Share කරන්න කළින් දෙපාරක් හිතමු

ලොෂිනි කවිතාංජලී ලේකමගේ |

ලෝකයේ සමාජ මාධ්‍ය අතර ප්‍රමුඛතාවය හිමිකරගෙන සිටින්නේ ෆේස්බුක් සමාජ ජාලයයි. එදිනෙදා ජීවිතයේ සිදුවීම්, තොරතුරු, ඡායාරූප හා වීඩියෝ ආදිය අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීමට ලොව අතිශය ජනප්‍රිය සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවාව ද එයයි.

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ක්‍රියාකරීත්වය විමසා බැලීමේ දී එහි පරිශීලකයින් වගකීමක් සහිතව හැසිරෙනවා ද යන්න ගැටලුවකි. ෆේස්බුක් ඔස්සේ යම් සිදුවීමක් වාර්තාකරණයේ දී පුද්ගලයන්ට හා සමාජයට වන බලපෑම සරල ප්‍රපංච කාරණයක් නොවේ. අන් මාධ්‍යයන් තුළ මෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පෞද්ගලිකත්වය හා බැඳුණු ගැටලුකාරී තත්ත්වයන් රාශියකි. පුද්ගලයන්ගේ ඡායාරූප ඔවුන් ගමන් ගන්නා ස්ථාන ආශ්‍රය කරන අය පිළිබඳ වෙනත් පාර්ශවයකට දැන ගැනීමට හා ඒ ඔස්සේ පුද්ගල ජීවිත වලට හා සමාජයට බලපෑම් එල්ල කිරීමේ හැකියාව ඇත.

යම් සිදුවීමකට අදාළ ඡායාරූපයක් හෝ වීඩියෝවක් නිකුත් කිරීම ඔස්සේ තප්පර ගණනාවක වේගයෙන් ග්‍රාහකයින් බිලියන ගණනක් අතර එම තොරතුර බෙදා ගැනීමේ ප්‍රබලයෙකු ලෙස ෆේස්බුක් ඉදිරියෙන් සිටියි. නමුත් සමාජ යහපතට වඩා සමාජ විෂමාචාර ක්‍රියාවලට පෙළඹවීම ඇති සම්භාවිතාව මෙහි ඇති අහිතරකර මෙන්ම භයානක ම තත්ත්වයයි.

තාක්ෂණික විද්‍යාව ඔස්සේ සමාජය කෙතරම් දියුණු වූවද ෆේස්බුක් ඔස්සේ සිදු කෙරෙන අවිධිමත් සන්නිවේදන ඔස්සේ පුද්ගල කීර්තිනාමයට සිදුවන හානිය අතීතයේ දී භාවිතා කළ ‘කැලෑ පත්තර’ කලාවට සමාන බව ෆේස්බුක් අන්තර්ගත පිරික්සීමේ දී හඳුනාගත හැකිය. ප්‍රචණ්ඩකාරී ක්‍රියා හෝ අසභ්‍ය දර්ශන බෙදා හැරීම, නිශ්චිත ලෙස නිගමනය නොකළ සිද්ධි සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම, සැකකරුවන් අපරාධකරුවන් ලෙස පෙන්වීම, සමාජ වගකීම් ආරක්ෂා නොකිරීම මෙන්ම වැරදි තොරතුරු හා වැරදි පුද්ගල ඡායාරූප බෙදා හැරීම බහුලව දක්නට ලැබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා යම් වාර්තාකරණයක් සිදු කරන්නේ නම් ඊට සම්බන්ධ ඡායාරූප කාටුන් චිත්‍ර ඉදිරිපත් කිරීමේදී මනා අවබෝධයකින් යුක්ත විය යුතුයි. විශේෂයෙන්ම යම්කිසි පාර්ශවයකට කම්පනයක් ඇති කරවන හෝ හිත් වේදනාවක් ඇති කරවන ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය, මත්ද්‍රවය, ලිංගික පීඩනය හෝ අශිෂ්ටත්වය යනාදී කරුණු වාර්තාකරණයේ දී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

ජොහාන් ගැල්ටුන් විසින් ඉදිරිපත් කරන ලද ‘ගැටුම් ත්‍රිකෝණය’ හරහා  ව්‍යූහය – ආකල්ප – චර්යාව යන අවස්ථා ත්‍රිත්වය ඔස්සේ ගැටුමක් නිර්මාණය වීමට අදාළ කරුණු ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා අසත්‍ය තොරතුරු බෙදා හැරීම තුළින් ගැටුමක් නිර්මාණය වන ආකාරය මනාව අවබෝධ කර ගත හැකිය. ෆේස්බුක් තුළ අසත්‍ය තොරතුරු බෙදා හැරීම ඔස්සේ පුද්ගලයන් තුළ ඇතිවන්නා වූ වෛරී චේතනාවන් හරහා බිහිවන්නා වූ ආකල්පයන් මත ඇති වන්නා වූ ප්‍රචණ්ඩකාරී චර්යාවන් අවසානයේ ගැටුම් නිර්මාණයෙහිලා බලපෑම් ඇති කරයි.

පසුගිය දිනෙක සිදු වූ කළුතර දැරියකගේ සෝචනීය මරණය සම්බන්ධයෙන් මරණයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූපයන් කියා ඒ හා සමාන ශරීර ලක්ෂණ ඇති වෙනත් ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් තුළ සංසරණය වීමෙන් විශාල පුද්ගල චරිත හානියක් සිදුවිය. එතැනින් ද නොනැවතී ඇතැම් විටෙක එය ප්‍රචණ්ඩත්වය කරා අති බිහිසුණු මාර්ගයක් කරා ගමන් කිරීමට තරම් ප්‍රබල කාරණාවක් බවට වන්නට ඉඩ තිබුණි. නමුත් එවැනි තත්ත්වයකට ඉඩ නොතබා එක්තරා ජනප්‍රිය ගායකයෙක් විසින් පෝස්ටුවක් හරහා ක්ෂණයෙන් එය නිවැරදි කරන්නට පියවර ගැනීම ඔස්සේ නිවැරදි පුද්ගලයෙක්ට වෙන්නට තිබූ මහා අපකීර්තියකින් හා වෙනත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට හැකිවිය.

එසේම නුදුරේම සිදු වූ තවත් සිද්ධියක් වූයේ උඩ දියලුම ඇල්ල අසල කූඩාරම් ගසා ගෙන රාත්‍රිය ගත කළ තරුණ යුවලකට එල්ල වූ වල් අලි ප්‍රහාරයෙන් පසුව අදාළ තරුණිය මිය යෑමේ සිද්ධියට අදාළව දිවි ගලවා ගත් තරුණයා වෙත එල්ල වන චෝදනාවයි. තරුණයා විසින් මාධ්‍යයට ලබා දෙන තොරතුරු ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් විසින් එම තරුණයා එම තරුණියව දමා පළා ගොස් ඇති බවට කෙරෙන චෝදනා එම පුද්ගලයාගේ මානසික කාරාණාවන්ට ඉමහත් බලපෑමකි. තම පෙම්වතිය සිය දිවියෙන් සමුගැනීමේ වේදනාවත් ඔහුගේ ශාරීරික වේදනාවන්ගේ ද බර දරා තව ද සමාජය විසින් එල්ල කරන ලද චෝදනාවන් ද ඉවසා දරා ගෙන සිටීමට තරම් ඔහු ශක්තිවන්තයෙක් දැයි අපි නොදනිමු. ඇතැමුන් මෙවැනි දෑ දරා ගැනීමට නොහැකිව සියදිවි නසා ගැනීමට ද පෙළඹෙයි. මෙවැනි අවස්ථාවල ෆේස්බුක් හරහා සිදුවිය යුත්තේ එවැනි අනාරක්ෂිත ස්ථානයන්ට නොයන ලෙස දැනුම් දීම මිස ජීවත්ව සිටින තරුණයාට ජීවිතය නැති කර ගැනීමට තරම් මානසික පීඩනයක් ගෙන දීම නොවේ.

ඕනෑම පුද්ගලයෙක්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය අනෙකාගේ නාසයෙන් කෙළවර විය යුතු බවට ප්‍රසිද්ධ කියමනක් ඇත. තමා තමා තුළින්ම ඇති කර ගන්නා ස්වයං වාරණයන් මඟින් තමාගේ ගෞරවය මෙන්ම අනෙකාගේ ගෞරවයද අත්මාභිමානය ද ආරක්ෂා වන ලෙස කටයුතු කරන්නේ නම් එය සමාජ ප්‍රගමනයට හේතු වන්නකි. ෆේස්බුක් මාධ්‍ය භාවිතා කරන්නන් තම අදහස් හා තොරතුරු අන් අය සමඟ බෙදා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. පළමුව ඔබ බෙදා ගැනීමට බලාපොරොත්තු වන්නේ සත්‍යය තොරතුරක් ද යන්න සනාථ කර ගත යුතුයි. දෙවනුව තොරතුරේ හරය පිළිබඳ විමසිය යුතුය. අවසාන වශයෙන් පරිශීලකයන් වෙත යවන සන්නිවේදන ආකාරය තීරණය කළ යුතුයි. එබැවින් ඔබ ඔබගේ ෆේස්බුක් භාවිත අවකාශය තුළ යමක් Share කිරීමට මත්තෙන් දෙපාරක් හිතන්න නොපසුබට නොවන්න.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *