ගෝර්කි වගේ ලෝකය වෙනස් කරපු හුඟක් මිනිස්සු හොඳ කියවන්නන්. ඔවුන්ගේ නායකත්වයට ඒ කියවීමේ පුරුද්ද සෘජුවම බලපෑවා. හොඳ පොතකින් ලෝකයක් ම වුණත් වෙනස් කරන්න හැකියාවක් ඒ වගේම තියෙනවා. උදාහරණයක් විදිහට මැක්සිම් ගෝර්කි ලියපු ‘අම්මා’ නවකතාව ඒ කාලෙ පැවතුණු ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයේ ගාමක බලවේගයක් වුණා වගේ ම සෝවියට් දේශය පමණක් නොවෙයි මුළු ලෝකයක්ම ආදරයෙන් වැළඳගන්න සහ ලෝකයම දාර්ශනික වෙනසකට ලක් කරන්න ඒ පොතට පුළුවන් වුණා.

මිනිස්සු විදිහට අපි හැම කෙනෙකුටම සංස්කෘතික ජීවිතයක් අවශ්‍යයි. මේ ගත කරන තරඟකාරී වාණිජමය ජීවිතය ඇතුළෙ අපිට අපේ හිත ඇතුළට එබිලා බලන්න ඉඩ අවකාශයක් නොලැබෙන තරම්. ඒ විදිහට අපේ ඇතුල් හිත දකින්න පුළුවන් හොඳම කැඩපතක් විදිහට පොත පත කියවන එක පෙන්වා දෙන්න පුළුවන්. ඒ පොත්වල ඉන්න චරිත එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් මතකයේ ඇති තාක් කල්. ඒ සමහර චරිත සදාකාලිකවම අපේ මතකයේ ජීවත් වෙනවා. අපේ අඳුරු ජීවිතවලට ආලෝකය එක්කාසු කරනවා. තවත් කෙනෙක් වෙනුවෙන් සංවේදී වෙන සහකම්පනය හඳුනන හදවතක් උරුම කරලා දෙනවා. ජීවිතයට ආදරය එකතු කරනවා. මේ සංස්කෘතික ජීවිතය මගහැරුණ මිනිසුන් හිස් මිනිසුන් බවට පත් වෙනවා. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වුණත් කියවීමෙන් බුද්ධිමත් සහ ප්‍රඥා ගෝචර මිනිස්සු නිර්මාණය වෙනවා. අද අපි වගේ රටවල්වල තියෙන ලොකුම අඩුපාඩුවත් ඒ වගේ මිනිස්සු හිඟ වීම. ඒ නිසා හොඳ Reader කෙනෙක් වෙන්න. හොඳ Leader කෙනෙක් වෙන්න.

Share this

One thought on “හොඳ Reader කෙනෙක් වෙන්නෙ නැතුව හොඳ Leader කෙනෙක් වෙන්න බැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *